විවාහ වන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක්

විවාහ වන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක්
  • SocialShare:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී. ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය. එමෙන්ම "ළමයා" යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය. එම සංශෝධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සංසදයේ සභාපතිවරිය වැඩිදුරටත් පැවැසීය. 

එමෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.