ජනපති චීන ආයෝජකයන් හමුවෙයි

ජනපති චීන ආයෝජකයන් හමුවෙයි
  • SocialShare:

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ "ආයෝජන සැසියේ" ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සීමාසහිත සමාගම (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සීමාසහිත සමාගම (China Energy International Group Company Ltd), ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය (The Guangzhou Public Transport Group),

හුවාවි (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.