නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ජල සම්පත සුරකිමු

    මාර්තු 21, 2014

    ලෝකයේ රටවල් අතුරෙන් අප ජීවත්වන ශ්‍රී ලංකාව, භූගෝලීය පිහිටීම අතින් ඉතා වැදගත් මෙන් ම ඉතා සුන්දර, මනරම් දිවයිනකි. එම සුන්දරත්වයට විශාල රුකුලක් වන්නේ අප රට සතු ජල සම්පතයි. ජල සම්පත සුරැකීමේ බලවත් වගකීම වටහා ගත් එකල ශ්‍රී ලාංකීය රජවරුන් ජල සම්පත සුරැකීම පිළිබඳ විශාල කාර්යභාරයක් ඉටුකළේ ඉතා සුන්දර පරිසරයක් අපහට දායාද කරමිනි. එයින් පෝෂණය වූ එකල ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට ප්‍රචලිත වූයේ නම් එය නිවැරදි බව කිව හැකිය.

    අප රටේ මධ්‍යම කඳුකරය වනාන්තරවලින් වැසුණු ශීත දේශගුණයකින් යුතුව පිහිටා තිබීම නිසා නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං රැගෙන එන වලාකුළු මධ්‍යම කඳුකරයට ළඟාවෙත් ම ජලවාෂ්ප සංතෘප්ත තත්ත්වයට පත්වී වර්ෂාව ඇද වැටේ. මෙසේ ඇදහැළෙන වර්ෂාව වනාන්තර බිමේ රඳවාගෙන, පොළොවට විශාල ලෙස උරාගනිමින් සෙමින් හා ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි ජලය ලෙස ගලා බසී.

    අතීතයේ රජදවස රජවරුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අත නොගසා දැඩි ලෙස ආරක්ෂා කළ අතර, අනුරාධපුර හා පොලොන්නරු රාජධානි ආශ්‍රිත වියළි කලාපීය ප්‍රදේශවල අවම පහසුකම් යටතේ විශාල වැව් අමුණු හා ඇළවේලි මහත් වෙහෙසක් දරා කෘෂිකාර්මික හා මහජන අවශ්‍යතා සඳහා ඉදිකරන ලදී. එම පැරණි වාරි ව්‍යාපෘති, වර්තමානය දක්වා ම ඉතා හොඳින් ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකාව යටත් කර ගත් ඉංග්‍රීසි ජාතිකයින් විසින් වාණිජමය වාසි තකා තේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් මෙන් ම බොහෝ කාර්යයන් සඳහා මධ්‍ය කඳුකරය භාවිත කරන ලදී. නිදහස ලැබීමෙන් පසුව ද ඉංග්‍රීසි පාලනය ගෙන ගිය ශ්‍රී ලාංකීය පාලකයින් මේ පිළිවෙත ම අනුගමනය කළ අතර, නිදහසින් පසුව මෙම පාලකයින් විවිධ අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා වනාන්තර එළිපෙහෙලි කර සංවර්ධන කාර්යයන් මෙන් ම මිනිසුන් පදිංචි කිරීම මනා සැලසුමකින් තොරව සිදුකරන ලදී.

    ඉංග්‍රීසි ජාතින්ගේ මහා පරිමාණ රබර් වතු වගාව කෘතීම වනාන්තර ලෙස ශ්‍රී ලංකා භූමියේ විශාල ප්‍රදේශයක් වසා පැතිරුණි. මහා පරිමාණ වතු සමාගම් යටතේ පැවැති විශාල රබර් වතු රජය විසින් ජනසතු කරනු ලැබීමෙන් පසුව රාජ්‍ය පාලන සමය තුළ මනා සැලසුමකින් තොරව කඳු බෑවුම් පවා නොයෙකුත් කාර්යයන් සඳහා මිනිසුන් වෙත බෙදා දෙන ලදී. මේ අයුරින් කෘතීම වනාන්තර ද විනාශ විය. රජය කෘෂිකාර්මික හා විදුලිය නිෂ්පාදන කාර්යයන් සඳහා ඉදිකරන ලද මහා පරිමාණ ජලාශ ව්‍යාපෘතිවලට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම කෙරෙහි ගැටලු සහගත තත්ත්වයක් මතුවිය. මෙයට ප්‍රධාන හේතුව මෙම ජලාශවලට අදාළ ධාරා ප්‍රදේශ (වනාන්තර) ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති අතර, පවතින නීති ද ප්‍රමාණවත් නොවී ය.

    වියළි කාලගුණය පවතින අවස්ථාවන්හි කඳුකර සතුන් දඩයම් කිරීම හා විනෝදය සඳහා නොයෙකුත් පිරිස් විසින් ගිනි තැබීම වැනි ඉතා පහත් ක්‍රියාවන් බහුලව සිදුකරනු ලබයි. මේවා ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරින් මෙවැනි අකටයුතු සඳහා අවධානය යොමු නොකරන අතර ඔවුන්ට ද වගකීමෙන් නිදහස් වීමට ඕනෑ තරම් හේතු කාරණා ඇත. අප රටේ ඇතැම් අය ද ගහට කොළට භූමියට කිසිම ඇල්මක්, ආදරයක් නොදක්වා අනවබෝධයෙන් ක්‍රියා කරති. එසේ ම රාජ්‍ය මැදිහත්වීමෙන් විවිධ හේතු පදනම් කරගෙන රුක්රෝපණ වැඩසටහන් පවත්වා මේ සඳහා රජයේ නිලධාරින් හා පාසල් ළමයින් යොදාගෙන පැළ දහස් ගණනින් සිටුවීම ප්‍රශංසනීය විය හැකි වුවත්, එය නඩත්තු කිරීමකින් තොරව අතහැර දමන්නේ නම් එය කණගාටුවට කරුණකි.

    රජයේ මෙන් ම පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති වන ජලවිදුලි ව්‍යාපෘති, නගර නිර්මාණ වැනි නොයෙකුත් ව්‍යාපෘතිවල පරිසරය ආරක්ෂා කිරීමේ (ගස් සිටුවීම වැනි) අංගයක් ඇතුළත් වී නොමැති අතර එම ප්‍රදේශය කාන්තාරයක් බඳු මිනිස් වාසයට ඉතා නුසුදුසු තත්ත්වයක් පෙනේ. මේ සඳහා භාවිත කරනු ලබන රජයට අයත් වනාන්තර ඉඩම් හෝ වතු සමාගම්වලින් ලබා ගන්නා රබර් වගා කළ ඉඩම් ප්‍රථමයෙන් ම එහි තිබෙන ගස් සියල්ලම ඉවත් කර භූමිය හිස් කර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර වැඩ අවසන් කෙරේ. මෙම සංවර්ධන කාර්යයට ප්‍රථම ඉතුරු කළ හැකි ගස් ඉතුරු කරන්නේ නැත. එසේම සංවර්ධන කාර්යයන් අවසන් කිරීමෙන් පසුව හැකි ස්ථානවල ගස් සිටුවා භූමිය ආවරණය කිරීමට ක්‍රියා නොකරයි.

    ලංකාවේ ඇතැම් නගරවල මහාමාර්ග අරක්ගත් ව්‍යාපාරික ස්ථාන හා හතර අතේ අ‍දින ලද විදුලි රැහැන් හා දූරකතන රැහැන් නිසා සිසිල ලබාදෙන ගසක් සිටුවීමට ස්ථානයක් නොමැත. මේවා සැලසුම් කරන නිලධාරින්, අනුමත කරන නිලධාරීන් මේවා ගැන අවධානය යොමු නොකිරීමෙන් ඉදිවෙන නගර පුංචි කාන්තාර බඳුය. දැයේ ජල සම්පත සුරැකීමට හා ව්‍යාප්ත කිරීමට ගස් සිටුවීම ප්‍රධාන හේතු සාධකයක් වේ. ගස් සිටුවීමට පුද්ගලික මෙන්ම රජය සතු ස්ථාන ඕනෑ තරම් ඇති අතර මේවා ප්‍රයෝජනයට නොගනී. අප රටේ ජනතාවගේ පොල් අවශ්‍යතාවන් සපුරා ගැනීමට ජනතාව ක්‍රියා කර තිබේද? සෑම නිවසකටම පොල් ගස් 5ක් සිටුවා ගැනීම ප්‍රමාණවත්ය. ගස් සිටුවීමට සම්බන්ධයෙන් ආගමික ස්ථානවලින් විශාල සේවාවක් ඉටුකළ හැකි අතර ආගමික නායකතුමන්ලා මෙන්ම රජයද, මහජනතාවද දැනුවත් කර අවශ්‍ය යටිතල පහසුකම් සලස්වා ගස් සිටුවා ශ්‍රී ලංකා භූමියට සිසිලස ලබා දිය යුතුය.

    නාගරික පරිසරයෙන් බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාව මෑත කාලයක සිට සැම නිවසකට පාහේ ජලය සපයා ගැනීම සිදු කරයි. ජලය මිනිසාට අත්‍යවශ්‍යය. එය ලබා ගැනීම මානව හිමිකමකි. කරුණු එසේ වුවත් අප රටේ වෙසෙන සාමාන්‍ය ජනතාවද දැන උගත් ජනතාවද ගහකොළ සතා සිවුපාවා පරිසරය ගැන ඒ තරම් ගණන් නොගන්නා අතර ඔවුන් ජලය සපයා ගත හැකි සෑම උස් ස්ථානයකින්ම තම නිවාසවලට නල මගින් ජලය ලබාගන්නා අතර තම අවශ්‍යතාව සඳහා පාවිච්චි කර දවසේ පැය විසිහතර පුරාම කඳුකර ප්‍රදේශයේ සිට නල තුළින් ගලා එන ජලය තම නිවාස අසලින් පහත් ප්‍රදේශයකට එකතු වී ඇළ දොල ගංගාවලට නිකරුනේ ගලා බසී. මෙය දිනපතා මාස්පතා අවුරුදු පතා කඳුකර භූමි ප්‍රදේශවලින් පොළොවට කිඳා බසින ජලය නල මගින් පහත් භූමියකට එක් වීමෙන් එම කඳුකර භූමි වියළි තත්ත්වයකට පත් වේ. මෙය දීර්ඝ කාලීනව පවතින මහත් විනාශකාරී තත්ත්වයකි. ජනතාව තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ජලය ලබා ගන්නේ නම් ඉතිරි ජලය කඳුකර ප්‍රදේශවල රඳා පවතී. මේ සඳහා තම ජල නල පද්ධතිවලට ස්වයංක්‍රීයව ක්‍රියා කරන වැල් හෝ සාමාන්‍ය වැල් භාවිතා කරන්නේ නම් අනවශ්‍ය ජලය කඳුකර ප්‍රදේශවල රඳවාගෙන භූමියට ලබාදිය හැකිය.

    අද වෙළෙඳපොළෙහි අඩු මුදලට ලබාදෙන ඉතා බාල තත්ත්වයේ ජල නල හා ජල නල උපාංග මිලදී ගන්නා ජනතාව මේවා භාවිත කිරීමෙන් තම ජල නල පද්ධති ඉතා අබලන් තත්ත්වයට පත්වීමෙන් විශාල ලෙස ජල සම්පත විනාශ වේ. මෙලෙස ජනතාව මගින් විනාශ වන ජල සම්පත ආරක්ෂා කිරීම හා බාල තත්ත්වයේ ජල නල උපාංග වෙළඳපොළින් ඉවත් කිරීම වැනි කාර්යයන් සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන අතර සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමක්ද කර නොමැත. මේ සඳහා නීති නොමැති නම් නව නීති පනවා ඒ සඳහා අවංක නිලධාරීන් යොදවා ඉවක් බවක් නොමැතිව කඳුකර ප්‍රදේශවලින් ලබා ගන්නා ජලය පාලනය කර එම ප්‍රදේශ ආරක්ෂා කරගත යුතුය.

    අප රටේ වගා නොකළ ඉඩම් බොහෝ සේ තිබෙන අතර ගල් සහිත කඳුකර භූමිවල පවා වගා කළ හැකි ගස් වර්ග ඕන තරම් ඇත. රබර් වගා කළ හැකි ප්‍රදේශවල රජයේ ආධාර ලබාදෙමින් රබර් වගාවට අමතරව ගල් සහිත බෑවුම් භූමිවල වල් රබර් වගා කළ හැකිය.

    ඒ සඳහා ජනතාව දැනුවත් කර උනන්දු කර දැඩි නීතිරීති පනවා වල් රබර් වගා කිරීමෙන් එම ජනතාවට ආදායමක් මෙන්ම භූමිය ආවරණය වී කෘතිම වනාන්තරයක තත්ත්වයකට පත් කළ හැකිය. තවද ඇළ දොල ගංගා ඉවුරු දෙපස සේදී යෑම වැළැක්වීම සඳහා කුඹුක් ශාකය වගා කළ හැකිය. මේ මගින් ජල සම්පත ආරක්ෂා කිරීමට මහත් දායකත්වයක් ලබා ගත හැකිවේ.

    අප රටේ ජනතාව දැනුවත් කර වටිනා ජල සම්පත හා පරිසරය ආරක්ෂා කිරීමට සහය ලබාගෙන මෙයට එරෙහිව කටයුතු කරන ජනතාව සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කර නැවතත් වනාන්තර වගාකර ජල සම්පත හා පරිසරය ආරක්ෂා කිරීම සිදුකළ යුතුය.


    එනූෂා බණ්ඩාර /ඒ.එස්. ආනන්ද

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya