මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනපති ප්‍රේමදාස ලියුම් කෑල්ලකට කන්තලේ සීනි කම්හල හිතවතෙකුට පැවරුවා

    දෙසැම්බර් 09, 2014

    1991 දී හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ මිත්‍රයෙකු වූ සුමනසේකර මහතාට ලියුම් කෑල්ලකට කන්තලේ සීනි කර්මාන්තශාලාව පවරලා දුන් බවත් 1994 වහපු කර්මාන්තශාලාව අදත් වසා ඇති බවත් එජාපයේ දැන් ඉන්න නායක තුමා එදා හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට 2001 – 2003 කාලයේ පැල්වත්ත, සෙවණගල, හිඟුරාණ සීනි කම්හල් ද එලෙස විනාශ කර දැමූ බවත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සිහිපත් කළේ පසුගිය 4 වැනි දා කන්තලේ සීනි කර්මාන්තායතනය යළි බලගැන්වීමේ මහජන හමුව අමතමිනි.

    Kantale suger industry 1

     

    එහිදී අමාත්‍යවරයා පළකළ අදහස් මෙසේ ය:

    කන්තලේ කර්මාන්ත ශාලාව අවුරුදු 20ක් වහල දාපු ඉතිහාසයක් තිබුණා. මේ අමාත්‍යාංශය  භාරදෙද්දී අවුරුදු 3කට කලින් සුසන්ත පුංචි නිලමේ මැතිතුමා සමඟ මේ ප්‍රදේශයට ඇවිල්ලා පුංචි අධ්‍යයනයක් කළා. ඔබ අහන්න පුළුවන් අවුරුදු 3කට ඉස්සෙල්ලා ඇවිල්ලා ඇයි අද අත්තිවාරම දාන්නේ කියලා අහන්න පුළුවන්. තමුන්නාන්සේලාගේ හිතේ යම්කිසි අවිශ්වාසයක් ඇතිවෙලා තිබුණා. ඒ මීට ඉස්සර මුල්ගල් තියලා තිබුණා නමුත් ඒ කර්මාන්ත ශාලාව නැවත අරඹන්න බැරුව ගියා. අපි මිත්‍රවරුනි, මේක අධ්‍යයනය කළා පමණක් නොවෙයි. මේ වගේ මහා පරිමාණ කර්මාන්ත ශාලා මේ ප්‍රදේශයට ගේන්න ජාත්‍යන්තර රටවල් සමඟ සාකච්ඡා කරලා කරුණු කාරණා තියනවා ඉෂ්ට කරන්න.

     

    අද ඉඳලා හරියට තව මාස 16ක් යද්දී තිබ්බ තැනම කන්තලේ නව කර්මාන්තශාලාව හයි කරන්න අපිට පුළුවන් බව අපි තමුන්නාන්සේලාට සහතික වශයෙන් පොරොන්දු වෙනවා. ඊට ඉස්සෙල්ලා තියෙනවා විශාල වැඩකොටසක් කරන්න. මේ ප්‍රදේශයේ ඉන්න උක් පිළිබඳ දන්න ජනතාව දන්නවා පැළ තවාන දාපුවහම පැළ තවානට මාස 10ක් යනවා. මාස 10ක් 11ක් ගියාම ඉතුරු පැළ ටික පැළ කරලා අස්වැන්න ගන්න තව මාස 10ක් යනවා. අපිට මේක අවුරුදු 3කට ඉස්සෙල්ලා පටන් ගන්න බැරි වුණේ අපේ සැලසුම් වගේ ම අමාත්‍යංශයත් අලුත් අමාත්‍යාංශයක්. අපිට දක්ෂකම් පෙන්නන්න වෙලාවක් තිබ්බේ නෑ. මං අපි කියන්නේ අපි සමූහයක් නිසා. අපේ ලේකම් තුමාලා, අපේ සභාපති කීර්ති කොටගම මහත්මයා, ප්‍රධාන විධායක නිලධාරී තුමා, මෙහෙයුම් නිලධාරී මහත්මයා, අපේ අනිත් සියලුම ඉංජිනේරු මහත්වරු අපි ඔක්කොම ඒකරාශී වෙලා, ප්‍රදේශයේ ගොවි ජනතාව ඒකරාශී වෙලා පාඩු ලබන, වැටිලා තිබුණ ආයතන අපි ගොඩ ගත්තා. අපි විශ්වාසයක් ඇති කළා. අපි ඒ ප්‍රදේශයේ ජනතාවට විශ්වාසයක් ඇති කරලා දුන්නා. අපි මිලියන 1489ක ශුද්ධ ලාභයක් ලබලා ඒ ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ටත් සේවක මහත්වරුන්ටත් 20%ක් දුන්නා දිරි දීමනාවක් හැටියට.

     

    ඒ විශ්වාසයේ අතුරු ඵල තමයි කන්තලේ. ඒ විශ්වසයේ අතුරු ඵලයත් සමඟ කියන්න ඕනේ අද පටන් ගත්ත වැඩ පිළිවෙළ පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ සෙවණගල, පැලවත්ත, හිඟුරාන ජනතාවට ලබා දුන් විශ්වාසය කන්තලේ ජනතාවටත් ලබලා දෙන බව විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. අපේ කණ්ඩායම දක්ෂ කණ්ඩායමක්. ඒකට ම හරියන්න මගේ පාසල් මිතුරා පුංචි නිලමේ ඇමතිතුමා හොඳ දක්ෂයෙක්. නැත්නම් රත්නපුරේ ඉඳන් ඇවිත් ත්‍රිකුණාමලේ අල්ලන්න පුළුවන්ද , එතුමාගේ අප්පච්චියි අපේ තාත්තයි පාර්ලිමේන්තුවේ අවුරුදු ගණනක මිත්‍රයෝ. එතුමාගේ නිජබිම රත්නපුරේ. අද නිජබිම ත්‍රිකුණාමලේ කියලා මම බය නැතුව කියනවා. බහිරවයෙක් ගැන කතා කෙරුවා. කනගාටු වෙනවා. එක දෙයක් පැහැදිලි ව කියන්න ඕනේ. ඒ බහිරවයා කියන චරිතය කන්තලේ මගෙන් එකම එක දෙයයි ඉල්ලුවේ. යකඩ ටික විකුණගන්න එයාට අවස්ථාව දෙන්න කිව්වා. අපි ඒකට ඉඩදුන්නේ නෑ. මේකෙ විශාල යකඩ සම්භාරයක් තියනවා. අපි දුන්නේ නෑ අවස්ථාව.

     

    Kanthale-Suger-1අපේ මේ ව්‍යාපෘතිය බලද්දී අපි සංඛ්‍යාලේඛන අරන් බැලුවා. මේ රටේ 8.5%ක් සීනි නිෂ්පාදනය කරපු කර්මාන්තශාලාවක් මේක. 1987 වසරේ මහාභාණ්ඩාගාරයට මේ කර්මාන්තශාලාවෙන් ණයක් දීලා තියනවා මිලියන 8ක. එතකොට මොන තරම් මේ ප්‍රදේශයට වැඩදායී වැඩක් කරන්න ඇතිද කියලා අපිට හිතන්න පුළුවන් මේ කර්මාන්තශාලාව. එතෙන්ට ගියාම අද අපේ ඇස්වලට කඳුළු එනවා. කෝටි ගණනක් වටිනා බුල්ඩෝසර්, රථ වාහන ඔක්කොම දිරාපත්වෙලා. කනගාටු වෙනවා. 1991 හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ මිත්‍රයට, සුමනසේකර මැතිතුමාට ලියුම් කෑල්ලකට මේ කර්මාන්තශාලාව පවරලා දුන්නේ. 94 වහපු කර්මාන්තශාලාව අදත් වහලා. අපේ පැරණි පක්ෂයේ දැන් ඉන්න නායක තුමා එදා හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට 2001 – 2003 කාලයේ ඔය දේවල්මයි කෙරුවේ පැල්වත්ත, සෙවණගල, හිඟුරාණත් විනාශ කරලා ම දැම්මා.

     

    අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා පෞද්ගලීකරණය කරපු හැම ආයතනයක් ම රජයට පවරාගෙන රටේ ජනතාවට සෙතක් සලසලා දෙන්න කියලා ගත් තීන්දුව තුළින් තමයි මේ දේවල් ඉස්සරහට යන්නේ. අපි එතුමාට අපේ අමාත්‍යංශයේ අපේ වැඩපිළිවෙළ පෙන්නුවා. වෙනදා මිලියන 5000ක් හම්බවෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ආයුධ ගේන්න. අපේ අමාත්‍යාංශයට මිලියන 500ක් දුන්නා කන්තලේ වැඩ පටන් ගන්න. දැන් බය වෙන්න එපා. අපේ දක්ෂයෝ ටික ලස්සන සැලැස්මක් හරිගස්සලා තියනවා. ඒ සැලැස්ම තුළින් තමයි ඉදිරියට යන්නේ. ඒකට පුංචි නිලමේ මැතිතුමාගේ උපදෙස් අපි හැමවෙලාවෙම ගන්නවා. අපේ පළාත් සභාවේ මිත්‍රවරුන්ගේ උපදෙස් අපි හැමවෙලාවෙම ගන්නවා. ඒ විදියට අපි ඉදිරියට යනවා. අපේ අනිත් කර්මාන්තශාලා දියුණු වෙන්න ප්‍රධාන ම හේතුව වුණේ එකම එක දෙයයි. සැලැස්ම සහ විනය. වෙන කිසි දෙයක් නෙවෙයි. ඒ දිරිය තුළින් අපිට ඕනේ තැනකට යන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සේලා බයවෙන්න එපා. මේ ආයතනය අවුරුදු 2ක් ඇතුළත මුළු රටටම පේන්න ලංකාවේ තියන වටිනාම කර්මාන්තශාලාව බවට පත් කරන්න අපි සියලුදෙනා සහතික වන බව නැවත නැවතත් මතක් කරන්න ඕනේ.

     

    ඒ වගේම කතා කරපු ගොවි මහත්වරු කතා කෙරුවා ඉඩම් ගැන. මේකෙ ඉඩම් කාටවත් ලැබෙන්නේ නෑ. මේකේ ඉඩම් ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට පමණයි කියන එක සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ. රැකියා ලබා දීමේදී ප්‍රමුඛස්ථානය දෙන්නේ ප්‍රදේශයේ ජනතාවට. හැබැයි තාක්ෂණ නිලධාරීන් දැන්වීම් දාලා ගන්න අපිට සිද්ධ වෙනවා. අපිට ඒ දේ කරන්න ඉඩ දෙන්න. අපි තමුන්නාන්සේලාගේ ප්‍රදේශයේ දරුවන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා. ඒක තමයි ජනාධිපතිතුමාගේ නියමය. නියෝගය.

     

    කන්තලේ වැඩ කරගෙන යද්දී අපිට වතුර ප්‍රශ්නේ එනවා. අපිට අවුරුදු 3ක් කන්තලේ පිළිබඳ තීන්දුවක් ගන්න බැරුව හිටිය බරපතළම ප්‍රශ්නයත් මේක. කන්තලේ පටන් ගන්නවා කියන්න පුළුවන්. කන්තලේට වතුර දෙන්නේ කොහොමද. අද ඒ ප්‍රශ්නය අවසන් වෙන්න බොහෝම කිට්ටුයි. පළවෙනි හෙක්ටෙයාර 500ට අපට අවශ්‍ය වතුර කන්තලෙන් ලැබෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතිය 2015 අග වෙද්දි හදලා අවසානයි. මොරගහකන්දෙන් 2016 අග භාගය වෙද්දි තව හෙක්ටෙයාර 1500ක් ඉවර කරන්න අපිට ජලය අක්කර අඩි 600ක් දෙන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව පොරොන්දු වී අවසානයි. එතකොට අපේ කර්මාන්තශාලාව ලෑස්තියි. ඒ කාලය හරියට බෙදලා තමයි අපි වැඩ පටන් ගත්තේ. මොකද අපිට බෑ බොරුකාරයෝ වෙන්න. අපි ඇවිල්ලා කියලා යන්න කැමති නෑ හෙක්ටෙයාර 7000ම එකපාර කරනවා කියලා. අපි මුලින්ම පටන් ගන්නේ හෙක්ටෙයාර 1500ක්. ඉතුරු ටිකට වතුර ලැබෙන්නේ 2017 දී. එම නිසා සැකයක් ඇතිකරගන්න එපා. මේ ගැටලුවලට අවශ්‍ය පිළියම් අපි ලබලා අවසානයි. නවීනම පන්නයේ කර්මාන්තශාලාවක් තමුන්නාන්සේලාගේ කන්තලේට ලැබෙනවා. ඉඩම් ටික සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අපි අද ඉඳන් පටන් ගන්නවා. වැඩිකලක් යන්න කලින් තමුන්නාන්සේලාගේ සිහිනය සැබෑ වෙනවා කියන එකත් අපි කියන්න කැමතියි.

     

    මේක කරගෙන යද්දී මැතිවරණයක් එනවා. ඒ ගැනත් වචනයක් කතා කරන්න ඕනේ. අද ත්‍රිකුණාමලේ ජනතාවට මං හිතන්නේ නෑ අතීතය අමතක වෙලා ඇති කියලා. තමුන්නාන්සේලාට ඉතිහාසයේ කන්න ගත්ත බත්වේල කන්න බැරිවුණා. එදා මේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වේ අද සහ මුලින්ම නැතිවෙලා ගිහින් අවසානයි. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනවා මං අහගෙන ගිය සතියේ එතුමා කිව්වා එතුමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ලු. සන්ධානේ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලු. මේක යකාගේ කෙළියක්නේ. දරුවෙක් ලැබෙන්නත් ඕනේ. කන්‍යාභාවය රැකෙන්නත් ඕනේ. මේ දෙකම කරන්න බෑනේ. මේ චරිත දෙක අරගෙන බැලුවොත් ඉතිහාසයෙන් පාඩම් අපිට දකින්න පුළුවන්. සුසන්ත ඇමතිතුමා කිව්වා කළ පුරුද්ද සහ දැක පුරුද්ද කියලා. මං ඒකට එකතු කරනවා පළ පුරුද්ද කියන එක. එදා යුද්ධය තියන වෙලාවේ විවිධ රටවල රාජ්‍ය නායකයෝ ඇවිල්ලා ජනාධිපතිතුමාට බලපෑම් කළා. එතුමා ඒ කිසි බලපෑමකට යට වුණේ නැහැ. බැරිවෙලාවත් අපි හිතමු මෛත්‍රිපාල සිරිසේන මහත්තයට නිකන් එහෙම යන්න පුළුවන් වුණා කියලා. සුද්දෙක් ඇවිල්ලා කිවුවොත් උඹලගේ උතුරු නැගෙනහිර වෙන් කරන ඉර ගහපන් කියලා මේ මනුස්සයා රිංගනවා මේසේ අස්සට.

     

    අපි හැමෝගෙම යුතුකමක් වගකීමක් තියනවා මේ වෙලාවේ. චන්ද්‍රිකා මැතිනියත් එක්ක ඉන්න සිරිසේන මහත්තයා කවදාවත් ජනාධිපතිකම අරන් කාටවත් දෙන්නේ නෑ. ඕක අමූලික බොරුවක්. ඕක ගත්ත කිසි කෙනෙක් දෙන්නේ නෑ. ඒකත් ඇත්ත. මම ජනාධිපති වුණොත් මොනවා කිවුවත් මං ඕක අතහරින්නේ නෑ මිත්‍රවරුනි. ඒකයි ඇත්ත. ඔය ඇත්තට අපි මූණ දෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා ඔය පුටුවෙන් බැහැලා රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙයිද?. කවදාවත් වෙන වැඩක් නෙවෙයිනේ. ඉතින් ඕකයි එක්සත් ජාතික පාක්ෂිකයෝ කිව්වේ. ඩුප්ලිකේට් අපේක්ෂකයෙකුට දෙනවට වඩා වටිනවා අපි පළවෙනි වතාවට, යුද්ධය ඉවර කරපු ඔරිජිනල් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කතිරයක් ගහන්න අවස්ථාව ලැබුණා කිව්වා. ෆොන්සේකා ලොක්කව එක්ක ඇවිත් පළවෙනි සති දෙකේ සෝඩා බෝතලේ කැඩුවා වගේ. සුමාන දෙකකට පස්සේ මොකද?. මේ තත්ත්වෙම තමයි.

     

    මේ රට ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්. අපි සියලුදෙනාම බැඳිලා ඉන්නවා, ඇපකැප වෙලා ඉන්නවා ඒ දේ කරන්න. මෙතන තියෙන්නෙ සරල සමීකරණයක්. මේ සමීකරණයේ සියලුම දේවල් අමතක කරන්න. උතුරු නැගෙනහිර වෙන්කරන ඉරගහන්න ලාංකිකයෝ හැටියට ඉඩක් දෙනවද නැද්ද කියන තීන්දුවයි අපි ලබන මාසේ 8වෙනිදාට ගන්නේ මිත්‍රවරුනි. ඒ තීන්දුව ගන්න ලාංකික ජනතාව සූදානම් වෙලා ඉන්නවා. අපි සියලු දෙනාම ඒකට දායකත්වය ලබා දෙමු. අපේ යුතුකම් කොටස අපි ඉෂ්ට කරමු. මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ රට ඉරක් ගහලා වෙන්කරලා නැහැ. මගේ පැරණි ලොක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ඉර නොගහා ගැහුවා. ඒකට චන්ද්‍රිකා මැතිනිය විශාල සහයෝගයක් ලබලා දුන්නා. අපි දන් නෑ මේ මැතිවරණයට කොහෙන් සල්ලි එනවද කියලා. අපි එක දෙයක් දන්නවා. කෝටි ගණනක මුදලක් මේ මැතිවරණයට කොහෙන් හරි ඇවිත් තියනවා. ඇවිල්ලා තියෙන්නේ රටට ආදරේට නෙවෙයි. රට අස්ථාවර කරන්නයි. එහෙනම් ඒකට මුහුණ දෙන්න වෙන්නේ ලාංකික ජනතාව වන අපි තමුන්නාන්සේලාටයි. අපි ඒ වගකීම ඉෂ්ට කරමුයි ඉල්ලා සිටිමින් මේ සියලුම වැඩ කොටස් කරපු සියලුම දෙනාට මගේ ස්තූතිය පුද කරන එක මගේ යුතුකමක් ලෙස මම සලකනවා අමාත්‍යවරයා විදියට. අපේ පර්යේෂණ ආයතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසට විශේෂ කාර්ය භාර්යයක් තියනවා මේ කන්තලේ කරන්න. මේ තවානේ ඉතාමත් හොඳ බීජ පැළ හදලා ප්‍රදේශයේ ජනතාව ශක්තිමත් කිරීමේ පළවෙනි රාජකාරිය කරන්න ඔබ තමුන්නේන්සේලාට.

     

    අපි හැමදෙනාගේම බලාපොරොත්තුව නොබෙදුණු රටක්. ප්‍රතාපවත් රාජ්‍යයක්. ඉදිරියට යන රටක්. යුද්ධය අවසන් වූ රටක්. ලාංකිකයෝ හැටියට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒ නායකයාව ආරක්ෂා කරන්න අපි හැමදෙනාම කැපවෙමු. කියන පණිවිඩේ දෙමින්, සුසන්ත පුංචි නිලමේ මැතිතුමාට ගෞරවනීය ස්තූතිය පුද කරමින්, තමුන්නාන්සේලාට ජයවේවායි ප්‍රර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

     

    - උමෝදා උදාරි වීරසිංහ

     

    Kantale suger industry 2

     

    Kantale suger industry 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya