ඔහුගේ විශේෂ අවධානයට ලක් වූ විෂය ක්ෂේත‍්‍ර ද ගණනාවකි. සිංහල භාෂා සාහිත්‍යයෙන් ආරම්භ කරමින් ඒ ක්ෂේත‍්‍ර නම් කර දැක්වීමට මා උත්සාහ කළ විට එහි සීමාව ඉතිහාසය, පුරාවිද්‍යාව, ආගම, සෞන්දර්යවේදය, නාට්‍ය හා රංගකලාව, ජන සන්නිවේදනය, අභිචාරවිධි අධ්‍යයනය හා සංස්කෘතිය යනාදි විෂය පථ ගණනාවක් පුරා පැතිර පවත්නා බව පෙනී ගියේ ය.
තිස්ස 1980 සිට 88 තෙක් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ව සිටියේ ය. මේ ආයතනය අද දෘශ්‍යකලා හා ප‍්‍රාසංගික කලා විශ්වවිද්‍යාලය නමින් සෞන්දර්ය විෂය සම්බන්ධ විශ්වවිද්‍යාලය බවට පත් වී තිබේ. ඒ බව විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඔහු එහි වැඩි කාලයක් අඛණ්ඩ ව එහි අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නිසා පමණක් නො වේ. එහි ප‍්‍රවර්ධනය විෂයයෙහි තීරණාත්මක මෙන් ම නිර්දේශාත්මක ලෙස ද බල පෑ චරිතයක් ද වන බැවිනි. ලංකා විශ්වවිද්‍යාලයයට ඉදිරිපත් කළ ඔහුගේ ශාස්ත‍්‍රපති නිබන්ධයට ද විෂය වූ පහතරට ශාන්තිකර්ම අළලා ප‍්‍රකට කරන විශාරද ඥානය හේතුවෙන් ද මහාචාර්ය කාරියවසම් මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ ආචාර්යවරුන් අතර පැතුරුණු කීර්තිනාමයක් අත් කර ගෙන සිටී. මේ ආයතනයේ ආචාර්යවරුන් තිස්ස කාරියවසම් නාමයට දක්වන අපරිමිත ගෞරවය කෙබඳු ද යන්න මා අවබෝධ කර ගත්තේ 2000 වර්ෂයේ දී කෙටි කලක් මේ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයෙහි කටයුතු කිරීමට මට අවකාශ සැලසුණු විට ය.
මහාචාර්ය තිස්ස කාරියවසම් කෘතහස්ත ලේඛකයෙකි. මේ වන විට ඔහු විසින් ප‍්‍රකාශිත පොත් සංඛ්‍යාව පනහකට ද අධික ය. ඒ අතරින් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ 1876 සිට 1956 තෙක් දිවයිනේ නාට්‍ය කලාවේ විකාසනය අළලා සුනිශිත වංශ කථාවක් බඳු ග‍්‍රන්ථ චතුෂ්කයක් රචනා කොට තිබීම යි. ජන සන්නිවේදනය නම් අභිනව විෂයය සිංහල විද්‍යාර්ථීන්ට හඳුන්වා දීමෙහි පුරෝගාමී විද්වතා වූ මහාචාර්ය කාරියවසම් මේ වන විට තත් විෂයය අරභයා ලියූ ග‍්‍රන්ථ සමුදාය ඒකභාෂක විද්‍යාර්ථීන්ගේ මනෝභාවයන් ආළෝලනය කිරීමෙහි සමත් වී ඇති බවත් ඒවා එම විෂය සඳහා වන මූලික පාඨ්‍යග‍්‍රන්ථ සේ එකහෙළා පිළිගැනෙන බවත් කිව යුතු ය.
සිංහල නාටකයක් පළමු වරට මේ දිවයිනෙන් බැහැර ව වේදිකාගත කිරීමෙහි කාර්යසාධනය සඵල කර ගත හැකි වීමේ ගෞරවය ද මහාචාර්ය කාරියවසම්ට හිමි වෙයි. ඒ 1981 දී හොංකොංහි පැවැත්වූ සවන ආසියානු කලා මහෝත්සවය සඳහා ජෝන් ද සිල්වාණන්ගේ සිරිසඟබෝ නාටකයෙහි අභිනව නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමෙනි.
විශ්වවිද්‍යාලය ආචාර්යවරයකු හා පර්යේෂකයකු වසයෙන් නිරත වන කාර්යසාධනයට අමතර ව මහාචාර්ය කාරියවසම් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික වසයෙන් වැදගත් වන තනතුරු ගණනාවක් හොබවමින් ක්ෂේත‍්‍ර රාශියක අභිවර්ධනය උදෙසා දායකත්වය සපයා ඇත. 1990 - 1994 කාලයේ ඔහු ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙහි කටයුතු කෙළේ ය. සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ද සභාපති ව සිටි හෙතෙම මාධ්‍ය පිළිබඳ විශේෂ කාර්ය සාධක කමිටුවෙහි ද සාමාජිකයෙක් විය.
මහාචාර්ය කාරියවසම් පිළිබඳ ව ඉහත දැක්වූ සංක්ෂිප්ත විස්තරය සත්‍ය වූවක් වන නමුදු කිසිවකුට රහසක් නම් නො වේ. එතුමා පිළිබඳ ව සත්‍යයක් වන නමුදු එතුමාත් මාත් පමණක් දන්නා යම් කිසි රහසක් හෙළි කිරීමෙන් එතුමාට නිසි ගෞරවය පුද කිරීමට මම කැමැත්තෙමි.
මා මේ හෙළි කරන දෙය සියල්ලන්ට ම නව්‍ය වූවක් මෙන් ම සත්‍යයක් ද බව කිව මනා ය. ඒ මෙසේ ය: මහාචාර්ය කාරියවසම් 1973 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයෙහි එක් පරිච්ඡේදයක අනගාරික ධර්මපාලතුමන්ගේ කාර්යසාධනය පිළිබඳ ව දීර්ඝ විග‍්‍රහයක් අන්තර්ගත ව ඇති බව 70 දශකය අග භාගයේ දී මට අසන්නට ලැබිණි. ඒ නිබන්ධය කියවා බැලීමට ටික දිනකට මා වෙත ලබා දෙන මෙන් මා ඉල්ලා සිටි විට එතුමා මහත් කැමැත්තෙන් යුතු ව ඒ ඉල්ලීම ඉටු කෙළේ ය. ඒ නිබන්ධය මා සේවයෙහි නියුතු ව සිටි කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ භෞතවේද අධ්‍යයනාංශයේ මාගේ නිල කුටියෙහි මේසය මත තබා ගත්තෙමි. ඒ දිනවල හැම විට ම වාගේ මාගේ මේසය පොත්පත්, ලිපිලේඛන, නිබන්ධන ආදියෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. ඒ සැමෙකක් ම මට එක සේ වැදගත් වූ ඒවා විය. ඉඩක් ලැබුණු හැම විට ම පාහේ මම මහාචාර්ය කාරියවසම්ගේ එම ආචාර්යෝපාධි නිබන්ධයෙහි පිටක් හෝ කියවීමට ඇබ්බැහි වීමි. ඒ අන්දමින් මාස කිහිපයක් ගෙවී ගියේ ය. දිනක් මහාචාර්ය කාරියවසම් මට කතා කොට ඒ නිබන්ධය ආපසු ලබා දින මෙන් මතක් කර සිටියේ ය. ඉතා දිගු කතාවක් සාරාංශ කොට කියතොත්, මට එතුමාගේ නිබන්ධය සොයා ගත නොහැකි විය. ඒ වන විට එය මගේ මේසය මත හෝ කාමරයෙහි හෝ නිවසෙහි හෝ වෙනත් කිසිදු තැනක හෝ නොමැති බව පමණක් පෙනී ගියේ ය. මම දෙතුන් මසක් නොයෙක් තැන්වල එය ඇද්දැයි සොයා බැලුවෙමි. මේ කාලය තුළ මම මහාචාර්ය කාරියවසම් සිටිති යි සැලකිය හැකි තැනකට පවා යාමෙන් වැලකී සිටියෙමි. මා කටයුතු කෙළේ වසංගත රෝගයකින් පලා යන්නාක් මෙනි. ඔහුට හසු වුව හොත් මට මහත් කරදරයක් වනු ඇතැයි මට සිතිණි. ඇත්තෙන් ම මම එසේ කරනු ලැබීමට සුදුස්සෙක් වීමි. එළඹෙන කවර තත්ත්වයකට වුව මුහුණ පෑමට මම හිත හදා ගත්තෙමි. පොත නැති වූ බව මට ඔහුගේ මුහුණ බලා ගෙන කිව නො හැකි විය. අන්තිමේ දී මම ඔහුට ලිපියක් ලිවීමි. ඔහුගේ නිබන්ධය මා කොහේ හෝ දමා ඇති බවත් එය සොයා ගත් වහා ම ඉතා ඉක්මනින් ම අසවල් දින ඔහු හමු වන බවත් මම එයින් දැන්වීමි. ඒ දිනය එළඹුණ ද මට ඔහු හමු වීමට යාමට වූයේ හිස් අතිනි. ‘‘තිස්ස, මට සමා වෙන්න. ඔබේ තීසීසය මා අතින් නැති වෙලා. ලන්ඩන් යුනිවසිටියෙන් එහි පිටපතක් ගෙන්වා ගනිමු. යන වියහියදම් සියල්ල මම දරන්නම්.’’ මට කිව හැකි වූයේ එපමණකි. ඔහු මගේ මුහුණ දෙස කෙළින් ම බලා සිටියේ ය. ඉන් පසු, ඔහු මට කීවේ මෙපමණකි. ‘‘හරි ඒක අමතක කරන්න. මට මුදල් අවශ්‍ය නැහැ.’’
මට මගේ ඇස් අදහා ගත නො හැකි විය. මනුෂ්‍යයකු කෝපයට පත් වූ කල ඔහුගේ මුහුණෙහි කවර වෙනස්කම් සිදු වේ ද යන්න කායිකවිද්‍යාඥයකු වන මට අමුතුවෙන් කියා දිය යුතු නො වේ. එහෙත් තිස්සගේ මුහුණෙහි නම් ක්‍රෝධයක හෝ කනගාටුවක හෝ සේයාවකුදු නො වී ය. බෞද්ධ ඉගැන්වීමක් වන බ‍්‍රහ්මවිහාර යන්න මා අසා ඇත. ඒ වූ කලි නො මිනිය හැකි ගුණාංගයකි. මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව එහි ගැබ් වෙයි. ඒ අවස්ථාවෙහි මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ හැසිරීම - ලෝක ධර්මයන් හමුවේ නොසැලී සිටීම (ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති) - උපේක්ෂාව යන ඒ උත්තරීතර ධර්මතාවෙහි අරුත මට ඇස් පනා පිට පහදා දුන්නේ ය.
සේවාර්ජිත මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සිංහල පරිවර්තනය: මහාචාර්ය රත්නසිරි අරංගල