අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රීලනිප නව මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා

    නොවැම්බර් 25, 2014

    1959 වර්ෂයේ ඉපිද අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිය ද්විතීයක අධ්‍යාපනය හැදෑරූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා 1979දී නීති විද්‍යාලයට ඇතුළත් විය. 1982දී නීතිඥයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු 1980දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් දේශපාලන කටයුතුවල නිරත විය.


    1984 වර්ෂයේ දී කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයට පත්වන එතුමා 1988 වර්ෂයේ දී පැවැත්වූ කටුගම්පොළ අතුරු මැතිවරණයට තරග කරනු ලැබීය. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය නිසා ඉන් ජයග‍්‍රහණය කිරීමට එතුමාට නොහැකි විය. 1991 වර්ෂයේ දී පන්නල ප‍්‍රාදේශීය සභාවට තරග කරන එතුමා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් පන්නල ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය. 1993 වර්ෂයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් මැතිවරණය ජයග‍්‍රහණය කර වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය සහ වනිතා කටයුතු අමාත්‍යවරයා වශයෙන් මොහු කටයුතු කළේය.
     
    1994 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන මෙතුමා 1997 වර්ෂයේ දී ජනමාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තේරීපත් විය. 2001 වර්ෂයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඔහු 2004 වර්ෂයේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2005 වර්ෂයේ දී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා සහ රජයේ කැබිනට් ප‍්‍රකාශක තනතුරට පත්විය. 2010 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ එතුමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ අතර වර්තමානයේ දී ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබේ.

    යාපා අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරය ද දැරීය. එසේම එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය ද දරයි. 2008 වර්ෂයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ එතුමා පාර්ලිමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ තනතුරු සහ වගකීම් දරා ඇත. 

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ලේකම්වරයා වශයෙන් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඊයේ (24) පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය. 

    ජනාධිපතිතුමා හමු වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා වශයෙන් සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ ව ඔහු, ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ද ලබා ගත්තේය. 

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී සර්ව ආගමික වතාවත්වලින් පසු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

    අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනවිරත්න, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, එජනිස මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, සී.බී. රත්නායක, ටී.බී ඒකනායක, පවිත‍්‍රා වන්නිආරච්චි, සුමේධා ජයසේන, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, රෙජිනෝල්ඩ් කුරේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH

    anura 1

     


    anura 2

     

    anura 3

    anura 4

     

    anura 6

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya