මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද චින්තනයෙන් ගොඩනැගෙන විසල් මන්දිර

    දෙසැම්බර් 02, 2014
    දස වසරක සංවර්ධන කි‍්‍රයාන්විතයේ අතිමහත් ප‍්‍රතිලාභ ජනතාව වෙත හිමිකර දී ඇති කාල පරිච්ඡේදයක නාගරික සංවර්ධනයේ ද නවමු වෙනසක් අද වන විට සිදුව ඇත. සංවර්ධනය යනු තවදුරටත් අපේ රටේ ජනතාවට දුරස්ව පවතින දෙයක් නොවන බව පසක් කරමින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොට ගත් දැවැන්ත සංවර්ධන කි‍්‍රයාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත‍්‍රයක ම විහිදී පැතිරී ඇත.
     
    එම පොරොන්දු පත්‍රය යථාවත් කරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නව මැදුරු තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකය.
     
    ඒ  යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොලොන්නාව, සාලමුල්ල ප‍්‍රදේශයේ ඉදිකෙරුණු මහල් දොළහකින් යුත්, නිවාස 216කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (01)දා ජනතා අයිතියට පත් කෙරුණි.
     
    මෙතෙක් මෙම ජනතාව ජීවත් වූයේ මීතොටමුල්ල කුණුකන්ද අසල ඉතා අවිධිමත් පරිසරයකය. වර්තමානයේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ තුළින් ඔවුන් එම ප‍්‍රදේශයේ ම කුණු කඳුවලින් තොර හරිත පරිසරයක නවීන නගර අලංකරණ සමගින් අංගසම්පූර්ණ නිවසකට උරුමකම් කීමට වාසනාව හිමිවීම විශේෂත්වයකි.
     
    නාගරික සංවර්ධනයට අදාළව සුවිසල් සංවර්ධන ව්‍යාපෘතීන් නිවැරදි ඉලක්කයන් ද සමඟින් ඉතා සැලසුම් සහගතව ලොව නවීන නගර අලංකරණ සැලසුම් අනුව නිම කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී ඇත්තේ වත්මන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ණ කැපවීමෙන් හා ඉතා නිවැරදි මගපෙන්වීම යටතේය.
     
    මෙම අහිංසක ජනතාවට සියලුම පහසුකම් සහිත ව අලංකාර නාගරික පරිසරයක් ද සමගින් ලැබෙන මෙම නව නිවසක  වටිනාකම රුපියල් මිලියන 8කි. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳලුතලයක් හා සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විතය. නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාවන් හි දී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බලශක්ති පද්ධති ද සවිකර තිබීම තවත් විශේෂත්වයකි. ජාත්‍යන්තර ප‍්‍රමිතියට, ලොව නවීන නාගරික සැලසුම්වලට අනුව, හරිත උද්‍යාණ සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගන, විධිමත් ලෙස පුළුල් කෙරුණු මාර්ග පද්ධති, ප‍්‍රජාශාලා වැනි  අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලද වැඩිදියුණු කිරීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප‍්‍රතිලාභයකි.
     
    පැල්පත්, මුඩුක්කු, අඩුපහසුකම් නිවාස යන නම් භාවිත කරන්නේ ප‍්‍රධාන නගරයන් තුළ අඩු ආදායම්ලාභින් නෛතික රාමුවට පරිබාහිර ව මානුෂීය හේතූන් මත ඉදිකර ගත් නිවාසයන් ය. සමස්ත ලෝකයේ ම නාගරික, තදාසන්න සහ මහ නගර ආශි‍්‍රත ව අඩු ආදායම්ලාභීන්ගේ නිවාස පන්තීන් ගොඩනැගීමක් දක්නට ලැබේ. එය එසේ වන්නේ, වරප‍්‍රසාදලත් නාගරික වැසියන්ගේ, ආර්ථික අවශ්‍යතා මෙන් ම ජීවන ශෛලීන්ට අවැසි සේවා ඉටු කර ගැනීමට මේ ජනතාවගේ සේවය අවශ්‍ය වූ හෙයිනි. පැල්පත්, මුඩුක්කුවාසීන්ගේ ලාභදායක ශ‍්‍රමය නාගරික ආර්ථිකයේ ප‍්‍රසාරණයට, වර්ධනයට මෙන්ම සේවා හා නඩත්තු සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට පෙළඹී තිබෙනවා. 
     
    මෙම නිවාස  ගැටලුව අපේ රටට ද අතිශය සංවේදී සංවර්ධන බාධකය බවට  පත්වී තිබෙනවා.  මෙරට ආර්ථිකයේ හදවත බඳු වූ කොළඹ නගරය අපේ රටේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානයයි. කොළඹ නගරය තුළ ඇති අඩු පහසුකම් නිවාස පද්ධතීන් සංවර්ධනයට බාධාවක් වුවත්, එම ජනතාව එම ස්ථානවලින් ඉවත් නොකර ඔවුන්ගේ නිවාස ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට රජය සැලසුම් කරනු ලැබුවා. ඒ අනුව මෙරට ක‍්‍රියාත්මක කරනු ලැබු විශාලත ම මහල් නිවාස ව්‍යාපෘතිය කොළඹ නගරය තුළ මේ වන විටත් ක‍්‍රියාත්මක කර තිබේ.
     
    01පළමු අදියර යටතේ නිවාස ඒකක 20,000ක ඉලක්කයක් කරා යන ගමනේ මෙම වසර තුළ නිවාස ව්‍යාපෘති රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර ඇත.
     
    ඒ අනුව, නිවාස ඒකක 500 සමන්විත දෙමටගොඩ ‘මිහිඳු සෙන්පුර’ අභිනව නිවාස ව්‍යාපෘතිය, වැල්ලවත්ත - මයුර පෙදෙස ‘ලක්මුතු සෙවණ’ නිවාස ව්‍යාපෘතියෙන්  නිවාස 118ක් ද, බ්ලුමැන්ඩල්, ‘සිරිසඳ සෙවණ’ නිවාස ව්‍යාපෘතියෙන් තවත් නිවාස 366ක් ජනතාවට උරුම විය.
     
    එසේ ම ඔරුගොඩ වත්ත ‘පුරදොර සෙවණ’ නිවාස ව්‍යාපෘතියෙන්  නිවාස 34ක් මෙන් ම, 54/66 වත්ත, ‘සිරිසර උයන’ හා ‘මෙත්සර උයන’ නිවාස ව්‍යාපෘතිවලින්  තවත් නිවාස 1148 හා කොළඹ 14, හේනමුල්ල ‘රන්දිය උයන’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස 1137ක් ද,  එදිරිසිංහ වත්ත ‘සිරිමුතු උයන’නිවාස 564ක් ද, අඩු ආදායම්ලාභි පවුල් වෙත හිමි විය. 
     
    මෙම නිවාස, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වාර්තා ගත සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. දශක ගණනාවක් පුරා ඉදිකිරීමට නොහැකි වූ නිවාස ප‍්‍රමාණයක් පසුගිය වසර 03 ඇතුළත ඉදිකර ජනතාවට තිළිණ කිරීමට හැකි වීම අපේ රටේ ජනතාව ලැබූ විශාල ජයග‍්‍රහණයකි.
     
    12නාගරික සංවර්ධන අධිකාරිය හා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක නිවාස 70,000ක කඩිනම් විසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ ඉදි වූ තවත් සුවිශේෂී වූ මහල් නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කිරීමට සූදානම්ව ඇත. එනම් එළඹෙන දෙසැම්බර් 08 වන දින, කොළඹ 15, ෆර්ගියුෂන් පාර නිවාස 872කින් සමන්විත ‘මුවදොර උයන’ මහල් නිවාස ව්‍යාපෘතිය ද අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    මෙම විසල් සංවර්ධන ක‍්‍රියාදාමයේ  නියමුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක බි‍්‍රගේඩියර් රංජිත් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ.ඒ.සී. ප‍්‍රියශාන්ත යන මහත්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලය කටයුතු කරයි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya