අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි මුල්ගල් තබා පැළවෙන්න අරින අය නොවෙයි

    නොවැම්බර් 23, 2014

    මග නැඟුම මහ මැඳුර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

    මම මුලින් ම ඔබට සුබ පතනවා අද නව මැඳුරකට ගෙවදීම පිළිබඳව.

     

    අප බලාපොරොත්තුව වැඩ කරන සියලු ජනතාව වඩාත් හොඳ පරිසරයක සේවය කිරීමයි. තමන්ගේ වැඩ කරන ස්ථානය තදබදයෙන් සිරවෙලා, හොඳ පරිසරයක නොතිබුණොත් සේවය සඳහා ඔවුන්ගේ දායකත්වය අඩුවන බව අපි විශ්වාස කරනවා. පසුගිය කාලයේ නව ගොඩනැගිලි හදන්න අවශ්‍ය වැඩපිළිවෙළට අප ගියේ ඒ නිසයි.

     

    අපි මුල්ගල් තබා පැළවෙන්න අරින අය නොවෙයි. එය හදන්න ටිකක් පරක්කු වුණා. එයත් හොඳ අතට හැරුණා. මෙය හදන්න ඉතුරු කර තිබූ මුදල් පාරකට වැලි පුරවන්න දෙන්න වුණා. පසුව මා ජනාධිපති බවට පත්වුණාට පසුව මේ අමාත්‍යාංශය භාරගත් පසු නැවත ඒ මුදල් යොදවා මේ ගොඩනැගිල්ල නිමකරන්න අවස්ථාව ලැබුණා. එසේ නොවුණා නම් ඒ මුදල් අපතේ යන්න තිබුණා එදා ඉහළ තැන්වලින් ගත් වැරදි තීන්දු නිසා. ඒ ඉතිහාසය. දැන් එය වෙනස් වෙලා.

     

    මම මේ අමාත්‍යාංශය භාරගත්තේ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාගේ මරණයෙන් පස්සේ. දකුණු අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න කොට්ටාවේ පැවති උත්සවයට යන දිනයේ තමයි නාම යෝජනාපත‍්‍ර සඳහා අත්සන් තබන නැකත යෙදී තිබුණෙත්. එදා ඔබව වට කරගෙනයි මා මේ යෝජනාපත‍්‍රවලට අත්සන් තැබුවේ.

     

    අද නැවත වරක් මාර්ගයත් සමඟ සම්බන්ධ වෙන මග නැඟුම මහ මැඳුර විවෘත කළා. ඔබ හා රජය අතර දැඩි සම්බන්ධතාවයක් තිබෙනවා. එය මා මතක් කරන්න  ඕනෑ. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා. අපට තිබුණු ඊළග අභියෝගය රට සංවර්ධනය කිරීම. අපි විශ්වාස කළා ආර්ථික සංවර්ධනයකට යන්න නම් මුලින් ම රටේ මහාමාර්ග, ගමනාගමන පහසුකම් තිබිය යුතු බවයි. ඒ පිළිබඳ අපේ දැඩි විශ්වාසයක් තිබුණා. ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා අපි විශ්වාස කළ දර්ශනය ගැන.

     

    ඒ විශ්වාසය නිසා තමයි අපි අධිවේගී මාර්ග ඉදිකළේ. හැම ගමකම, පළාතකම, රටේම මාර්ග අපි සංවර්ධනයට යොමු කළා. එදා අපට තිබුණු ලොකුම ගැටලුව වුණේ අපි හැමදාම වැඩිපුර මුදල් යෙදෙව්වේ පාරවල්වල තිබෙන වළවල් පුරවන්න. තාර ටිකක් දමන්න. ගමේ ඉල්ලුවේ බොරළු පාරක් හදලා දෙන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් දකුණු පළාතට බොරළු පාරවල් හදන්න යෝජනාවක් ගෙනාවා. එදා තිබුණු ඉල්ලුම එයයි. අපේ රටෙන් එදා ණය ලබාගත්තෙත් බොරළු පාරවල් හදන්න.

     

    අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ ක‍්‍රමය වෙනස් කරන්න අපිට පුළුවන් වුණා. කොන්කී‍්‍රට් පාරවල් හා කාපට් පාරවල් හදන්න අපි පියවර ගත්තා. මේ ඉතිහාසය. අපි බලාපොරොත්තු වුණේ ගමේ පාරවල් හදන්න. ඉක්මනින් රට කිට්ටු කරන්න. කොළඹත් යාපනයත් අතර දුර තව අවුරුදු දෙකකින් පමණ පැය 05ක දුරක් වෙනවා. අද රටේ උතුරත් දකුණත් ළං වෙලා යා වෙලා තිබෙනවා. අපි යටිතල පහසුකම් දියුණු කරනවා වගේම රටට විදුලි බලයත් ලබාදෙන්න කටයුතු කළා. එදා ලෙනින් කිව්වා විදුලිය එකතු කිරීම සෝවියට් දේශයේ සංවර්ධනය හා සමානයි කියලා. අපිත් විශ්වාස කළා විදුලිය දෙන්න  ඕනෑ රටට. එවිට රටත් දියුණු වෙනවා. ඒත් සමගම අපි මේ වැඩපිළිවෙල අපි දියත් කළා. අද 98% කට පමණ විදුලිය දී තිබෙනවා. එය 100%ක් ලබාදෙන වැඩපිළිවෙළකට අපි ගිහින් තිබෙනවා. අද දුරකතන පහසුකම් සෑම ගමකටම ගිහින් තිබෙනවා. ජංගම දුරකතන තිබෙනවා. අද ජනගහනය මිලියන 20යි. දුරකතන ප‍්‍රමාණය රුපියල් මිලියන 27යි. ලෝකයේ  ඕනෑම දුරකතනයක් නිකුත් කර මාසයක් දෙකක් යනවිට එය ලංකාවට එනවා. අද එතරම් සිතන්න දියුණු වෙලා. අද ගම්වල හැම තරුණ තරුණියක් අතේම ඉතාම නවීන ජංගම දුරකතන තිබෙනවා.

     

    ඒ මේ රටේ සංවර්ධනය. ජනතාවගේ සංවර්ධනය. අද පොල්අතු වහල තිබෙන්නේ ලොකු හෝටල්වල. මේ රටේ ඇතිවෙලා තිබෙන වෙනස. ඔබ රට පුරා ඇවිදින පුද්ගලයින්. අද ගම සංවර්ධනය වෙනවා වගේම ගමේ දරුවාගේ අධ්‍යාපනය සඳහාත් අපි කටයුතු කර තිබෙනවා. ඔබේ දරුවා ගැන සිතා කටයුතු කර තිබෙනවා. මේ ගොඩනැගිල්ල හදන්න ආරම්භ කළ අවස්ථාවේ මා පැවසුවා මෙහි සේවය කරන අයගේ කුඩා දරුවන් සඳහා දිවා සුරැුකුම් මධ්‍යස්ථානයක් අනිවාර්යෙන් හදන්න කියලා. ඒ වගේම මෙහි සේවය කරන අය සඳහා ව්‍යායාම කරන්න ස්ථානයකුත් හදන්න කියලා. ඔබේ ශරීර සෞඛ්‍යය ගැන වගේම ඔබේ දරුවා ගැනත් අපි සංවේදී වෙලා තිබෙනවා. ඒ වගේම මේ රටේ වැඩකරන පන්තියේ සියලු දෙනා පිළිබඳව අප සිතන්නේ ඒ ආකාරයට. අපි හැමදාම එහෙම කරනවා.

     

    අපි මහින්දෝදය විද්‍යාගාර ගමට ගෙනගියා. එදා කොළඹට කිරි. ගමට කැකිරි කිව්වා. එයයි ඇත්ත. අපි ඊයේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයට මහින්දෝදය විද්‍යාගාරයක් ලබාදුන්නා. ඒ පාසලේ විද්‍යා අධ්‍යාපනයක් තිබුණේ නැහැ. දැන් අපි විද්‍යාගාරයක්, තාක්ෂණ විද්‍යාගාරයක් ලබාදීලා දරුවා ඒ අධ්‍යාපනය සඳහා යොමු කරන්න පහසුකම ගෙනත් තිබෙනවා. දැන් මේ රටේ තිබෙන තත්ත්වය එයයි. එදා හම්බන්තොටට එකම පාසලයි තිබුණේ ඒ ශ්‍රේණියේ. යාපනයට තිස් හතක් තිබුණා. නමුත් ත‍්‍රස්තවාදය නිසා ඒ අධ්‍යාපනය බිඳවැටිලා. එදා මොනරාගල දිස්ති‍්‍රක්කයට තිබුණේ මහානාම විද්‍යාලය පමණයි. මේවා නැවත අපි ගමේ ගොඩනගලා තිබෙනවා. ගමේ දරුවන් අද හැම ක්ෂේත‍්‍රයකින් ම ඉදිරියට එනවා. දරුවන්ට ඒ හැකියාව තිබෙනවා. අද වැඩියෙන්ම විභාග සමත් වෙන්නේ ගම්වල දරුවන්. අද ගමෙන් ආපු දරුවෝ තමයි කී‍්‍රඩාවෙන් දිනන්නේ. නගරයේ දරුවන්ට පහසුකම් තිබුණත් නොසැලකිල්ල නිසා තමයි ඒ දරුවන් එන්නේ නැත්තේ. දැන් අපි එයත් වෙනස් කරගෙන යනවා. අපි ඒ සඳහා අවශ්‍ය පරිසරය හදනවා.

     

    අපි කිව්වේ නගරයේ පහසුකම් මහාමාර්ග, දුරකතන, රෝහල්, පාසල්, ගමනාගමනය ගමට ගෙනයන්න. ගමේ සුන්දරත්වය නගරයට ගෙනෙන්න. අපි ගමේ සුන්දරත්වය නගරයට ගෙනත් තිබෙනවා. අද මේ පරිසරයට ඒ වෙනස සුන්දරත්වය ඇවිත් තිබෙනවා. ඒකයි අපට අවශ්‍ය. නගරයේ පහසුකම් ගමට ගෙනැවිත් තිබෙනවා. පසුගිය දා ලංකාවේ පළමු වතාවට පසුගිය දා නිවාස 1400 ක් එක් දිනක ජනතාවට භාර දුන්නා. සමහරු එදා හිටපු ගෙවල් ඔබ දුටුවා ද? ඒ පළාතේ යන්න බැහැ දුඟද නිසා. කුණු කාණු උඩ වසර ගණන් ජීවත් වුණා. දරුවන් මත් කුඩට පුරුදු කරන ව්‍යාපාර තිබුණා. අලුතින් ලබාදුන් නිවාස සඳහා මේ අයගෙන් මුදල් ගන්න බැහැ. මුදල් නැහැ ඒ අයට දෙන්න. ඒ නිවාස දෙන විට භේද බැලුවේ නැහැ.

     

    එක් නිවසක වහළයක තිබුණේ පරණ බැනරයක්. එහි තිබුණේ ආරක්ෂක ලේකම්තුමාට හෙණ ගහපන් කියලා. ඒ අයටත් නිවාස ලබාදුන්නා. අපි ගාව වෛරයක්, ක්‍රෝධයක් නැහැ. අපි දැක්කා වෛරක්කාර දේශපාලකයින්ට වුණු දේවල්. එහෙම දේශපාලනයක් අපි ළග තිබුණේ නැති නිසා අද අපිට 2/3 ක බලයක් ලැබිලා තිබෙනවා. අපි ජනතාවත් සමග කටයුතු කරන කොට ජාති භේද, ආගම් භේද සලකා මිනිසුන් බෙදලා, පක්ෂ ගැන හිතලා කටයුතු කරන්න බැහැ. අපි පොදුවේ ජනතාවට වැඩ කරන්නේ. පොදුවේ සංවර්ධනය කරන්නේ. පාරේ යන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෝ පමණක් නොවෙයි. මංතීරුවල ඇවිදින්නෙත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෝ පමණක් නොවෙයි. පසුගිය දිනක මා බැලූ නාට්‍යයක තිබුණේ අපිව විවේචනය කරලා. මා එය බලා විනෝද වුණා.


    පැය විසි හතරම රාජකාරිය ගැන සිතන්න අවශ්‍ය නැහැ. නිවසටත් කාලය වෙන්කරන්න  ඕනෑ. එහෙම තමයි රටක්, රටක්, සමාජයක් දියුණු කරන්නේ. දරුවන් ගැන වැඩිපුර සොයා බලන්න  ඕනෑ. එවිටයි රටක් දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. රටක් එකතැන පල් කරන්න දෙන්න බැහැ. ලෝකයත් සමග ඉදිරියට යන්න  ඕනෑ. ලෝකය ජයග‍්‍රහණය කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපට පියවර ගන්න සියලු දෙනා එකතු වෙන්න. දැනටමත් විශාලතම ආයෝජන කර තිබෙන අමාත්‍යාංශය මේ අමාත්‍යාංශය. ඒ තමයි මෙහි තිබෙන වැදගත්කම. ඉන්පසු අපි බලාපොරොත්තු වෙනවා අධිවේගී මාර්ග පිලිබඳව පාලනයක් ඇති කිරීමට පනතක් ගෙන එන්න. එය අනාගතයේ දී අවශ්‍ය වෙනවා. මෙහි සිටින ස්ථීර කර නොමැති සේවක පිරිස ස්ථීර කරන්න කටයුතු කරනවා. ස්ථීර කළ පසු එහි ප‍්‍රතිඵල ඔබ පෙන්වන්න  ඕනෑ.

     

    එක් යුගයක් තිබුණා රාජ්‍ය සේවය කප්පාදු කරන. රාජ්‍ය සේවයේ කප්පාදුවට ලක්වුණු අමාත්‍යාංශයක් තමයි මේ මහාමාර්ග අමාත්‍යාංශය. එක් වසරක ජනවාරි පළමු වෙනිදා මෙහි ඉඳපු දක්ෂතම ඉංජිනේරුවන් පිරිසක් අයින් කළා. සේවකයින්ව එළවා දැමුවා. ඒවා විකුණා දමා තිබුණා. අපි බලයට ආපසු එතැනට ගියාම එතැන යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ලම තිබුණා. ඒ අනුව අපි මග නැගුම ආරම්භ කළා. ඒ වැඩ කටයුතු කරන්න. ඒ අය මේවා විනාශ කර තිබුණේ. ඒවා විකුණා අලුත් ව්‍යාපාරිකයන් හැදුවේ නැහැ. අපි මේ කාලයේ නව ගොඩනැගිලි හැදුවා. නව ව්‍යාපාරිකයන් පිරිසක් ඉදිරියට ඇවිත් තිබෙනවා. අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කළා. ලංකාවේ කොන්ත‍්‍රාත් කරුවන් ඉන්නවා. ඒ අයට හැකියාව තිබෙනවා. ඒ අයට තරග කරන්න ඉඩ දෙන්න කියලා. ඒ අය ඊට අවසර දුන්නා. ඒ නිසා ඒ අය ව්‍යාපාරිකයන් වශයෙන් මෙහි ගොඩනැගුවා. අද උතුරු අධිවේගී මාර්ගය හදන්න ලංකාවේ කොන්ත‍්‍රාත් සමාගම් 05 ක් ඉන්නවා. අපි මේ අයට ඉඩ දෙන්නේ ඒ පළපුරුද්ද අරගෙන ඒ අය පිටරට යන්න  ඕනෑ. පිටරට ගිහින් ඒඅ ය සමග තරග කරලා ඒ සේවය ලබාදෙන්න  ඕනෑ. එතැනට තමයි අපි අනිත් අය හා ආයතන, ඉංජිනේරුවන් ගෙනෙන්න  ඕනෑ.

     

    ඒ නිසා මේ සැලැස්මක් ඇතිව යන ගමනක්. මේවා කරනකොට විවිධ මඩ ගසනවා. පසුගිය කාලයේ අපට ගසපු මඩ වලින්ම අපි පදම් වෙලා. ඒවායින් අපි වැටෙන්නේ නැහැ.

    ඔබ සියලු දෙනාට මම සුබ පතනවා.

     

    ඔබට සුබ අනාගතයක්.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya