ඊට වසර 54කට පසුව එනම් 1956 අප්‍රේල් 23 වැනිදා උතුර දකුණ අතර ශක්තිමත් පාලමක් වෙමින් ‘යාල් දේවිය‘ නම් දුම්රිය යාපනයට සිය කුළුදුල් ගමන් ඇරඹුවාය.
එක් දුම්රියක් කොළඹ සිට යාපා පටුනටත් තවත් යාල් දේවී දුම්රියක් යාපා පටුනේ සිට කොළඹටත් ගමන් කළාය.
එම ගමනාගමනය වසර 29කට පමණ සීමා වූයේ රුදුරු ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි අතර යාල් දේවියත් තවත් එක් ම්ලේච්ඡ ඉලක්කයක් බවට පත්වීමත් සමඟය. ඒ 1985 වසරේ ජනවාරි 19 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කිලිනොච්චි කොකාවිල්හිදි දුම්රිය මාර්ගය බෝම්බ දමා පුපුරවා දැමීමෙන් පසුවය.
නැවතත් 1989 වසරේදී යාල් දේවී දුම්රිය සිය සුපුරුදු ගමන්මඟ යාමට ආරම්භ කළ නමුත් 1989 ජූනි මස 12 වැනිදායින් එම ගමන කඳුළින් අවසන් කරන්නට සිදු වූයේ ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය පසුබිම් කරගනිමිනි.
එතැන් සිට එදා යාපනයේ ජනතාවට දුම්රියේ ගමනාගමනය මතකයක් පමණක් බවටත් පසු පරම්පරාවට සිහිනයක් බවටත් පත් කරමින් යාල් දේවීගේ ගමන වවුනියාවට පමණක් සීමා වූවාය.
2009 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ විශිෂ්ටතම සැතපුම් කණුවක් පසු කළේ යුද්ධයේ නිමාව සනිටුහන් කරමිනි.
ශ්‍රී ලංකාව කෑලි කැඩී විසිරී යා නොදී එක ම ධජයක සෙවණ ලබන්නට ආරම්භ වීමත් සමඟ නව යුගයක පෙරමං තනන්ට උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර ලක් බිමේ සිවු කොණම බලා සිටියෝය.
මංමාවත්, ඇල දොළ, වැව්, අමුණු, ගම් නියම් ගම් පිළිසකර වෙද්දී ලක් දෙරණට නවමු අත්දැකීම් සමීප කරමින් අධිවේගී මාර්ග, ජාත්‍යන්තර වරායන්, ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් සමඟ නාගරික සංවර්ධනය සිදු වෙද්දී උතුරු දුම්රිය මාර්ගයද නැවත ඉදි කිරීමට ව්‍යාපෘති ආරම්භ වූයේ දකුණේ අසිරිය උතුරටද එක සේ සමීප කරමිනි.
එලෙස ඇරඹි උතුරු මිතුරු ව්‍යාපෘතිය සමඟ උතුරේ මනාලිය වූ යාල් දේවී දුම්රිය කෙමෙන් කෙමෙන් යාපනයට ළඟා වූයේ උතුරේ ජනතාවගේ නෙත් සිත් බලාපොරොත්තුවේ ආලෝකයෙන් දල්වමිනි. එසේ වවුනියාවෙන් ඔබ්බට පා තබමින් යාල් දේවී දුම්රිය පළමු ව තාණ්ඩිකුලමට සේන්දු වූවාය. ඉන්පසු ඕමන්තේ දක්වා දිගු වූ ඇගේ ගමන කිළිනොච්චියට යාමට වැඩි කලක් ඉවසුවේ නැත. ඉනුත් නතර නො වූ යාල් දේවිය 2014 මාර්තු 04 වෙනිදා පලෙයි වෙත ළඟා වූවාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉන්දීය ආධාරයෙන් ඉර්කෝන් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියේ අවසානයට ළඟාවෙමින් පලෙයි සිට යාපනය දක්වා කිලෝමීටර් 38ක දුර දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් නිමාව දුටුවේ යාපනයේ ජනතාවගේ දුම්රියේ ගමනාගමනය හා බැඳි සිහිනය සැබෑවක් බවට පත් කරමිනි. දැන් ඉතුරු ව ඇත්තේ කන්කසන්තුරය දක්වා මාර්ගය අවසන් කිරීම පමණි.
ඒ 2014 ඔක්තෝබර් 13 වැනි දිනය. ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් ඓතිහාසික දිනයකි. ඒ වසර 24ක උතුරේ ජනතාවගේ බලාපොරොත්තුව ගිලිහී යා නොදී යාල් දේවී දුම්රිය නැවත යාපනය බලා සිය ගමන් ආරම්භ කිරීමට සැදී පැහැදී සිටියාය.
අප මාධ්‍ය කැළ ද එම අසිරිමත් මොහොතේ සාක්ෂිකරුවෝ වීමට තරම් වාසනාවන්තයෝ වූහ. එලෙසින් එහි පිවිසි අප වෙබ් අඩවියේ මාධ්‍ය කණ්ඩායමට පලෙයි දුම්රිය ස්ථානාධිපති නන්දන විදානගමගේ මහතා මුණ ගැසීමට අවස්ථාව ලැබුණි.
දිනකට රුපියල් ලක්ෂ 2.5කට අධික ආදායමක් ද මාසයකට රුපියල් ලක්ෂ 60කට අධික ආදායමක් පලෙයි දුම්රිය ස්ථානයෙන් ලැබෙන බවත් එදා මෙදා තුර දිනකට 1000ක පමණ මගීන් සංඛ්‍යාවක් එහි ප්‍රවාහන සේවය ලබා ගන්නා බවත් විතානගේ මහතා පැහැදිලි කළේය. එය ඇසූ අපට, දුම්රියේ ගමනාගමනය උතුරේ ජනතාවට සිය දෛනික ජීවිතයට කෙතරම් වැදගත්වන්නේද ?, පලෙයි මෙසේ නම් යාපනයේ කෙසේද යන්න සිතා ගැනීමට අපහසු නොවුණි.
පලෙයි දුම්රිය ස්ථානධිපතිතුමා මඟින් යාල් දේවියේ යාපනයේ ගමනාගමනය සමඟ උතුරු දුම්රිය ගමනාගමනයේ තොරතුරු එක් රැස් කර ගැනීමටද අපි අමතක නොකළෙමු.
“ආසන වෙන්කිරීම දින 45කට පෙර සිට සිදු කිරීමට හැකියාව තියෙනවා. කොළඹ සිට පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය යාපනය දක්වා දීර්ඝ කෙරෙන අතර එම දුම්රිය දිනපතා ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර යාපනය දක්වා ගමන් කරනවා.
උදේ 6.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන යාල් දේවී දුම්රිය උදේ 7.15ට කොළඹ කොටුවට පැමිණෙයි. එම දුම්රිය යාපනය දුම්රිය ස්ථානය වෙත ළඟා වෙන්නේ සවස 3.07ටයි.
මීට අමතර ව ගල්කිස්සෙන් උදේ 5.10ට ආරම්භ වන වායුසමීකරණය කරන ලද සුපර් ලක්ෂරි දුම්රිය 11.56ට යාපනය දුම්රිය ස්ථානය වෙත ළඟා වේ. මේ දුම්රිය උදේ 5.50ට කොළඹ කොටුව වෙත පැමිණේ. එතැන් සිට අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, පලෙයි සහ යාපනය යන දුම්රිය ස්ථානවල පමණක් එය නවත්වනවා.
දැයට කිරුළ දුම්රිය ද කොළඹ කොටුවෙන් උදේ 11.50ට ආරම්භ වී සවස 6.15ට යාපනය වෙත ළඟා වීමට නියමිතයි.
රාත්‍රී තැපැල් දුම්රිය ද රාත්‍රී 7.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර මේ දුම්රිය පසුදා පාන්දර 5.07ට යාපනය වෙත ළඟා වෙනවා.
මගී ජනතාවට මේ දුම්රිය ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර සෑම ප්‍රධාන දුම්රිය නැවතුම් පොළකින් මෙන් ම ක්ෂණික ඇමතුම් (On line) හරහා කලින් වෙන් කර ගැනීමට පහසුකම් සපයා තියෙනවා. කොළඹ සිට යාපනය දක්වා තුන්වැනි පන්තියේ ගාස්තුව රුපියල් 320ක්ද දෙවැනි පන්තියේ ගාස්තුව රුපියල් 570ක්ද පළමු පන්තියේ වායුසමීකරණය කරන ලද මැදිරි ගාස්තුව රුපියල් 1500ක්ද වෙනවා“
එතැනින් නොනැවතුණු අපි දශක තුනකට ආසන්න අඳුරු යුගයක දුක් කඳුළු නිමා කරමින් උතුරේත් දකුණේත් ජනතාවගේ දෙනෙත් සතුටු කඳුලින් තෙත් කරමින් යාපනයට යාල් දේවීගේ පුනරාගමනය දැක බලා ගැනීමට පලෙයි වෙත පැමිණි ජනතාව අතරින් කිහිප දෙනෙකු සමඟ ඔවුන්ගේ සතුට බෙදා ගැනීමටද අමතක නොකළෙමු.
ඔහු අයියකච්චි ග්‍රාමයේ වෙසෙන අවුරුදු 65ක් වයසැති නාගනාදන් මහතා ය. ඔහු සිය අත්දැකීම් හා සතුට ප්‍රකාශ කළේ උතුරේ ජනතාව වෙනුවෙන් දුම්රිය නැවත ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ගයට අදාළ බලධාරීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කරමිනි.
“අපි නිතර ම බඩු අරන් කොළඹ යන මිනිස්සු. බස්වල සෙනඟ වැඩි නිසා අපි ලොකු දුකක් විඳිනවා බඩු අරන් යනකොට ලොකු කාලයක් වැය වීම ලොකු හේතුවක්. මුදල් අතින් බස්වල යන එක අපි වගේ මිනිස්සුන්ට දුෂ්කරයි. “ ඔහු ලද එම විඩාව ඔහුගේ හැඟීම් සමඟ මුසු වූ මුහුණින් පළ වූ හැඟීම්වලින් ඒ මෙහොතේද අපට ද දැනුනාක් මෙනි.
“දුම්රිය පුපුරවන්නට කළින් 1980 දි වගේ අපි කොළඹට දුම්රියෙන් බඩු අරන් ගමන් කළා. එය අපි වගේ මිනිස්සුන්ට විශාල පහසුවක්. ඒ අතීතය මට තාමත් මතකයි. අපි දුක් වුණා දුම්රිය යාපනයට යන එක නතර කළාම.“ ඔහු සිය අතීතයට ගියේ එලෙසිනි.
“නමුත් අපිට දැන් ආයෙත් ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මටත් මගෙන් පස්සෙ දැන් පරම්පරාවටත් ලොකු පහසුවක් දුම්රිය ක්‍රියාත්මක කිරීම. කාලය, මුදල් ඉතිරි කරගෙන අපේ කුඩා ව්‍යාපාර අපට කරගෙන යන්න පුළුවන්“ ඔහු පැවසුවේ අපේක්ෂා දැල්වුණු නෙතකිනි.
දකුණෙන් උතුරට සාමයේ සහ සහජීවනයේ පණිවිඩය රැගෙන යන යාල් දේවී වත්මන් ළමා පරපුරට නම් සතුටක් පමණක් නො ව සියැසින් නොදුටු දකින්නට පෙරුම් පිරූ නව අත්දැකීමක්ද සමීප කරන අයුරු දකින්නට ලැබුණි.
මිරිසුවිල් ග්‍රාමයේ වෙසෙන පාසල් යන වයසේ පසු වූ අවුරුදු 08ක් වයසැති තවලාගන් සිය මව හා නැන්දණිය සමඟ පලෙයි වෙත පැමිණ තිබුණේ පළමු වරට දුම්රියක් දැක ගැනීමටය. එම කුතුහලයෙන් ඔහු වෙත ළං වූ අපට ඔහු ඉතා කැමැත්තෙන් සිය අදහස් පළ කළේය.
“මම අද තමයි පළමු වරට දුම්රියක් දැක්කේ. අපේ ගමේ දුම්රියක් ගියේ නෑ. අපිට රේල් පාරක් තිබුණෙත් නෑ. ඊට කළින් චිත්‍රපටවලින් පිංතූරවලින් දුම්රිය දැකලා තිබුණා. ඒක ගොඩක් දිගයි, ලොකුයි නේද.“ ඒ ඔහු අපෙන් අහපු එක් ප්‍රශ්නයකි.
“මම ගොඩාක් ආසයි දුම්රියේ යන්න. ඒත් ඒක දිග වැඩි නිසා පිටිපස්සේ පෙට්ටි පෙරළෙන එකක් නැද්ද, රියදුරු ඉන්නේ ඉස්සරහ නේද“ ඒ ඔහු අපෙන් ඇසූ දෙවන තෙවන ප්‍රශ්නයි.
ඔහුගේ එම ප්‍රශ්න පළමු වරට දුම්රියක් දුටු ඔහු වන් අන් සෑම අයෙකුගේ ම පොදු ප්‍රශ්න බවට අපට පසක් වූයේ තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ කතා කිරීමෙන් අනතුරු ව ය.
එම ඓතිහාසික මොහොතේ යාල් දේවිය සිය ගමන ඇරඹුවේ පලෙයි දුම්රිය පොළෙන් දුම්රියේ ප්‍රථම මගියා බවට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුභාශිංසන මධ්‍යයේය.
උදෑසන 10 පසුවී මිනිත්තු කිහිපයකින් කොළ පැහැති කොඩිය අහසට එසවෙමින් යාල් දේවි මනාළිය සිය දෙවන ගමන් ඇරඹුවේ විසිහතර වසරක ඛේදනීය අතීතය ඉතිහාසය පොතේ පිටු අතරට එක්කරමින් ලක් දෙරණේ උතුරු දකුණු සියලු ජනතාවගේ සුභ පැතුම් සමඟය.
වායුසමීකරණය කළ සුවපහසු යාල් දේවී පළමු පංතියේ මැඳිරියක වාඩි වී එම අසිරිමත් ගමනට එක් වූ අපට යාල් දේවියගේ දෙවැනි ගමනේ අසිරිය නරඹන්නට උතුරේ ජනතාව දුම්රිය මඟට සමාන්තරව දිවෙන ඒ-9 මාර්ගයට පැමිණ දෙපස රැස්කමින් බලා සිටිනු දකින්නට ලැබිණි.
අත රැඳි කැමරා සහ ජංගම දූරකතනවල මෙම ඓතිහාසික දර්ශනය සටහන් කර ගන්නට එම ජනතාව අමතක නොකළහ. සතුට ඉහවහා ගිය සමහරු දෑත් ඉහළට ඔසවමින් දුම්රියට ආචාර කළහ.
ජාතික ධජ රැඳි දෑතින් පුදුමයෙන් බලා සිටින පාසල් දරුවන්ගෙන් දුම්රිය මඟ දෙපස පිරී තිබුණි. නිවෙස් මායිම් අසළ දරුවන් රැගෙන පැමිණි මව්වරු සිය දෛනික කාර්යය පසෙකලා දුම්රිය දෙස සතුටින් බලා සිටිනු අපට පෙනුණි.
මඟ දෙපස දුටුවන ම පසුවූ අදුරු යුගයක මතකය අපෙන් ගිලිහෙන්නට අරඅදින බව පසක් වූයේ එදා ත්‍රස්තවාදයේ මිලේච්ඡ ප්‍රහාර හමුවේ තල් රුප්පාවේ දැවී කළු වී ගිය කරටි පමණක් දුටු අපට අද දකින්නට ලැබුණු දළු දමා ඉහළට එසවෙන්නට වෙර දරන තල් ගස් දුටු පමණින්ය.
පරිසරයේ නව පිබිදීමත් සමඟ අපට සිහිවූයේ පිබිදෙන උතුරේ නවමං පිළිබඳ අපට පැවසූ ප්‍රවාහන සේවා අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ වදන්ය. මෙම අවස්ථාවට සහභාගී වෙමින් දුම්රිය ගමන ආරම්භ කිරීමට ප්‍රථම අමාත්‍යතුමා අප හා මෙම අදහස් බෙදා හදාගත්තේ සිය උත්කෘෂ්ට සතුට ප්‍රකාශ කරමිනි.
“අවුරුදු 24කට පස්සේ යාල් දේවී දුම්රිය අද නැවතත් ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ උතුරේ ජනතාව පමණක් නොවෙයි මුළු ශ්‍රී ලාංකික ජනතාව ලැබූ ලොකු ජයග්‍රහණයක්. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මටත් දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඉර්කෝන් සමාගමටත් මේ කාර්ය ඉටු කරන්න පුළුවන්කම ලැබුණා.
දැන් කොළඹින් නැගලා යාපනයට පැය 6, 1/2කින් යන්න පුළුවන්. අවශ්‍ය සෑම ස්ථානයකට ම ආරක්ෂක ගේට්ටු යොදා ඇති අතර ම පැයට කිලෝ මීටර 100කින් මෙම දුම්රිය ගමන් කරනවා. විශේෂයෙන් සැපපහසුව යන්න පුළුවන් අයුරින් දුම්රිය මැදිරිවල සියලු පහසුකම් සපයලා තියෙනවා.
දැන් ඊළඟට අපිට තියෙන්නෙ යාපනයේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ක්‍රියාත්මක කරන්න එම කාර්යය මේ වසරේ දෙසැම්බර් මාසය වන විට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
එසේ ම මැදවච්චිය සිට තලෙයි මන්නාරමට යන මාර්ගය මේ වනවිට වැඩ නිමවෙමින් පවතින්නෙ. ඒ අනුව දෙසැම්බර් මාසය අග වන විට තලෙයි මන්නාරම දක්වාද දුම්රිය ක්‍රියාත්මක කිරීමට පුළුවන් වෙනවා.“
එම ප්‍රකාශය උතුරේ ජනතාවට ද මාර්ග සංවර්ධනයේ උපරිම පහසුකම් සීග්‍රයෙන් දායාද වන බව පසක් කරයි.
පලෙයි සිට යාපනය දක්වා යාපනය ද ඇතුළුව ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් හා උප දුම්රිය ස්ථාන 6ක් ඇතුළත් වේ.
කොඩිකාමම්, චාවා කච්චේරි, නාවට්කුලී ප්‍රධාන දුම්රිය ස්ථාන වන අතර මිරිසුවිල්, මීසාලෙයි, සන්කත්තානෙයි, කච්චන්තෝප්පු, එළුදුමට්ටුවාල්, පුන්ගන්කුලම් යන උප දුම්රිය ස්ථාන ද මීට ඇතුළත්ය.
කොඩිකාමට්, චාවාකච්චේරි හා නාවට්කුලී යන ප්‍රධාන දුම්රිය ස්ථාන ජනාධිපතිතුමා අතින් මෙම ගමනේදී විවෘත විය.
පැයකට ආසන්න කාලයකදී දෙපස රැඳී සිටි ජනතාවගේ සුභ පැතුම් මැද යාල් දේවී පලෙයි සිට යාපනයට ළඟා විය. නව යාපනය දුම්රිය ස්ථානය එක ම හිස් ගොඩක් බවට පත් ව තිබිණි. ඒ දහස් සංඛ්‍යාත ජනීජනයා නැගූ ඔල්වරසන් හඬ මධ්‍යයේ යාල් දේවී සිය පුනරාගමනයේ ඓතිහාසික මෙහොතේ ගමනාන්තය සනිටුහන් කළාය.
සර්වාගමික පූජ්‍ය පක්ෂයේ ආශිර්වාද මධ්‍යයේ යාල් දේවියෙන් යාපනයට පා තැබූ ජනාධිපතිතුමා සිය සහෝදර දෙමළ ජනතාවගේ ආශිර්වාදය මැද නව යාපනය දුම්රියපොළ ද විවෘත කළේය. මෙය තවත් ඓතිහාසික වැදගත් කමක් සනිටුහන් කරන්නේ මෙරට ජනාධිපතිවරයෙකු පළමු වතාවට දුම්රියෙන් යාපනය දක්වා පැමිණිමය.
එම ඓතිහාසික දුම්රිය ගමනින් පසු යාපනය දුම්රිය ස්ථානයේ දී යාපනයේ ජනතාවගේ උණුසුම් පිළිගැනීමෙන් කුල්මත් ව සිටි අපට එහි සිටි කිහිප දෙනෙකු හා සංවාදයේ යෙදීමටද අවස්ථාව ලැබුණි.
එහිදී අප මුණගැසුණු කොළඔ රැකියාවක නියුතු අවුරුදු 25ක් වයසැති මහාලක්ෂ්මී තරුණිය ඇගේ සතුට අපට විවර කළේ මෙසේය.
“මගේ උපන් ගම යාපනය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ ද යාපනය විශ්වවිද්‍යාලයෙන්. දැන් මම කොළඹ පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරනවා. මම කොළඔ යන්න එන්න පටන් අරන් අවුරුද්දක විතර කාලයක්. ඒ කාලය තුළ මාසෙකට එක් සති අන්තයක පමණයි මම යාපනේ ආවේ. බස්වල තමා ගමන් කළේ එතකොට. කාලය මුදල් අතින් වගේ ම ගැහැණු ළමයෙක් නිසා ආරක්ෂාව අතිනුත් අද සිට දුම්රියක ගමන් කරන්නට අවස්ථාව ලැබීම මට ඉතා ම සහනයක්.“
"මම ඉපදුණු කාලයේදී ඒ කියන්නෙ 1989 දි තමා යාපනයට දුම්රිය ගමනාගමනය නැවැත්තුවේ කියලා මගේ අම්මා ඇයගේ අත්දැකීම් මා සමඟ පවසා තිබුණා. කොළඹ ගිය පසු තමා මාත් දුම්රියක් දැක්කේ. මගේ නංගී මල්ලී අද තමා පළමු වරට දුම්රියක් දැක්කේ. දැන් ඔවුන් ආසාවෙන් බලාගෙන සිටින්නේ සති අන්තයක මගේ අම්මා සමඟ දුම්රියෙන් කොළඔ පැමිණීමටයි.“ ඇය සිය කතාව අවසන් කළේ සිය පවුලේ උදවිය යාල් දේවියෙන් කොළඹ එන දිනය පිළිබඳ වූ සතුට මුසු සිනහවක් ද සමඟිනි.
වසර 24කට පසු ව පොල් රුප්පාවෙන් තල් රුප්පාවට සිය පුනරාගමනය සනිටුහන් කළ යාල් දේවියට නැවත කෙදිනකවත් තල් අරඹ අත් නොහැරේවා යන්න උතුරේ දකුණේ කාගෙත් පැතුම වනවා නිසැකය.
ඉතින්, යාල්දේවිය දැන් දිනපතා ම යාපා පටුනට යයි. ඇය කන්කසන්තුරයට යන දිනය ද වැඩි ඈතක නො වේ. එදාට අපත් ඒ ගමනට ඇය සමඟ යළිත් එක්වන බව පවසමින් අපි ඇය ගෙන් සමුගත්තෙමු.
ශෂිනි දිලේෂා ප්‍රනාන්දු