මේ සියලු දේ ලොව කොයි කාටත් පොදු වූ ධර්මතාවකි. එම ධර්මතාව පසක් කරමින් පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ වතු ගම්මානයක නිවාස රැසක් වැළලී ගියේ නිමේෂයෙනි. මිනිසා කොයි තරම් තාක්ෂණයෙන් දියුණුව ලැබූවත් ස්වභාව ධර්මය පරදවන්නට තරම් තාක්ෂණය නැණමල් පුබුදුවා නම් නැත. ඒ නිසාවෙන් අපට සිදුවන්නේ ස්වභාව ධර්මයට අවනත වීම මිස අන් කවරක් ද?. ස්වභාව ධර්මය අපට අවැසි දේ නො ව ස්වභාව ධර්මයට අවැසි දේ සිදු කරන්නේය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව අපි නිරන්තරයෙන් ස්වභාවික ආපදාවන්ට ගොදුරුවන්නෝ වෙමු.
2004 සුනාමි ව්‍යවසනයෙන් ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ජනතාව දහස් ගණනකගේ ජීවිත අහිමි වූයේය. එම ව්‍යවසනය හරහා ජීවිත අහිමිවූවන්ගේ ප්‍රමාණය අදටත් ගැටලු සහගතය. ඉන් අනතුරු ව රටක් හඬවා ගමක් මිහිදන් වෙමින් සිදු වූ විපතක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැත. සුනාමි ව්‍යවසනය හරහා මෙන් ම කොස්ලන්ද, මීරියබැද්ද වත්ත නාය යාම හේතුවෙන් ද ජීවිත අහිමි වූ ප්‍රමාණය තවම නිශ්චිත නැත.
යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කඳුකර ප්‍රදේශවල ආරම්භ වන වැවිලි කර්මාන්තය නිසා වතු ගම්මාන ඇති වන්නේ එහි වූ කම්කරු අවශ්‍යතාවන් සරි කරගැනීමටය. කඳුකර ප්‍රදේශවල කම්කරු ජනතාව විඳින්නේ සුළු පටු දුකක් නම් නො වේ. ඔවුන් උපතින් ම උරුම වූ දුක් කම්කටොලු දෝත දරා ගනිමින් ජීවත් වන වතුකරයේ ලයින් කාමර කියන්නේ සුව පහසු නිවාස නො වේ. එවැනි අඩපහසුකම්වලින් පිරි නිවාසවල දිවි ගෙවන මොවුනට ද සුන්දර බලාපොරොත්තු නැතැයි අපට කිව නොහැක. නමුත් ඔවුනට ඇත්තේ එදිනෙදා දිවිසරි කරගැනීමේ සටනකි.
එවන් දුකකින් වෙලී ජීවිතය ජයගන්නට මාන බලන කොස්ලන්න මීරියබැද්ද වතුකරයේ ජනතාවට ස්වභාව ධර්මය හරස් වීම දැවැන්ත ඛේදවාචකයකි.
අනාදිමත් කාලයක් මුළුල්ලේ මූලික පහසුකම් නොමැති ව දිවි ගෙවූ මොවුන් පවුල් පිටින් මහ පොළොවේ වැළලී යන විට ලොවක් හැඬූ නමුත් ඔවුන්ගේ ජීවිතවලට නම් සදාකාලික සැනසීමක් හිමිවන්නට ඇත. මතු සංසාරේ මෙවන් අකල් විපත්වලට ලක් ව ජීවිත ගමනින් සමුගන්නට සිදු නොවේවායි අපි ඉත සිතින් පතන්නෙමු.
- දිල්හාරි බණ්ඩාර -