අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ වගයි

    නොවැම්බර් 13, 2014
    "තරුණ අපේක්ෂාවන්ට මුල් තැන දෙන සුභවාදී රටක්" යන මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව  තාරුණ්‍යයේ  අවශ්‍යතා හඳුනා ගනිමින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලැබීය.
     
    විද්වතුන්, දේශපාලනඥයන්, කලා ශිල්පීන්, තරුණ සංවිධානවල නියෝජිතයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදී සියලු ම පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනාවලින් සමන්විත වූ මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය විශ්වාසනීයත්වය සහ හිතකාමී පරිසරයක් සහතික කිරීම,  තරුණ තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, තරුණයා බල ගැන්වීම යන ප්‍රධාන කුලුණු 3 මත නිර්මාණය වූවකි. ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රතිපත්තිය  2014.02.14 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දක්වන ලදි.  
     
    අමාත්‍ය මණ්ඩලය  විසින් 2014.01.13 වන දින ජාතික තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී. මෙම ශ්‍රී ලංකා  ජාතික තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව, තරුණ  රැකියා නියුක්තිය, තරුණ කටයුතු වෘත්තීයවේදීත්වයට පත් කිරීම, සෞඛ්‍ය සහ සුභසාධනය, සාමය, ශරීර සුවතා සහ ක්‍රීඩා කටයුතු, කලා කටයුතු යන ප්‍රධාන උපාය මාර්ගික  ක්ෂේත්‍රයන්ට අදාළ ව පහත දැක්වෙන අභිමතාර්ථ 7 අනුව ක්‍රියාත්මක සැලසුමක් පිළියෙල කොට ඇත.
     
    1. ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ අර්ථාන්විත ලෙස නියැළෙනු පිණිස තරුණ පිරිස වෙත ජවය ලබාදීම.
     
    2. ආර්ථිකය තුළ තරුණ සහභාගිත්වය වර්ධනය කිරීම 
     
    3. රට තුළ පවත්නා ජනවාර්ගිකත්වය, සංස්කෘතිය, ආගම, භාෂාව හා ජීවන රටාව හොඳින් හඳුනා ගන්නා සහ ගරු කරන අතරම සමාජ වගකීම හා සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ වන හැඟීම් තරුණ ප්‍රජාව තුළ ස්ථාපිත කිරීම.
     
    4. තරුණ තරුණියන් හට සමාජ විමර්ශනය හා විවේචනය සඳහා වන ඉඩකඩ සංවර්ධනය කිරීම තුළ සියලු ආකාරවල වෙනස්කම් දැක්වීම හා සූරා කෑම කෙරෙහි අභියෝග කිරීමේ ශක්තිය සංවර්ධනය කිරීම.
     
    5. තරුණ තරුණියන්ගේ ආරක්ෂාව, වර්ධනය හා සංවර්ධනය සඳහා උපකාරි වන ලෙස පවුල් හා ප්‍රජාවන් සංවර්ධනය කිරීම
     
    6. තරුණ ජනතාව අතර සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
     
    7. රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පවුල් හා ප්‍රජාවන් අතර තරුණ සංවර්ධනය හා තරුණ කටයුතු පිළිබඳ ඒකාබද්ධ ප්‍රතිචාරයකට පහසුකම් සැලැස්වීම.  
     
    මෙම ක්‍රියාත්මක සැලසුමෙහි යෝජිත ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමට මේ වන විටත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    ජාතික තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම, ප්‍රගති සමාලෝචනය කිරීම  සහ ක්‍රියාත්මක ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම පිණිස ජනාධිපති තරුණ සංවර්ධන කොමිෂන් සභාවක් (Presidential Youth Development Commission) ස්ථාපිත කිරීමට ජාතික තරුණ ප්‍රතිපත්තියෙන් යෝජනා කර ඇත.  යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එහි සභාපතිත්වය දරණ අතර,  එහි ලේකම්වරයා වනුයේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය.
     
    මෙහි සෙසු සාමාජිකත්වය අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන, අධිකරණ, ක්‍රීඩා, සමාජ සේවා, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ යන අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්, වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, මහ භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු, ජාතික යොවුන් සේනාංකයේ සභාපති, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත අයතනයේ සභාපති ඇතුළු ජාතික මට්ටමේ තරුණ සංවිධානවල හා රාජ්‍ය නොවන තරුණ ක්ෂේත්‍රයන් නියෝජනය කරන නියෝජිතයන් විසින් දරනු ඇත.
     
    පහත සඳහන් ප්‍රධාන අරමුණු පදනම් කර ගෙන මෙම කොමිෂන් සභාව කටයුතු කරනු ලබයි.
      
    *ජාතික තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම.
     
    *යම් නියමිත කාලයකට වරක්  ජාතික තරුණ ප්‍රතිපත්තියේ  බලපෑම පිළිබඳව ස්වාධීන ඇගයීමක් කොට, අවශ්‍ය පරිදි අලුත් කෙරෙන බවට වග බලා ගැනීම. 
     
    *ජාතික තරුණ ප්‍රතිපත්තිය සමඟ ගැළපෙන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තිය සමාලෝචනය කොට,  ජාතික තරුණ ප්‍රතිපත්තියේ  අරමුණු වෙනුවෙන් අදාල රාජ්‍ය අංශ සමඟ උපදේශනය සිදු කිරීම.
     
    *තරුණ කටයුතු ක්ෂේත්‍රය තුළ  පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.
     
    මෙම ජනාධිපති තරුණ සංවර්ධන කොමිෂන් සභාවේ පළමු රැස්වීම පසුගිය දින එහි සභාපති සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන 
    අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya