ලෝක සංරක්‍ෂණ සංගමය පවසන පරිදි ආවේණික මත්ස්‍ය විශේෂ අතුරින් අශෝක පෙතියා, තඹලයා, ලේ තිත්තයා, දුම්බර පෙතියා, බන්දුල පෙතියා, පතිරණ සාලයා, මාර්ටෙන්ස්‌ටයින් වැලිගොව්වා, දුඹුරු පොට්‌ටයා, රත්කයිලයා යන මත්ස්‍ය විශේෂ ජාතික වශයෙන් අධික ලෙස තර්ජනයට ලක් වී තිබේ. බන්දුල පෙතියා, තඹලයා, පතිරණ සාලයා යන විශේෂ සමස්‌ත ලෝකයෙන් ම උග්‍ර වඳවී යෑමේ තර්ජනයට ලක් ව ඇත.
ශ්‍රී ලංකාවෙන් මුල් වරට මේ මත්ස්‍ය විශේෂය සොයාගත් බන්දුල නමැති මත්ස්‍ය ගවේෂකයා නමින් මෙම විශේෂය නම් කර ඇති අතර 1991 දී මෙම කුඩමස් වෙසස දැදිගම මැතිවරණ කොට්ඨාසයේ පල්ලේගම වතුයායට යාබද මිනිමාරුව කොළනිය අසළ සෙමෙන් බැස යමින් පවත්නා දිය කඩිතිවලදී මුල් වරට හඳුනාගැනිණි.
මෙම මත්ස්‍ය විශේෂය පිළිබඳ ව පර්යේෂණ පැවැත් වු කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යා අංශය ඒ වන විටත් ලොවට ම සිටි සියයක් පමණ වූ බන්දුල පෙතියා ආරක්ෂා කොට සුරක්ෂිත ව මතු පරපුරට දායාද කිරීම සඳහා එම මත්ස්‍ය ගහණය
වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඒ දැදිගම මැතිවරණ කොට්ඨාසයේ රන්බිඩිගල හපුගොඩ අල්පිටිය සොඳුරු ගම්මාන කේන්ද්‍ර කර ගනිමිනි.
ස්වභාව දහම් සංරක්ෂණය අන්තර්ජාතික සංගමය (IUCM) කොළඹ විශ්වවිද්‍යාලය සමග එක් ව තම ගම්මානයට පමණක් ආවේණික මෙම කුඩ මසුන් ආරක්ෂා කිරීමට ඔවුන් බෝ කිරීමේ කටයුත්තට එම ගම්වාසීහු ද ස්වේච්ඡාවෙන් දායක වෙති.
බන්දුල පෙතියා 1991 සොයාගැනීමෙන් අනතුරු ව වසර 10ක් පුරා මෙම දුලභ මත්ස්‍ය විශේෂය කෙරෙහි ලෝ පුරා ගවේශකයන්ගේ මහත් අවධානය යොමු ව ඇත. එම මත්ස්‍ය විශේෂය පිළිබඳ ව අධ්‍යනය කරමින් ඔවුන් සංරක්ෂණය සඳහා වසර 10ක් පුරා මෙම පර්යේෂණ කටයුතු රන්බිඩිගල, හපුගොඩ අල්පිටිය යන ගම්මානවල කුඩා දියකඳුර ඇසුරේ සිදු කොට ඇත. වසර 10කට පෙර මෙම මත්ස්‍ය ගහණය ලොවට ම සියයක් වූ නමුත් එම මත්ස්‍ය ගහණය මේ වන විට 1500 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත.
මෙම මත්ස්‍ය විශේෂය දැක බලා ගැනීමට දේශීය මෙන් ම විදේශ සංචාරකයන් ද මහත් උනන්දුවක් දක්වති. ඔවුන් මෙම ගම්මානයට කැඳවීම සඳහා පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් ගමට හඳුන්වා දෙමින් ගම්වාසීන්ගේ ආර්ථිකය නංවාලීමට ද බන්දුල පෙතියා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
- දිල්හාරි බණ්ඩාර -