විඩාබර ජන හදට රසයක් විනෝදයක් මෙන් ම මනසට දැනුමක් එක්වන වගට මතු වූ ගුණ රමණීයත්වයක් සහිත ව එය ඇරඹිණි. වර්තමානයේ කැබිතිගොල්ලෑව ලෙස ප්‍රකට වී ඇති මෙම ප්‍රදේශය, කුන්චුට්ටුව නොහොත් කුඩා උල්පත කෝරළය ලෙස පෙර දවස හඳුන්වා ඇත. සිංහලයේ සැබෑව පසක් වන නිරහංකාර, නිහතමානී ගුණාංගයන්ගෙන් ආඪ්‍යව දිවි ගෙවන ජනතාවක් වෙසෙන මෙම පෙදෙසෙහි මෙබඳු සාහිත්‍ය උළෙක් පැවැත්වුණේ ප්‍රථම වරටයි. උළෙල ට එක්කර තිබු සෑම අංගයකින් ම සුවිශේෂී බවක් ගැබ් ව තිබුණු බව මෙහි ලා නිර්ලෝභී ව සටහන් කළ යුතුය.
අනුරාධපුර සිට පදවිය දෙසට කිලෝ මීටර් 60ක පමණ දුරක් ගිය තැන කැබිතිගොල්ලෑව නගර මධ්‍යයේ හමුවන එම ප්‍රදේශයේ අධ්‍යාපනයේ හදවත බඳු කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දී මුළු දුන් මෙම උත්සවයේ දී එම පෙදෙසේ ජනතාවට දේශීය සංස්කෘතියේ සාර ඵල සිහිපත් කරන්නට, සාම්ප්‍රදායිකත්වයේ අගය පිළිබඳ ව නව ජවයක් ලබන්නට හැකි වු බව අතිශය සැබෑවකි. සෝ සුසුම් මඟහැරුණු, මල් සුවඳ විහිදෙන දේශීය සංස්කෘතියේ තේජාව එම පරිශ්‍රය පුරා විහිද ගියේ ය.
කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ නර්තන අංශය මගින් ඉදිරිපත් කළ පූජා නර්තනය, ඉහිරුණු සිත් එක්වර ම එක්තැන් කළේය. එය එතරම් ම රමණීය ය. කමණීය ය. කොළඹ සිට පැමිණ සිටි විද්වතුන් එතැනින් පසු ව සිදුවන්නේ කුමක්දැයි නොඉවසිල්ලෙන් බලා සිටිනු දක්නට ලැබුණි. කාටත් පුදුමය වුයේ, මීට වසර පහකට පමණ පෙර යුධ සමයේ දී කැබිතිගොල්ලෑව ගැන කියැවුණු කතාත්, දැන් එහි සිදුවන දෑත් අතර පවතින වෙනසයි. කුන්චුට්ටුව කෝරළය විවිධ හැකියා සහිත මානව සම්පතින් ආඪ්‍ය ආකරයක් බව කාගේත් සිත්වලට දැනෙන්නට ඇත.
වැව් 4000කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි සලකන වැව් බැඳි දනව්වේ, සංස්කෘතික සෝබාව මෙහි ප්‍රතිනිර්මාණයවී තිබිණ. අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් පූර්ණ වු සාහිත්‍ය උත්සවයේ ගාම්භීර බව වැඩි දියුණු වුයේ, පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ දේශනයත් සමඟ යි. උතුරු මැද පළාතේ කලාවන් හි ජානයන් මතු පරපුරට දායාද කිරීමට මෙබඳු උත්සව මහත් ආශිර්වාදයක් බව එතුමාගේ දේශනයෙන් කියැවිණි. අනුරාධපුර යනු ජාතික සංස්කෘතියේ තිඹිරි ගෙය වන නිසා ම, ජාතික සංස්කෘතික ප්‍රබෝධය සඳහා රජරට කලා කෙත අස්සැද්දීම කාලීන කාර්යයක් ය යන්න ආණ්ඩුකාරතුමාගේ දේශනයෙන් නිතර නිතර මතුවන්නට විය. රජරැටියෙක් නිසා ම ඒ රජරට පිළිබඳ ව ඇති අවබෝධයත්, සාහිත්‍ය කලාව පිළිබඳ ඉතිහාසයත්, එහි අගයත් එක්තැන් වුණු, ආණ්ඩුකාරතුමාගේ දේශනය කැබිතිගොල්ලෑවට පැවැති සාහිත්‍ය ඉඩෝරය නිමාකිරීමට ඇද හැළුණු මහා වර්ෂාවක් බදු විය.
සියල් දේ අමතක කොට උත්සවයට හිත දෙන තවත් පියකරු රසාස්වාදයක් කළේ, ප්‍රවීණ ජන සංගීතවේ දී රෝහණ බැද්දගේ මහතායි. එතුමාගේ සුගායනීය හඬින් උත්සව සභාවේ පිරිස ක්ෂණිකව තමා වෙත වසඟ කරගත්තාක් වැනිය. සභා ගැබේ රැව් දුන්නේ එතුමාගේ හඬ පමණි. හැමෙකකුගේ ම දෙකන් පෙති සීරුවෙනි. ජන සාහිත්‍ය, ජන කලාව, අළලා එතුමා කළ රසාස්වාදය අති මිහිරිය. එම මුහුණ, එම හඬ කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශයකට එක හෙළා සමපාත විය.
රජරට කලාකරුවන් එක් ව ඉදිරිපත් කරන ලද හිටිවන කවි මඬුව රස දෝතකි. සියල්ලන්ගේ උනන්දුව තව තවත් දැඩිවිය. මෙහි සිටි බහුතරයක් දෙනා හිටිවන කවි මඬුවක් නැරඹූ, ඇසු ප්‍රථම අවස්ථාව මෙය වුවාට කිසිදු සැකයක් නැත. “අපේ බස් වහර” යන මැයෙන් රත්න බී. ඒකනායක මහතා කළ දේශනය ද නුවර කලාවියේ බස් වහර පිළිබඳ ව හරාත්මක විග්‍රහයකි. එය පාසල් දරුවනට ඉතා ප්‍රයෝජනවත් ය. ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් මනරම් රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කළේ ය. ජාතික කලා උළෙලක් බඳු ව හැඩ වුණු මෙහි කලා ක්ෂේත්‍රයේ සෑම අංශයක් ම නියෝජනය වී තිබුණි. ජාතික හා ජාත්‍යන්තර සම්මාන ලාභි චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක සරත් ධර්මසිරි මහතාගේ දේශනය ද උත්සවයට මනාව ගැළපුණේ ය.
සෑම වර්ෂයක ම මෙන් ම මෙවරත්, රජරට කලා කෙත වෙනුවෙන් කරන ලද අනුපමය මෙහෙවර අගයමින් කලාකරුවන් දසදෙනෙකු වෙත කලාකීර්තිධර සම්මානය පුදදෙන ලදී. පියදාස රන්පත්විල, කථිකාචාර්ය සේන නානායක්කාර, රංජිත් රූපසිංහ, කේ.ඇම්. ධර්මදාස, කට්ටඹුවාවේ විජයපාල, සුනිල් ශ්‍රියානන්ද, ඇනස්ලි නානායක්කාර, තමරා පද්මිණි හෙට්ටිආරච්චි, ජී.ආර්.කේ. ගුණසිංහ යන කලාකරුවන්, කලාකාරිනියන්, මෙහිදී කලාකීර්තිධර සම්මානයෙන් පුදන ලදී. ගද්‍ය හා පද්‍ය සාහිත්‍යට කරන ලද මෙහෙවර අගයමින්, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වාසය කළ, මීට මාස කිහිපයකට පෙර මෙලොවින් සමුගත්, කලාකීර්තිධර ඒ. ධර්මතිලක ශූරීන් වෙනුවට එතුමාගේ බිරිඳට සමරු තිළිණ පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
දේශීය සංස්කෘතිය ඔප් නැංවෙන ආකාරයේ විවිධ ප්‍රදර්ශන කුටි ද මෙම උත්සවයට එක්කර තිබිණ. ප්‍රදේශයේ පාසල් රැසකින් පැමිණි දරු දැරියන් ඉන් ලද ආස්වාදය මෙන් ම ලබාගත් දැනුම ද දේශීය සංස්කෘතියේ ඉදිරි ගමනට මහෝපකාරී ය.
සංස්කෘතික අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය එක් ව සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් කලා උළෙල කැබිතිගොල්ලෑවට පැළඳ වු සාහිත්‍ය කලා රන්දමකි. දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති මහින්ද සෙනවිරත්න, අතිරේක දිසාපති එල්.පී. මදනායක යන මහත්වරුන්ගේ උනන්දුව හා උපදේශකත්වයෙන් දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ උප සභාපති රංගන ශිල්පි දිමුතු චින්තක යන මහත්වරුන් මෙන් ම දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි උදයන්ති කුමාරි මහත්මිය දැක් වු උනන්දුව අපමණය. දිස්ත්‍රික්කයේ සියලු ම සංස්කෘතික නිලධාරීන් විසින් මේ සඳහා සිය ශක්තිය උපරිම ලෙස එක් කරන ලදී. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා හා කාර්යමණ්ඩලය, කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ගුරු දරු පිරිස, ටී.ඩී. කුලතිලක මහතා ප්‍රධාන නර්තන අංශය මෙම දිස්ත්‍රික් සාහිත්‍යකලා මහෝත්සවයේ සාර්ථකත්වයට උරදුන්නෝ වෙති.
ෂෙල්ටන් බණ්ඩාර
ප්‍රවෘත්ති නිලධාරී
සැකසුම - එනූෂා බණ්ඩාර