මෙවර ජාතික තේමාව බවට පත් ව තිබුණේ “කිසිවෙකු අත් නොහරින එක ම එක සමාජයක්” යන්නයි. සමාජයේ වෙසෙන විවිධ වයස් කාණ්ඩ අතරින් වයස අවුරුදු 60 වැඩි වියපත්වූවන් දැනුවත් ව හෝ නොදැනුවත් ව සමාජයෙන් අත්හැරී මගහැරී යන ස්වභාවයක් දක්නට ලැබේ. පුද්ගලයකු වියපත් භාවයට පත්වීම නොවැලැක්විය හැකි කරුණක් සේ ම අකාලයේ මිය නොගියහොත් මෙලොව එළිය දුටු ඕනෑ ම පුද්ගලයෙකුට වියපත් භාවයට පත්වීමේ අත්දැකීමට මුහුණ දීමට සිදුවේ. කෙනෙකු වියපත් භාවයට පත්වත් ම සමාජයෙන් ඔවුන් ඉවත් කිරීම සහ ඔවුන්ට ඇති අගය අඩුවීම මෙන් ම ඔවුන් කෙරෙහි ඇති සමාජීය ආකල්ප ඍණාත්මක ලෙස පැවතීම සමාජයේ දැකිය හැකි පොදු ලක්ෂණයකි.
විශේෂයෙන් ම ඔවුන් ශාරීරික වශයෙන් දුර්වලය, කිසිවක් කරකියා ගත නොහැකිය යන ආකල්පය සමාජයේ ස්ථාපිත ව පැවතීම හේතුවෙන් වැඩිහිටියන් පොදු සමාජ ප්‍රවාහයෙන් ඉවත් ව සිටිනු දක්නට ලැබේ. පොදුවේ සමාජයෙහි පවතින මෙම ඍණාත්මක ආකල්පයන්ට අමතර ව වැඩිහිටියන් පොදු සමාජයෙන් ඉවත් ව සිටීමට බලපාන්නා වූ විවිධ සාධකයන් වැඩිහිටියන් තුළ ම දක්නට ලැබෙන අතර ඒවා මොනවාදැයි ගෞරවනීය වැඩිහිටියන්ට මතක් කරදීම මෙම ලිපියෙහි අරමුණයි. වියපත් භාවයට පත්වත් ම “අපි දැන් වයසයි, අපිට වැඩක් කරන්න බැහැ, හයි හත්තිය නැහැ, අපි ව සමාජයෙන් වෙන්කරලා දාලා, දැන් ඉතින් බණක් දහමක් කරන පරලොව යන්න ලෑස්ති වෙනවා” යන පොදු වදන් පෙළ බොහෝ විට වැඩිහිටියන්ගේ මුවින් පිටවන පොදු වචන පෙළ බවට පත් වී ඇත. බෞද්ධ දර්ශනයට අනුව මීළඟ ආත්මයට කුසල් රැස්කිරීම අප කළ යුතු වුව ද ඒ සඳහා සුදුසු ම සහ එක ම කාලය වැඩිහිටි විය නො වේ. පිං රැස්කිරීම ජීවිතයේ සෑම කලකදී ම කළ හැකිය. වැඩිහිටි වියේදී පවා ඔබ ශක්තිමත්ය, ඔබට බොහෝ දෑ කළ හැකිය යන, බොහෝ දෑ කිරීමේ ශක්තිය සහ හැකියාව ඔබ සතුය,
බොහෝ කල් ජීවත්වීමෙන් ඔබ ලද දැනුම, ඥානය සහ පරිණතභාවය තවදුරටත් සමාජයට වැදගත්ය, යන අදහස් සමාජය තුළ ඇති කිරීමේ හැකියාව ඔබ සතු වන අතර සමාජය තුළ එවන් අදහස් ඇති විය යුතුය. එසේම වැඩිහිටි ඔබ තුළ ද ධනාත්මක අදහස් සහ ආකල්ප වර්ධනය විය යුතුය. එවිට ඔබ තවදුරටත් පවුලේ සාමාජිකයන් හෝ සමාජය මත පරාධීන නොවන බව ඔබට මෙන් ම සමාජයට ද හැඟෙනු ඇත.
එමෙන්ම වියපත් භාවයට පත් වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සමාජයෙහි වෙසෙන සුවිශේෂී කණ්ඩායමක් ලෙස සලකමින් රජය මඟින් ඔවුන්ට ලබාදෙන සුවිශේෂී අයිතිවාසිකම්, වරප්‍රසාදයන් සහ ප්‍රතිලාභයන් රැසක් පිළිබඳ ව විවිධ අණපනත්, ජාතික සැලසුම් සහ පාර්ලිමේන්තු ගැසට්පත්‍ර මඟින් කරුණු දක්වා ඇත. එසේ වුවද වැඩිහිටියන්ට සතු වරප්‍රසාදයන් සහ ප්‍රතිලාභයන් මොනවාද? ඔවුන්ගේ අතිවාසිකම් මොනවද? යන්න අප රටෙහි ජ්‍යේෂ්ඨ පුරවැසියන් තුළ ඇත්තේ ඉතා ම අල්ප දැනුමක් වන අතර ඔවුන්ට එම දැනුම ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති හෙයින් ඔවුන් ඒ සඳහා උත්සාහ කරන්නේ ද නැත. අනෙක් අතට පොදු ජනයා අතර ද මෙවැනි දෑ පිළිබඳ ව දැනුම අල්පවන අතර එය ද වැඩිහිටියන් පොදු සමාජයෙන් ඉවත් ව හුදෙකලාව සිටීම කෙරෙහි බලපෑම් කරයි. තමාගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාදයන් මොනවාදැයි දැනගැනීම මෙන් ම ඒවා කරා ළඟාවන්නේ කෙසේදැයි දැනගැනීම වැඩිහිටි ඔබ සතු වගකීමක් ලෙස ද දැක්විය හැකිය. එවිට ඔබට ගෞරවනීය වැඩිහිටියකු ලෙසින් ජීවත්වීමට ඇති අයිතිය තහවුරු වනු අනුමානය.
අප යම් දිනෙක වියපත් භාවයට පත්වන්නේය යන යථාර්ථය අප අවබෝධ කර ගනු ලබන්නේ අපගේ තරුණ අවධියේය. එසේ නම් යහපත් සහ සෞඛ්‍යමත් වියපත් වියක් සඳහා සුදානම් වීමට සමාජයේ වෙසෙන සෑමදෙනාට ම හැකියාවක් ඇත. වැඩිහිටි වියට පත් වූ විට ආර්ථිකමය වශයෙන් මුහුණදෙන ගැටලු රාශියකි.එවන් ගැටලු මඟහරවා ගැනීම සඳහා ඔබට තරුණ වියේ සිට ම සුළු මුදලක් හෝ ඉතුරුම් කළ හැකිය. ඔබ රැකියාවක නිරත වන්නේ නම් ඔබ ලබන අර්ථසාධක අරමුදල හෝ විශ්‍රාම වැටුප මනාව කළමනාකරණය කොටගෙන ඔබ වෙනුවෙන් ශක්තිමත්, ආර්ථිකමය පදනමක් සාදා ගැනීමට ද ඔබට ම හැකියාව ඇත. එමෙන් ම සංවිධානගත වැඩිහිටි සමිති හෝ කමිටු හරහා කුඩා කණ්ඩායම්ගත ව කුඩා අදායම් උත්පාදන මාර්ගයක නිරතවීමට අවස්ථාව උදාකර ගැනීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පුද්ගලයකු ලෙස වියපත් වියට මුහුණ දීමට ඔබට හැකියාව ඇත.
වියපත් භාවයට පත්වත් ම සෞඛ්‍යමය වශයෙන් මතු වන ගැටලු රාශියකි. එම ගැටලු මඟින් ඔබ නිවසේ ම හුදෙකලාව ජීවත්වන අසරණ තත්ත්වයකට ඔබ ඇද දමනු ලබන හෙයින් ඔබට පොදු සමාජයෙන් ඉවත්ව සිටීමට සිදු වේ. විශේෂයෙන් නිධන්ගත බෝ නොවන රෝගයන්ට ගොදුරුවීම, අක්ෂි සහ දෘෂ්ටිමය ගැටලු ඇති වීම, මානසික ආතතීන්ට ලක්වීමේ අවදානම වැඩිවීම, සෞඛ්‍ය සේවාවන් කරා ළඟාවීමට ඇති ගැටලු, බෙහෙත් මිලදී ගැනීමට ඇති ගැටලු ආදිය ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් ඔබ මැදි වයසේදී ඒවා පිළිබඳ ව දැනුවත්වන්නේ නම් ඔබට සෞඛ්‍යමත් වියපත් වියක් කරා ළඟා විය හැකි වනු ඇත. ඔබට ඇති වගකීම් සහ යුතුකම් රැසක් හමුවේ යහපත් සහ සෞඛ්‍යමත් වැඩිහිටි වියක් සඳහා සුදානම් වීම යම් අභියෝගයක් වුව ද එය ඉතා වැදගත් දෙයක් බව සිතට ගැනීම ද වැදගත්ය.
සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය දැනුම ලබාගැනීම, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සෞඛ්‍යමත් ජීවන රටාවකට හුරුවීම මෙන් ම තම ශාරීරික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ව සැලකිලිමත්වීම ආදිය මඟින් සෞඛ්‍යමත් වැඩිහිටි වියක් සඳහා සුදානම්වීම ඔබට ම සිදු කර ගත හැකිය. එසේම ඔබ දැනටමත් වියපත් භාවයට පත් ව ඇත් නම් තවත් කාලයක් යහපත් සෞඛ්‍යයකින් යුක්තව ජීවත්වීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමටත් ඒවා පිළිපැදීමටත් ඔබට තවමත් අවකාශයක් ඇත.
කෙස් වුවද පවුල් සංස්ථාවෙහි වත්මන් සමාජය තුළ සිදු වී ඇති වෙනස්කම් සමඟ ම වැඩිහිටියන් පවුල තුළ බරක් බවට පත්ව ජීවත්වනු දැකිය හැකිය. පවුලෙහි ඇති චක්‍රීය ජීවන රටාව තුළ වැඩිහිටියන් පවුල තුළින් ඉවත්වීම යුගයෙන් යුගයට මෙන් ම පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන සංස්කෘතික වෙනසක් බවට පත් වී ඇත. උදෑසන රැකියාවට පිටත්ව යන සිය පියා සහ මව, සිය ආච්චිට, සීයාට නොසලකන සිය මව සහ පියා දකින කුඩා දරුවා සිය මනස තුළට අභ්‍යන්තරීකරණය කරගනු ලබන්නේ ද එම ක්‍රියාවලියයි. එය ආදර්ශයට ගන්නා ඔහු හෝ ඇය සිතන්නේ වැඩිහිටියකු බවට පත් වූ විට ඔවුන්ට සැලකිය යුත්තේ එසේ ම යන්න වන අතර එය චක්‍රීය ක්‍රියාවලියක් බවට පත් ව ඉදිරියට ගමන් කරනු ඇත. සමාජයේ ජීවත්වන වගකිව යුතු පුද්ගලයන් ලෙස අප මෙම චක්‍රය කොතැනකින් හෝ බිඳ නොදැමුවහොත් අනාගත පරම්පරාව තුළ ද සිය මව සහ පියා මහලු වියට පත් වූ විට අහාර ලබාදීමට ප්ලාස්ටික් පිඟානක් සහ පොල්කටුවක් ආරක්ෂා කොට තබා ගන්නා අයවලුන් ඇතිවීම නොවැලැක්විය හැක්කකි. සාරධර්ම අගයන සමාජයක් පිළිබඳ ව කතාකරන, සිහින දකින එවන් සාමාජයක් තුළ ජීවත්වීමට ආශා කරන අප කාගේත් යුතුකම වන්නේ මෙවන් සංවේදී කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකොට යහපත් සහ සෞඛ්‍යමත් වැඩිහිටි වියක් ගෙවීම සඳහා අපගේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට පොදු සමාජයේ ම කොටසක් ලෙස ගෞරවාන්විත ව ජීවත්වීමට අවස්ථාව උදාකර දීමයි.
ජාත්‍යන්තර වැඩිහි දිනය සහ විශ්ව ළමා දිනය එකම දිනක සැමරීමේ අරමුණ සාක්ෂාත් වීමට නම් එම දිනය සමරන අප සැමගේ යුතුකම සහ වගකීම වන්නේ කිසිවකු අත නොහරින එකම එක පොදු සමාජයක් කරා ගමන් කිරීමට වියපත් වූවන් බලගැන්වීම සඳහා සුළුවෙන් හෝ අප සතු වගකීම ඉටුකිරීමයි.
සටහන - ප්‍රියන්ත ද සිල්වා
දිස්ත්‍රික් මූලස්ථාන සමාජ සේවා නිලධාරී නුවරඑළිය
NDH/SH-dmu nuwaraeliya