ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙනෙහසේ ක්ෂීරයෙන් පුබුදුවමු මල් කැකුළු

    අගෝස්තු 02, 2024

    අම්මා.. මුළු ලොවක් තනන්නිය ඇයයි. මුළු ලොවටම ජීවය දෙන්නිය ඇයයි.. අද දිගහැරෙන්නේ අම්මා කෙනෙකු දරුවෙකුට මෙලොව එළිය දුටු තැන් පටන් මුලින්ම ලබාදෙන ආදරණීය දායාදය සම්බන්ධවයි.

    දරුවෙකු මෙලොව එළිය දැක මුල් පැය ඇතුලත මවක් සිය සෙනෙහසේ ක්ෂීරය නොහොත් මවුකිරෙන් සිය බිළිඳා පෝෂණය කරනවා. රන් කිරි කටගෑමේ පටන් මවත් බිළිඳාත් අතර ගොඩනැගෙන අසීමිත ආදරයට, ශක්තිමත් සබඳතාවයට මවුකිරි දීම මගින් ශක්තිමත් අඩිතාලමක් වැටෙනවා.

    බිළිඳා හැදී වැඩී පුරවැසියෙකු ලෙස සමාජයට පය තැබීමේදී හොඳ පෞර්ෂයක් සහිත මිනිසෙකු බිහි වීමට මෙන්ම, සමාජයට වැඩදායී හා යහගුණවලින් හෙබි මිනිසෙකු වීමට මෙම මවුකිරි දීමේ කර්තව්‍ය විශාල ලෙස දායක වෙනවා. මවක් බිළිඳා තුරුළු කරගෙන මවුකිරි දීමෙන් මවත් දරුවාත් අතර ගොඩනැගෙන අක්ෂි සබඳතාවය හා ආදරය මෙන්ම දරුවාට ආරක්ෂාව සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීම්ද ජනිත වෙනවා.

    මෙතරම් වැදගත්කමක් ඇති දෙයක් සම්බන්ධව අද කතා කරන්නේ ලෝක මවුකිරි දීමේ සතිය ආරම්භ වී ඇති නිසයි. ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර ඇති අතර මවුකිරි දීමේ සතිය අගෝස්තු 1 සිට 7 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර තියෙනවා.

    මවුකිරි දීමට සතියක් මාසයක් නොව වසර ගණනාවක් වුවත් අවැසි වුවද මේ සම්බන්ධයෙන් මෙහිි වැදගත්කම මිනිසුන්ට අවධාරණය කිරීම උදෙසායි මෙලෙස මාසයක් සහ සතියක් ප්‍රකාශයට පත්කර ඇත්තේ. “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු - සැමට සම සේ සහය වෙමු ! ” යන තේමාව පෙරදැරිව මෙවර අරමුණු රැසක් සම්බන්ධව අවධානය යොමු කරනවා.

    සියලු මව්වරුනට මව්කිරි දීමට සහාය ලබාදීමේදී දැනට ඇති අසමානතාවයන් සහ එහි ව්‍යාප්තිය පිළිබඳ සියලු පාර්ශවයන් දැනුවත් කිරීම, සමාජ පරතරයන් අවම කිරීමේ ක්‍රමෝපායක් ලෙස මව්කිරි දීම සමාජගත කිරීම, අන්‍යෝන්‍ය සහයෝගීතාවය තුළින් මවුකිරි දීමට සහාය සැලසීම වැඩිදියුණු කිරීමට විවිධ පුද්ගලයන් සහ සංවිධාන සමග අත්වැල් බැඳගැනීම, නිසි සහාය නොලැබී යාමට වැඩි අවදානමක් දක්වන කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් මවුකිරි දීමට ලබාදෙන සහයෝගයේ ඇති අසමානතාවයන් අමව කිරීමට ක්‍රියාත්මක වීම ආදිය අරමුණු වශයෙන් දක්වා ඇත.

    දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දරුවෙකුගේ උපතේ සිට මුල් මාස 06 මව්කිරි පමණක්ම දීම ඉතා වැදගත් වන අතර එය දරුවෙකුගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්ද වඩා යහපත් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත. එමනිසා ජනතාව අතර මව්කිරි දීම ප්‍රචලිත කිරීම සඳහා ගෝලීය නිර්ණායක පදනම් කරගනිමින් මව්කිරි දීමේ සතිය තුළ දේශීයව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

    දරුවෙකුට උපතේ සිටම වටිනාම දෙයින් සුපෝෂණය කරමු. මව්කිරි වලින් දරුවන් පෝෂණය කරමු.. නැණ ගුණ පිරි හෙටක් තනමු.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya