අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

    සැප්තැම්බර් 15, 2014

    ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ක්‍රි.පූ. 206 දක්වා වූ ඈත අතීතයේ සිට ම පවතී. අතීතයේ සිදු වූ දූත ගමන් බොහොමයක් ආගමික අරමුණු සහිත වූ අතර වඩාත් හොඳ දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම වෙත ද අවධානය යොමු වී තිබුණි.


    දෙරට අතර සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව විසින් 1950 වසරේදී චීන රජය චීන මහජන සමූහාණ්ඩුව ලෙස පිළිගන්නා ලදී. 1952 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාව හා චීනය විසින් රබර් - සහල් ගිවිසුමක් අත්සන් තබනු ලැබීය. බටහිර රටවල් විසින් චීනයට පනවා තිබූ අවහිරතා සහ සම්බාධක මේ ගිවිසුම මඟින් බිඳ දමනු ලැබුණි.

     

    1957 වසරේ පෙබරවාරි 07 දින ශ්‍රී ලංකාව හා චීනය අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුණි.

     

    චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් (Xi Jinping)මැතිතුමාගේ වත්මන් ශ්‍රී ලංකා සංචාරය, චීන ජනාධිපතිවරයෙකු විසින් වසර 28කට පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය වේ. මීට පෙර දිවයිනට චීන ජනාධිපතිවරයෙකුගේ පැමිණීම සිදු වූයේ 1986දී ජනාධිපති ලී ෂියානීන්ගේ (Li Xiannian) සංචාරයත් සමඟයි.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ධූර කාලය තුළ වැඩිපුර ම සංචාරය කළ රට චීනය වේ. 2007 සිට 2014 දක්වා කාලය තුළ චීනයේ සිදු කළ සංචාර ගණන 07කි.

     

    දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපොළ, මොරගහකන්ද වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, කටුනායක අධිවේගී මාර්ගය හා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල යනාදී ව්‍යාපෘති ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සඳහා චීනය ලබා දුන් සහය හේතුවෙන් වත්මන් ශ්‍රී ලංකාවේ විශාලත ම සංවර්ධන සහකරු බවට චීනය පත් ව සිටී.

     

    මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 800කට වඩා වැඩි සංඛ්‍යාවක් චීනයේ විවිධ විශ්වවිද්‍යාලවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වී සිටිති. මේ අතරින් සිසුන් 100ක් පමණ චීන රජයෙන් ලබා දුන් ශිෂ්‍යත්වලින් ප්‍රතිලාභ ලබති. මෑතක දී චීන රජය හා වෙනත් සංවිධානවලින් ලබා දුන් ශිෂ්‍යත්ව හරහා ශ්‍රී ලාංකික සිසුන් රැසකට චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදා වී ඇත.

     

    ශ්‍රී ලංකාව ඒකීය චීන ප්‍රතිපත්තිය පිළිගන්නා අතර චීන උසස් පෙළේ නිලධාරීන් අතර පැවැත්වෙන හමුවලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ප්‍රතිපත්තියට ශ්‍රී ලංකා රජයේ සහයෝගය දිගින් දිගට ම තහවුරු කර තිබේ.

     

    - විදේශ කටයුතු අමාත්‍යාංශය

    NDH/NP_IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya