අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර ප්‍රජාව වෙනුවෙන් සුභසාධන පියවර රැසක්

    නොවැම්බර් 19, 2022

    මුහුද හරි හිතුවක්කාරයි. වෙලාවකට ලෙංගතුයි. රැල්ල ගහන කරදිය එක්ක පොරබදලා සම්පත් හොයාගිය සමහරු ආවේ තෝරු මෝරු හිතේ බරට අරං. තවත් අය මාරියාවේ හැංගුනේ ලබැඳියන්නේ ඇස්වලට තෙත කඳුලක් එක්කරං.

    කතාවට කියනවානේ අතුරේ යන එකයි මුහුදු යන එකයි ආපහු එන්න බලං යන ගමන් නෙවෙයි කියලා. ගොඩක් අය ගියා විතරයි ආපහු ආවෙ නෑ. තමන්ගේ හිමියා දරුවා එනකං ධීවර කාන්තාව පහන පත්තුකරං බලං හිටියේ ඇස් දෙක හිරිවැටෙනකල්මයි. ඒත් ආපහු නාව අය ගැන මතක කරදිය හුළඟට මුසුවුනා මිසක් ඔවුන්ට වුන සෙතක් නෑ. ඒත් ඒ අද විතරයි. එතකොට හෙට දවසේ ?

    එයාල ආපහු නාවොත් ඒ අයගේ ආදරණීයයන්ගේ හෙට දවස බලාගන්න හෙට ඉඳන් ධීවර අමාත්‍යංශය ඉන්නවා. ඔව් ඒ අයගේ මතක මකන්න බෑ. හැබැයි ධීවර රැකියාවේ ඉන්න අපේම ලබැඳි මිනිසුන්ගෙන් උන යුතුකම් හෙට දවසේ ධීවර අමාත්‍යංශය බලාගනීවි. ඇත්තටම මොකක්ද මේ කියන්න යන්නේ.

    ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයක් ඇත්තක් වෙන්නෙ මෙහෙමයි. ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ මඟපෙන්වීම යටතේයි. අද වෙනකොට ධීවර රැකියාවේ නිරත වෙලා ඉන්න අය වෙනුවෙන් ජීවිත රක්ෂණයක් ඇති කරන්න ධීවර අමාත්‍යංශය සිය යුතුකම ඉටු කරලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එකතුවෙන් ධිවර රැකියාවේ නිරත වෙන අපේම අය වෙනුවෙන් ජීවිත රක්ෂණයක් පිහිටුවා තිබෙනවා.

    “ධීවර රැකුම” යන නමින් අලුතෙන් ආරම්භ වන මේ රක්ෂණාවරණයට අනුව හදිසි අනතුරක් හේතුවෙන් ධීවර රැකියාවේ නිරත අපේ ජනතාවට සිදුවන මරණයකදී හෝ අකර්මන්‍යතාවයකදි රුපියල් මිලියන 1.2ක් දක්වා පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් හිමිවෙනවා. ඇත්තටම ධීවර රැකියාව කියන්නේම අනතුරු බහුල අන්තරායකර රැකියාවලින් එකක්. ගිය කෙනෙක් ආපහු එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්. ඔවුන්ගේ අහිමිවීමෙන් ඇතිවන හදවතේ හිඩැස පුරවන්න කාටවත් නොහැකිවුනාට ධීවර පවුල් අසරණ වෙන එකෙන් වළක්වගන්න මේ රක්ෂණයට පුලුවන්.

    ඒ විතරක් නෙවෙයි තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් නව රක්ෂණාවරණය මගින් ධීවර ප්‍රජාවට හිමිකර දී තිබෙනවා. ස්වභාවික මරණයකදී ධීවර සොහොයුරන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක ආවරණයක් හිමිවෙනවා.ධීවර රැකියාවේ නිරත වී සිටියදී සිදුවෙන හදිසි අනතුරක් හේතුවෙන් ධීවරයකු අතුරුදහන් වුනොත් ඒ අය වෙනුවෙන් මසකට රුපියල් 7500 බැගින් මාස 12ක් දක්වා පවුලේ අයට හිමිවෙනවා. එතකොට වසරකට වඩා අධික කාලයක් ඒ අය අතුරුදහන් වුනොත් වෙන්නෙ මොකක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඔව් එහෙම වුනොත් පුද්ගල හදිසි අනතුරු ආවරණයේ මුළු රක්ෂිත වටිනාකම අදාළ වන්දි මුදල් අඩුකර ධීවර පවුලට ලැබෙනවා.

    ඒ වගේම ධීවර කටයුතුවල නිරතවෙනකොට ගුවනින් ලංකාවට ගෙන්වාගන්නට තත්වයක් ඇති වුනොත් ඒ සඳහා රුපියල් 40 000 ක් මේ රක්ෂණයෙන් ධීවර රැකියාව කරන අයට ලැබෙනවා වගේම ධීවරයකුගේ හදිසි මරණයකදී දරුවන් දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 10 බැගින් මසකට හිමි වෙනවා.

    මේ සම්බන්ධයෙන් රජය විශාල වියදමක් දරන විට ධීවර පවුල්වලට ඒ සම්බන්ධයෙන් වසරකට සුළු මුදලක් පමණක් දරන්න වෙනවා. ඒ මුදල වාර්ෂිකව රුපියල් 1865ක් පමණයි. වාර්ෂිකව ලක්ෂ 20ක් පමණ දෙනා ධිවර කර්මාන්තයෙන් යැපෙන අතර මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීම සඳහා ඔවුන්ගේ ඉමහත් කැපවීම අගය කළයුුතුමයි. මේ ඔවුන් වෙනුවෙන් ධීවර අමාත්‍යංශය ආරම්භ කළ ඇති සුභසාධන පියවර රැසකින් එකක් පමණයි. ඔවුන් වෙනුවෙන් තවත් පියවර රැසක් වත්මන් ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ආරම්භ කර ඇත.

     

    සුවදායි විශ්‍රාම දිවියක්

     

    ගණන් බලා තියෙන ආකාරයට මෙරට ධීවර රැකියාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත වල යෙදෙන ප්‍රමාණය මිලියන 2.5ක් එනම් ලක්ෂ 25කට අධිකයි. මේ අතුරින් සක්‍රීය ධීවර ප්‍රමාණය ලක්ෂ තුනකට ආසන්නයි. රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් හරි අඩකට වඩා සැපිරීමට කටයුතු කරන ඔවුන්ගේ හෙට දවස ඉතාමත් අවිනිශ්චිතයි. කතාවට කියන්නේ “ මුහුදු යනවා” කියන්නේ රැකියාවක් නෙවෙයි කියලයි.මොකද කියනවා නම් අද මුහුදු යන කෙනෙක්ට මත්ස්‍ය අස්වැන්න ඔරුවක් පුරා ලැබෙන්නටත් ඔවුන්ගේ බඩකට පිරෙන්නටත් පුලුවන්. හැබැයි ඔවුන්ගේ හෙට දවස එහෙම නැත්නම් ඉදිරි මාස කීපයම හිස් අතින් එන්නට වෙනවා වන්නට පුලුවන්. සමහර කාලවලදී ඔවුන්ගේ බඩගින්න පුරවන්න වෙන්නේ තම්බාගත් බත් පිඬටත් ලූණු ගෙඩියටත් විතරක් වෙන්නටත් පුලුවන්. මොකද වාරකන් කාලයේදී වගේම සමහර හදිසි කුණාටු ඇතිවන කාලයටත් ඔවුන්ට මුහුදු යන්නට හැකියාවක් නැති නිසායි. ඔවුන් ගෙන ආ මත්ස්‍ය අස්වැන්නෙන් ලැබූ සියලු මුදල් මේ කාලයේදී ඔවුන්ට ජීවත් වෙන්නට යොදවන්න වන අවස්ථා එමටයි. ඒ නිසාම
    ඔවුන්ට හෙට දවස වෙනුවෙන් ඉතිරියක් කරන්නට ඉඩක් ලැබෙන්නේම කලාතුරකින්. ඔවුන්ගේ සැඳෑ කාලය මේ තත්වය හේතුවෙන් අවිනිශ්චිතයි. ඒ විතරක් නෙවෙයි ගණන් බලා ඇති ආකාරයට වාර්ෂිකව ජීවිත අහිමි වන ධිවර සංඛ්‍යාව 20 – 30ක් අගයක් ගනී. ඒ වගේම පූර්ණ වශයෙන් ආබාධිත මෙන්ම අර්ධ වශයෙන් ආබාධිත වන ප්‍රමාණය
     80 – 100ක් අගයක් ගනී.

    පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් ආබාධිත වූ වගේම සැඳෑ සමයේ ජීවත් වෙන්නට හරිහමන් යමක් නොමැති ධීවරයන්ගේ හිතසුව පිනිසද ධීවර අමාත්‍යංශය මේ වන විට පියවරක් ගෙන තිබෙනවා. සැඳෑ සමය දුෂ්කරව නොගෙවන්නට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා එක්ව නව විශ්‍රාම වැටුපක් ආරම්භ කර තිබෙනවා. මෙම විශ්‍රම වැටුපට ඍජු හෝ වක්‍ර යන දෙආකාරයට ම ධිවර කර්මාන්තයේ යෙදෙන පිරිස ඇතුලත් වෙනවා.

    එම විශ්‍රාම වැටුපට අවුරුදු 18 සිට අවුරුදු 59 දක්වා වන ධීවරයන්ට දායක විය හැකියි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප වසර 60න් පස්සේ ඔවුන්ට හිමිකම ලැබෙනවා. ඒ ඒ අයගේ වයස අනුව විශ්‍රාමික වැටුපේ ප්‍රමාණය ක්‍රමිකව වැඩිවීම මේ විශ්‍රාම වැටුප තුළ දකින්නට පුලුවන්. ඕනෑම ධිවරයෙක්ට සිය කැමැත්ත පරිදි දායක වන ආකාරය අවශ්‍ය විශ්‍රාම වැටුප තීරණය කරන්න පුලුවන්.

    ඒ පමණක් නොවෙයි සාමාන්‍ය විශ්‍රාම වැටුපකදී වගේම සාමාජිකයාගේ අභාවයෙන් පසුව සාමාජිකයාගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයාට ලෙස මෙම විශ්‍රාම වැටුප හිමිවෙනවා. යම් හෙයකින් එම පුද්ගලයා මියගිය පසුව ඔවුන්ගේ දරුවන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් සහ ආබාධිත දරුවන් ඇත්නම් ඔවුන් විවාහයකට පත්වන තුරුද මෙම විශ්‍රාම වැටුම හිමිවෙනවා.

    මේ තත්වයත් එක්ක ධීවරයන්ගේ සැඳෑ සමය යම් ආකාරයකට ස්ථාවර කිරීමට යම් හැකියාවක් ලැබී තිබෙනවා. ඔවුන්ට හෙට දවසේ ස්ථාවර ආදායමක් ලැබීමම අද රටේ පෝෂණ අවශ්‍යතාව වෙනුවෙන් කැපකරන ඔවුන්ගේ හෙට දවසට සහනයක් ලෙස කියන්නට පුලුවන්.

    එළැඹෙන නොවැම්බර් 21 වැනිදාට යෙදෙන ලෝක ධිවර ධිනය වෙනුවෙන් තවත් සුභසාධන පියවර රැසක් ආරම්භ කරන්නට ධිවර අමාත්‍යංශය සූදානම් වෙලා තිබෙනවා. ඒ අනුව ධීවර පවුල්වල දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ආරම්භ කරන්නටත්, විභාගවලදී ඉහළ ප්‍රතිඵල ලබාගන්නා ධීවර පවුල්වල දරුවන් වෙනුවෙන් මුදල් ආධාර ලබාදීමටත් සියලු පියවර ගෙන තිබෙනවා. එදිනට නව ධීවර ප්‍රඥප්තියක් සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ කරන්නටත් පියවර ගෙන තිබෙනවා. එ් වගේම විසිතුරු මසුන් නිෂ්පාදනයේ යෙදෙන පිරිස් වෙනුවෙන් මුදල් ආධාර ලබාදීමටත්, විසිතුරු මසුන් ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආධාර ලබාදීමටත් කටයුතු සියල්ල සූදානම් වී තිබෙනවා.

    මේසා කාලයක් ආණ්ඩු බලයට පත්වුනා වගේම ආණ්ඩු වෙනස් වුනා. ධිවරයන් වෙනුවෙන් බොහෝ දේ කරන්නට කතාබහ විශාල ප්‍රමාණයක් ඇති වුනා. ඒ් වුනත් ඒවා කතාවට සීමා වුනා. ධිවරයාගේ අතින් ගේන මත්ස්‍ය අස්වැන්න හැමකෙනෙකුටම බෙදුනත් ධිවරයාට බෙදන්නට යුතු දේ බෙදන්නට බොහෝ බලධාරීන්ට නොහැකි වුනා. මේ වන විට කතාබහ වෙනුවට ධීවර ප්‍රජාව වෙනුවෙන් දෙයක් කරන්නට පිවයර ගෙන අවසන්. ගෙන ඇති පියවර තවත් ඉදිරියට යන්නට බොහෝ දේ තිබෙන්නට පුලුවන්. අඩුපාඩු රැසක් තිබෙන්නට පුලුවන්. එහෙත් සුළුවෙන් හෝ ඔවුන් වෙනුවෙන් සුභසාධනයට ගෙන ඇති පියවර අගය කළයුතුමයි. ඔවුන්ගේ හෙට දවස ලස්සන වන්නට මේ පියවර යම් කාර්යයක් ඉටු කරනු ඇත.

    රනින් මාල නැති ඔවුන්ගේ ගෙලට පළඳන්නට යන මල් හර කරදිය රැළි උඩින් අඳුරු සමුදුරු ආගාධයට යන ඔවුන්ට පහන් එළියක් වන ඇත්නම් එය කදිමය.

    අමිල ප්‍රදීප්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya