(සතියේ ජනපති සටහන)
ජනපති රනිල් රට ගිණිගනිද්දී රැජිණ ගේ හා ජපානයේ මළ ගෙවල් වල ගියේය. දැන් පිරමිඩ ඇති ඊජිප්තුවේ කොප් 27 දේශගුණික සමුළුවට ද එක්විය. එම ගමනට මාලේ කතානායක රැගෙනයාම ගැන දසතින් ප්‍රහාර එල්ල වේ.රනිල් මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.
මාලේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර දේශගුණික විශ්ව විද්‍යාලය මෙරට තනා ඒ හරහා බිහිවන උගතුන් ලවා ලොවපුරා දේශගුණික විපර්යාස වලට විවිධ රටවල් කරන කටුක බලපෑම් අවම කිරීම රනිල් ගේ උපාය හා ඉදිරි දැක්ම වේ.
තවද ඇමෙරිකාවේ බ්‍රිතාන්‍යයේ ඉන්දියාවේ නව නායකයෙකු පත්වූවිට එය ලෝක ප්‍රවෘත්තියකි. එහෙත් ලංකාවේ රාජපක්ෂලා වෙනුවට රනිල් පත්වූවිට එය ලෝකය පුරා පැතිර යන්නේ මද වේගයෙනි. ලංකාවේ නායකයා වෙනස්වී රට නව මාවතක ගමන් කරන බව ලොවට ඇඟවීමට රනිල් මෙවැනි ලෝක සමුළු වලට හා නායකයන් හමුවට යාම වැදගත් වන්නේ එහෙයිනි.
කොප් සමුළුව ඊජිප්තු හරිත නගරයවූ ශාම් අල් ෂේක් හිදී පැවැති අතර ඊට එජා මහලේකම් හා ලොව නායකයන් පරිසර ඇමතිවරු රැසක් එක්වූහ.එහිදී ජනපති රනිල් සමුළුවේ හොඳම කතාව කරමින් ලෝකයට දුන් පණිවිඩය රටට ගෞරවයක් මෙන්ම ලංකාවට ලෝකයේම අවධානය යොමුවූ අවස්ථාවකි.
බලවත් රටවල අසීමිත කාර්මිකකරණය හා ඇතැම්විට හිතාමතා සිදුකරන දේශගුණික විපර්යාස නිසා වායුවට එක්වන ඉහළ කාබන් ප්‍රතිශතයෙන් සෙසු රටවල් විශාල පීඩාවකට පත්වන බවත් ඒ තුළ බලවතුන් උපයන අධික මුදලින් එම රටවලට සාධාරණ වන්දියක් හිමිවිය යුතු බවත් රනිල් ලෝකයටම හඬගා කීවේය.
කාබන් ඉහළයාමේ පරිසර ගැටලුව නිසා රෝගාබාධ හා කෘෂිකර්මයේ කඩා වැටීම් ද සිදුවේ. තම දෛනික ගැටලු විසඳා ගැනීමේ මූල්‍ය අර්බුදයකට මැදිවූ එම රටවලට ප්‍රබල රටවල් විසින් ඇතිකරන මෙම ගැටලු දෙක ද එක්වීමෙන් කබලෙන් ලිපට වැටුණු පසුබිමක් පවතී. එහෙයින් 2021 ග්ලාස්ගෝ ප්‍රතිඥ්‍රව අනුව ප්‍රබල රටවල් විසින් සෙසු රටවලට ඇතිකරන බලපෑමට සරිලන වන්දි දීමේ යෝජනාව වහා ක්‍රියාත්මක කිරීම ලෝක පැවැත්මට ද හිතකර වනු ඇත.
එහිදී ගල් අඟුරු හා ඉන්දන දහනයෙන් බලශක්තිය නිපදවීම අවම කොට පුනර්ජනනීය බලශක්තිය දෙසට යොමුවීම , කඩොලාන හා පරිසරය උපරිමව රැකීම ඇතුළු කරුණු රැසක ප්‍රතිඥ්‍රවක් ජනපති රනිල් ලංකාව පැත්තෙන් සමුළුවට ඉදිරිපත් කිරීම පැසසුමට ලක්ව තිබේ. ඒවා ලංකාව පමණක් නොව යුනිසෙප්ට් හා පැරිස් ගිවිසුම් වලට අනුගතව ලොව සියලු රටවල් ඉටුකල යුතු ලෝක අවශ්‍යතා බව ද සිහිපත් කරමු.
සමුළු පවත්වා රැස්වී කාබී දෙන දේශන ප්‍රායෝගිකව මහපොළොවේ පැළවීම අත්‍යවශ්‍යය. කොප් 26 දී ගත් තීන්දු වලින් කීයක් මෙම සමුළුව වෙනවිට ඉටුව තිබේද. එසේම ලබන වසරේ කොප් 28 ඩුබායි වෙත එනවිට ඉටුවිය යුතු දේ මොනවාද යන්න සියලු රටවල් අවධාරණය කිරීම වටී. මන්ද ගිය වසරට වඩා මේ වසර වනවිට ලෝක කාබන් විමෝචනය බිලි 34 සිට 36 දක්වා වැඩිවී තිබේ. ඛේදවාචකය එයය.
ඩොලර් බිලි 100 ක ලෝක දේශගුණික අරමුදල තැනීමට උනන්දු නොවන ප්‍රබල රටවල් යුක්රේන යුද්ධයට දෙපසටවී ඩො බිලි දහස් ගණන් මුදල් විනාශ කිරීම ද ඛේදචාචකයකි. ලොව මිනිසුන් කෝටි 100 කට ආහාර හිඟය.මිලියන 300 කට ජීවනමඟ ඇහිරී තිබේ.
එම කටුක යථාර්තයට උත්තර සෙවීමට ලෝක නායකයන් හා පරිසර ඇමතිවරු එක්වන දේශගුණික සමුළුවක් හරහා තිරසාර වැඩ පිළිවෙලක් ද කුසට අහරක් නැති මිනිසුන්ට ආහාර සැපයීමට ලෝක කෘෂි ඇමතිවරු එක්වී මහා මෙහෙයුමක් දියත් කිරීම අත්‍යවශ්‍ය බව ජනපති රනිල් කී දේ ලෝකයේම පැසසුමට පාත්‍රවූයේ ඒ තුළය. කුඩා රටක වුවද ජනපතිරනිල් පුළුල් දැක්මක් සහිත නායකයෙකු වන්නේ ඒ තුළ ය.
අශෝක ජයතුංග විසිනි.