දුම්රියෙන් ගමන් ගන්නා මේ කාලය තුළ විවිධ ආකාරයේ පුද්ගලයන් මා හට හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණි. එදින රාත්‍රී ගමනේදී එවැනි ම වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමට හැකි විය. ඔහු නමින් ආනන්ද විය. ඔහු දුම්රියේ සේවය කරනු ලබන ඉහළ නිලධාරියෙකි. “සර් අපි විශේෂ වැඩක් කරන්න සූදානම් වෙනවා. බදුල්ලේ ඉඳලා පට්ටිපොළ දක්වා දුම්රිය මාර්ගය නිරීක්ෂණය කරන්න අප සූදානම්. විවිධ ආපදාවන්ට ලක් වුණු නිසා මෙම දුම්රිය මාර්ගය නිරීක්ෂණය කරන්න වුවමනායි. ඒ කියන්නේ නාය යෑම්, ගල් පෙරලීම්, පස සෝදා යෑම්, ගස් කඩා වැටීම් වැනි හේතු නිසා හානියට පත් දුම්රිය මාර්ග පද්ධතිය නිරීක්ෂණය කරන්න” යැයි ආනන්ද පැවසීය.
ඇත්තටම එය හරි අපූරු අත්දැකීමක් වනවාට සැකයක් නැති බව මට හිතුණා. ඒ සඳහා ජූලි 29 වෙනිදා මා ද සහභාගී වුණා. මේ සඳහා ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වී සිටියහ. අපගේ ගමනාගමනයට විශේෂ දුම්රියක් ලෙස මෝටර් ට්‍රොලියක් යොදවලයි තිබුණේ. එය පුංචි පහේ දුම්රියක් කිව්වට වරදක් නැහැ. මේ නිරීක්ෂණ චාරිකාව අතර තුර එක් අවස්ථාවක මම බදුල්ලේ සිට ඇල්ල දක්වා පයින් ගමන් කරන්නට පටන් ගත්තා රේල් පාර ආසන්නයෙන් ම. එහාට මෙහාට මාරු වන දුම්රිය බොහෝමයක් මට මුණ ගැහුණා. ඇල්ල දුම්රිය පොළ ආසන්නයේ රැස් කකා හිටපු විදේශීය නෝනලා මහත්තුරු දැක්කම මට පුදුම හිතුණා. මේ තරම් විදේශිකයන් පිරිසක් ඇයි මේ අපේ උඩරට දුම්රියට මේ තරම් ආසා කරන්නේ. ඇයි ඒ ආසාව අපේ රටේ බොහෝ දෙනෙක්ට නොතේරෙන්නේ.
අපේ රටේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ මගීන් විදිහට ගමනාන්තය සඳහා පහසුකම් දුම්රියෙන් ලබා ගැනීමට පමණයි. උඩරට දුම්රිය මාර්ගය සංචාරය කිරීමට ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්. දුම්රියෙන් ගමන් ගන්නා විදෙස් සංචාරකයන් මෙහි පවතින වටිනාකම ඉතා ම හොඳින් දන්නවා. ඒ නිසා දෛනිකව උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කරනු ලබන විදේශිකයන් ප්‍රමාණය ඉතා ඉහළයි.
අද දුම්රිය මැදිරිවල තියෙන පහසුකම් පවා ඉතා ඉහළයි. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගය පාරිසරික ව, භූගෝලිය ව සහ ඓතිහාසික ව වටිනාකමක් දක්වන ස්ථාන ගණනාවක් පසු කරගෙන, ගමනාන්තය වන බදුල්ල දුම්රිය පොළට පැමිණෙනවා. වරක් දෙවරක් නො ව කිහිපවරක් ගමන් කළත් මෙම උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය ඇතිවෙන්නේ නැති බව නම් සහතිකයි. කොළඹ කොටුවේ සිට කිලෝ මීටර් 30ක් 35ක් පසු කළ පසු දුම්රිය ගමන් කරන්නේ සුන්දර පෙදෙස් බොහෝමයක් පසු කර ගෙනයි.
අඹේපුස්ස, රඹුක්කන, කඩිගමුව, බලන, කඩුගන්නාව වැනි දුම්රිය නැවතුම්පොළවල් රැසක සුවිශේෂී භූගෝලීය හා පාරිසරික වටපිටාවත් ඒ වගේමයි. නාවලපිටියෙන් පසුව හමුවන හැටන්, නානුඔය, අඹේවල, පට්ටිපොළ, ඉදල්ගස්හින්න, ඇල්ල, දියතලාව, දෙමෝදර, බණ්ඩාරවෙල වැනි දුම්රිය දුම්රිය ස්ථාන ඓතිහාසික වටිනාකම හා සුවිශේෂි පාරිසරික වටිනාකමකිත් යුක්තයි. මේ සියලුම දුම්රිය නැවතුම්පොළවල් අතර පිහිටා තිබෙන කළුවර බිං ගෙවල් සුවිශේෂී වේ. පට්ටිපොළ දුම්රිය නැවතුම්පොළ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය නැවතුම්පොළයි. ඉදල්ගස්හින්න සුවිශේෂී භූගෝලීය පිහිටීමකින් අනූන ප්‍රදේශයකි. එම දුම්රිය නැවතුම්පළේ සිට හම්බන්තොට දක්වා වූ අපගේ භූමි ප්‍රමාණය ඉතා සියුම්ව දැක බලා ගන්න පුළුවනි. ඇල්ල දුම්රියපොළ ආසන්නයේ පිහිටා තිබෙන රාවණා ඇල්ල විශේෂිතයි. රොක් වීව් ( Rock View) යන ස්ථානයේ සිට බලන විට රාවණා ඇල්ල පටන් ගන්නා ස්ථානය බලා ගත හැකියි. මේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක්. බොහෝ විදේශිකයන් පිරිසක් මෙම ආකර්ෂණීය ස්ථානයට පැමිණෙනවා.
ඒ වගේමයි දෙමෝදර ආරුක්කු පාලම. හිස පළඳින ජටාවක් ලෙසින් ඉදිකොට තිබෙන මෙම දුම්රිය මාර්ගය ලෝකයේම තියෙන්නේ මෙතන විතරයි. අපූරු කතාන්දර රැසක් මෙම දුම්රිය මාර්ග ඉදිකිරීමේ ඉතිහාසය ඇතුළේ තියෙනවා. දුම්රිය මාර්ගය ඉදිකරන විට මිය ගිය ඉංජිනේරුවන්, මිනින්දෝරුවන් සහ කම්කරුවන් සිහිවෙන්න බොහෝ තැන්වල ස්මාරක පවා ඉදිකර තියෙනවා. මේ දේවල් දුවා දරුවන්ට දැකබලා ගන්න ඉඩ ලබා දිය යුතුයි.
රජයේ නිලධාරීන්ට දුම්රිය ගමන් බලපත්‍ර ඇතුළු අඩු මුදලකින් මැදිරි පහසුකම්, නවාතැන් ආදිය ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පාසල් නිවාඩුවට ඔබේ පුංචි දුවා පුතා රැගෙන දිනයක් දෙකක් වැයකොට උඩරට දුම්රිය ගමනකට සහභාගී වන ලෙසත් එය ඒකාකාරී ජීවතයෙන් අත්මිඳීමට මගක් වනවා මෙන්ම සුන්දර මතක සටහන් රැසක්ද ජීවිතයට එක් කිරීමට සමත් වෙන බව නොඅනුමානයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි