අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ජනතා ජීවිතවලට අරුණාලෝකය

    සැප්තැම්බර් 04, 2014
    උතුර, දකුණ එකට යා කරමින් බැඳි පාලම ශක්තිමත් කරමින් නව ලොවකට පා තබන්නට සැරසෙන ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය ආශ්චර්යමත් කිරීම සඳහා සියලු ජන කොටස්වලට සමාන වටිනාකමක් ලබාදීමට වත්මන් රජය කටයුතු යොදා ඇත.  
     

     මෙම කර්තවයේදී පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙස වතු ජනතාව හා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් තම අමාත්‍යාංශයට පැවරී ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් එච්. ලෙස්ලි තිසේරා මහතා පවසයි.  
     
    livestock ministry  Secretary
     
     
     පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු අතර පවතින පසුගාමී ජන කොටස් තෝරාගෙන ඒ අයගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සංවර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළවල් දියත් කිරීම මේ වන විටත් එම අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. එහිදී මේ සඳහා ලංකාවේ පසුගාමී ජනතාව වැඩි වශයෙන් ම ජීවත් වන ප්‍රධාන වැවිලි භෝග පවතින වතුකරය තෝරාගෙන ඇත. ඒ නිසා මේ යටතේ වැඩි අවධානයක් වතුකරයේ ජනතාව කෙරෙහි යොමු කෙරේ. විශේෂයෙන් තේ, රබර්, පොල් වැනි වතු ආශ්‍රිතව සිය ජීවන වෘත්තිය ගෙන යන ඒ ආශ්‍රිත පදිංචි ජනතාව මෙහිදී විශේෂයෙන් ම සලකා බැලීම සිදු කෙරේ. මේ අයගේ මන්ද පෝෂණය ඉහළ මට්ටමක පවතින අතර, නිවාස ප්‍රශ්නය ද විශාල වශයෙන් වතු ජනතාව අතර පවතින තත්ත්වයකි. ඒ හේතූන් මත පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මෙහිදී වතුකරයේ වෙසෙන කම්කරු ජනතාව කෙරෙහිය. ඒ අයගේ ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් මේ වන විට විශාල වැඩපිළිවෙළක් දියත් කර ඇත. 
     
    plantation3
     
     
    විශේෂයෙන් ම වතුකරයේ මෙම තෝරා ගත් ජන කොටස් වෙනුවෙන් ප්‍රධාන කාර්ය භාර තුනක් ඉටුකිරීමට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. එනම් වතු ජනතාව අධ්‍යාපනය හා පුහුණුව තුළින් බල ගැන්වීම, එමෙන් ම ඒ අය සංස්කෘතික හා සමාජීය සංවර්ධනය තුළින් බල ගැන්වීම, මේ අයට අවශ්‍ය කරන මූලික පහසුකම් එනම් විශේෂයෙන් යටිතල පහසුකම් සැලසීමද අමාත්‍යාංශය සතු වගකීම් අතර වේ. ග්‍රාමීය වතු පාරවල් සැලකීමේදී  මේවා පළාත් සභාවට හෝ ප්‍රාදේශීය සභාවට හෝ මධ්‍යම ආණ්ඩුවට අයත් නොවී ම වතු ජනතාව මුහුණ දුන් ඉතාම සෝචනීය තත්ත්වයක් විය. කිසිවෙකු මොවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් වතුකරයේ ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් ව සිටි යුගයක් අතීතයේ ශ්‍රී ලංකාව සතු විය. එසේ නමුත් අද ඒ ප්‍රදේශවලට සංවර්ධනයේ අරුණැලි වැටී ඇත. පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ මග පෙන්වීම මත මෙම දැවැන්ත කර්තව්‍යය එම අමාත්‍යාංශය මගින් ඉටුකරමින් පවතී.
     
    plantation11
     

     අමාත්‍යාංශ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ප්‍රජා මං මාවත් ඉදිකිරීම, ඒ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය කරන පොදු ගොඩනැගිලි, ප්‍රජා ශාලා, සුසාන භූමි වැනි දේ  සඳහා අමාත්‍යාංශය මගින් මේ වන විටත් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර එහි සංවර්ධන ක්‍රියාදාමය දියත් කර ඇත.
     

    මීට සමගාමීව විශාල ගැටලුවක්ව පැවති වතු ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. වතුකරයේ ජනතාව බොහෝ දුරට තම ජීවන අරගලයට උරදෙනුයේ අධික දුෂ්කරතා මත ගෙවෙන ලැයිම් කාමර තුළය. මේ ලැයිම් කාමරවල ජීවත් වන ජනතාවට ඔවුන්ගේම කියා නිවහනක් සපයාදීම දැඩි අවශ්‍යතාවක් ව පවතී. ඒ හේතුව මත අමාත්‍යාංශය මගින් නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. 
     
    plantation4
     
     
    නිවාස සකස් කිරීම ක්‍රම දෙකක් යටතේ මෙහිදී සිදු කෙරේ. එහිදී මූලිකව ම අමාත්‍යාංශය මගින් නිවාස ඉදිකර කර දීම හා නිවාස ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබාදීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේ යටතේ  එක් නිවසකට පන්ලක්ෂ පහළොස් දහසක්  වැනි මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම මුදල් කොටස් දෙකක් යටතේ අමාත්‍යාංශය මගින් ලබාදේ. එහිදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ආධාර ක්‍රමය යටතේ ද තවත් රුපියල් 315000ක මුදලක් ණයක් වශයෙන් ද ලබා දීම සිදු කෙරේ. මෙම ණය මුදල් ලබාදීම සිදු කෙරෙණුයේ වතු ආශ්‍රිතව පිහිටුවා ඇති වතු සේවක සමුපකාර සමිති හරහා වීම විශේෂත්වයකි.  මෙම සමිතිවල බොහෝ දුරට සභාපතීත්වය දරණු ලබන්නේ වතු පාලකවරයා වීම හේතුවෙන් ලබා දෙන ණය නැවත අය කර ගැනීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, මෙම ක්‍රමවේදයේ හැටියට 100%ක් ණය අයකර ගත හැකි වන බවත්  පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    plantation6
     
     
     වතු ජනතාවගේ වැටුප් හරහා ණය කපා ගැනීමක් සිදු වේ. නිවාසවලට ලබාදෙන ඉඩම්වල අයිතිය රජය සතු බැවින් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් ලබාදෙන පර්චස් 07ක ඉඩමේ අයිතිය වතු සමූපකාර සමිතියට හිමිවේ. මේ හේතුව මත නිවාස හිමියනට කිසිදුවිටක මෙම නිවාස මිල කිරීමේ හැකියාවක් නොමැත. වතු සේවක සමූපකාර සමිති ඉතා ශක්තිමත් ලෙස මේ වන විට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසර සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 190ක මුදලක් වෙන්කර ඇත. නිවාස ඉදිකරදීමට සමගාමීව දැවැන්ත වැඩසටහනක් ලෙසින් වතු ජනතාවගේ නිවාස සකස් කරදීම වෙනුවෙන් ක්‍රියාත්මක සෙවිලි තහඩු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ සඳහා මේ වන විටත් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන ගණනාවක් වැය කර ඇත. වතුකරයේ බොහෝ දෙනෙකුට වැඩි අවශ්‍යතාවක් ව පවතින්නේ නිවාස සකසා ගැනීම සඳහා සෙවිලි තහඩු ලබාදීමයි. එමෙන් ම අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන විශේෂ වැඩසටහනක් ලෙස අවමඟුල් වෙනුවෙන් ලබා දෙන ආවරණ මඩු දැකිය  හැක. මේ වන විට අමාත්‍යාංශය මගින් මෙම මඩු 280ක් පමණ ගම් 280ක් පමණ මුල්කර ගෙන බෙදාදී ඇත. 
     
     
     
     අධ්‍යාපන පුහුණුව හා ඒ තුළින් සිදු කෙරෙන බල ගැන්වීම ඔස්සේ  ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියකි ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය. මේ යටතේ තෝරාගත් වතුවල ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන 44ක් දැනට පිහිටුවා ඇත. මෙම ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන තුළ අන්තර්ජාල පහසුකම් සහිත පරිගනක මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, ඒ ඔස්සේ වතුකරයේ දරුවන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ විපුලත්වයක් ලබා ගත හැකිවේ. මෙම මධ්‍යස්ථානය නැණසල මධ්‍යස්ථානයට සමාන ලෙසින් ක්‍රියාත්මක වේ. නැණසල මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ජනතාවට ලබාදෙන පහසුකම්වලට සමඟාමී ලෙසින් පහසුකම් ලබාදීමට මෙම පරිගණක මධ්‍යස්ථාන ඔස්සේ පියවර ගෙන ඇත.
     
    computer2
     
     
     
    මෙම මධ්‍යස්ථානවල පවතින විශේෂත්වය නම් මෙය පරිගනක පුහුණුවට පමණක් සීමා නොවී ඒ අයට අවශ්‍ය  සමාජීය පුහුණුව, ලබාදීමටද තෝ තැන්නක් ලෙස ක්‍රියා කරනු ලබයි. විශේෂයෙන් වතුකරයේ ජනතාව අතර විශාල ගැටලුවක්ව පවතින ලබා ගන්නා ආදායමෙන් වැඩි කොටසක් බීමත් කමට වැය කිරීම දැකිය හැකිවේ. මේ හේතුව මත බීමත් ජන කොටස් ඉන් වලක්වාලීමේ සමාජ සත්කාරක කාර්ය ද මෙම මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ. එමෙන් ම වතු කාන්තාවන් අතර ඉතිරි කිරීමේ හැකියාව බල ගැන්වීම,
     
    plantation9
     
     
     
     
    වතු දරුවන්ගේ සුබසාධනය නැංවීම ඇතුළු සමාජීය කාර්ය භාර රැසක් ප්‍රජා ශක්ති මධ්‍යස්ථාව හරහා සිදු කෙරේ. මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙනුයේ තරුණ තරුණියන්ගේ ස්වයං බැඳීම මතයි. සෑම ප්‍රජා ශක්ති මධ්‍යස්ථානයක් ම විශාල තරුණ පිරිසක් සමඟ ඒකාබද්ධව පැවතීම විශේෂත්වයකි. මෙම  සෑම ප්‍රජා ශක්ති මධ්‍යස්ථානයක් ම සම්බන්ධ කර ගනිමින් සමූපකාර සමිති පිහිටුවා ඇත. ඒ සෑම සමුපකාර සමිතියකම සාමාජිකයේ තරුණයෝ ය. සමුපකාර සමිති ශාඛා 44ක් ප්‍රජාශක්ති මධ්‍යස්ථාන 44 වටා ක්‍රියාත්මක වේ. මෙම සමුපකාර සමිති 44 එක් කර නිර්මාණය කෙරුණ තනි සමිතිය තරුණ අභිවෘද්ධි සමුපකාර සමිතිය ලෙස හැදින්වේ.
     
     
     මෙම සමිති හරහා ක්‍රියාත්මක වැඩසටහන්වලට අමතරව  නව ශක්ති යනුවෙන් හැඳින්වෙන දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මේ මගින් තරුණයන් ස්වයං රැකියා සඳහා මෙන්ම  ව්‍යවසාය සඳහා පුහුණු කිරීම හා ඒ අයට ආධාර කිරීම සිදු කෙරේ. ඒ හරහාද බැංකු ණය ක්‍රමයක් ක්‍රියාත්මක වේ.  ඉදිරියේදී ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන හරහා වතුවල පවතින ඇතැම් ඉදිකිරීම් සහිත කොන්ත්‍රාත් වැඩ වතුකරයේ තරුණයන්ට ම ලබාදීමටද අමාත්‍යාංශය මගින් පියවර ගෙන ඇත.  මේ මගින් වතුකරයෙන් පිටට ඇදී යන මුදල් වතුකරයේ තරුණයන්ගේ දෑත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ම යොදා ගැනීම අපේක්ෂා කෙරේ. මෙහි අවසාන අරමුණ ලෙස වතුකරයේ තරණ තරුණියන් බල ගැන්වීම අපේක්ෂා කෙරේ. 
     
     
    තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා නැංවීම අපේක්ෂා කර ගනිමින් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය  හැටන් පාදක කර ගනිමින් ආරම්භ කර ඇත. මේ හරහා වසරකට විවිධ ආකාරයේ (මෝටර් කාර්මික, මොටර් කාර් අලුත්වැඩියාව, පරිගනක, විදුලි කාර්මික) වැනි පාඨමාලාවලට සිසුන් බඳවා ගැනීම සිදු කෙරේ. මේ ඔස්සේ වසරකට විවිධ පාඨමාලා ඔස්සේ සිසුන් 200කට පමණ පුහුණුව ලබාදේ. ඒ ඔස්සේ NVQ පුහුණුවක් ලබාදෙන අතර ම  මින් පරිගනක හැර සෙසු පාඨමාලා හදාරණු ලබන සෑම සිසුවෙකු ම  රැකියාවක් සඳහා යොමුකරවීම විශේෂත්වයකි. මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා පුහුණුව ලබන සිසුන්ට ව්‍යවසායකයින්ගෙන් පවත්නා අධික ඉල්ලුම ම මෙම පුහුණු මධ්‍යස්ථානවල පවත්නා වැදගත්කම පසක් කරවයි. මේ ඔස්සේ දැනට වතු ජනතාවගේ රැකියා ප්‍රශ්නයටද කඩිනම් විසඳුම් හිමිව ඇත.
     
     
     එමෙන් ම වතුකරයේ පාසල් ඉදිකිරීම, පාසල් අලුත්වැඩියා කර දීම, පාසල් උපකරණ ලබාදීම, වතු පාසල් සඳහා පරිගනක ලබාදීම, අ.පො.ස.(සා/පෙළ), (උ/පෙළ) සමත් සිසුන් දිරිගැන්වීම වෙනුවෙන් පරිගනක ලබාදීම යනාදී වතු අධ්‍යාපනයට සමගාමීව සිදුවන සියලු වැඩකටයුතු අමාත්‍යාංශය හරහා සිදු කෙරේ. ඒ හරහා වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය හා බල ගැන්වීම අපේක්ෂා කෙරේ. 
     
    plantation5
     
     
    වතුකරයේ ජනතාව නිරන්තරයෙන් ම තම සංස්කෘතිය සමඟ බැඳී පවතී. ඔවුන්ගේ සංස්කෘතික අංශය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් රම්බොඩ විශේෂ සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. එහි භාරත ඉන්දීය නැටුම් කලාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කර ඇති අතර, මීට සමගාමීව එම ස්ථානයේ වතු ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් විශේෂිත නැටුම් කණ්ඩායමක් ද ආරම්භ කර තිබේ.
     
     
    dance
     
    එමෙන් ම වතු ආශ්‍රිත ජනයාට ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන සම්බන්ධ කර ගනිමින් ක්‍රීඩාවට අවශ්‍ය කරන කායවර්ධන මධ්‍යස්ථාන රැසක්ද මේ වන විට ආරම්භ කර ඇත. රටේ සංවර්ධනයේ සැබෑ උරුමක්කරුවන් වන්නේ ජනතාවයි. උතුරද දකුණද මොන ජාතියේද යන්න එහිදී වැදගත් නොවනු ඇත. මහින්ද චින්තනයේ උදාර සංකල්පය අනුව යමින් තිරසාර සංවර්ධනයකට මංපෙත් විවර කර දීමට රටේ නියමුවාණන් වන මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ මේ වන විටත් ශක්තිමත් කරමින් පවතී. රටපුරා සිදුවෙන දැවැන්ත සංවර්ධනයේ සමාන ප්‍රතිලාභ සියලු ජනතාවට ලබාදීමේ එක් පියවරක් ලෙස වතු ජනතාවද ශක්තිමත් කෙරෙනු ඇත.
     
    එනූෂා බණ්ඩාර
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya