මේ වන විට ශ්‍රී ලංකාවේ වසරකට කිරි ලීටර් මිලියන 320ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරේ. කෙසේ නමුත් දේශීය පරිභෝජනයට මෙම පවතින ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පශූ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එච්.ලෙස්ලි තිසේරා මහතා පවසයි.
දේශීය වශයෙන් පරිභෝජනය සඳහා වසරකට කිරි ලීටර් මිලියන 750ක අවශ්‍යතාවක් පැවතුණ ද රට තුළ තවමත් නිෂ්පාදනය කෙරෙනුයේ 50%කටත් වඩා අඩු මට්ටමක් බව ලේකම්වරයා පෙන්වා දෙයි. 2020 යනු ශ්‍රී ලංකාවට ආශ්චර්යමත් වසරක් වනු ඇත.
2020 වසර වන විට රටේ සංවර්ධන මාවත සකස් කර අවසන් කිරීම රජයේ අරමුණ වේ. මෙහිදී පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වශයෙන් සිය අමාත්‍යාංශයටද දැවැන්ත කාර්යය භාරයක් ඉටුකිරීමට ඇති බව ලේකම්වරයා පැවසීය. මෙහිදී මෙම කාලපරිච්ඡේදය වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණු අතර එකක් වේ.
කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේදී ඉතාමත් වැදගත් වන්නේ කිරි නිෂ්පාදනයට ඉවහල් වන කිරි ගවයන් ය. එහිදී කිරි ගවයෙකුගෙන් ලබා ගන්නා කිරි ලීටර් ප්‍රමාණය ඉතාමත් වැදගත් වේ.
දැනට ලංකාවේ වැඩියෙන් ම ගම්වල ඇති කරනු ලබන කිරි ගවයන්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය කිරි ලීටර් 2ත් 3ත් අතර මට්ටමක පවතී. ඉන් ඉහළ කිරි ලීටර් ප්‍රමාණයක් ලබා ගත හැකි කිරි ගවයන් ගම්වල ඇත් නම් ඒ ඉතා අතලොස්සකි. කිරි නිෂ්පාදනය වැඩි කිරීමට නම් හොඳ වර්ගයේ හොඳ ආරයේ කිරිදෙනුන් ගොවීන් වෙත ලබාදීම ඉතාමත් වැදගත් කරුණකි. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක් දැනටමත් පශු සම්පත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා අමාත්‍යාංශය මගින් ක්‍රම දෙකක් අනුගමනය කරන බව තිසේරා මහතා පැවසීය. මින් එක් ක්‍රමයකි ඕස්ට්‍රේලියාවෙන් හොඳ වර්ගයේ කිරි ගවයන් ආනයනය කිරීම. දැනට හොඳ වර්ගයේ කිරි ගවයන් 2000ක් ලංකාවට ගෙන්වා ඇති අතර, තවත් කිරි ගවයන් 2500ක් මේ වසරේදී ගෙන ඒමට පශු සම්පත් අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇත. හොඳ වර්ගයේ සතුන් ආනයනය කොට එම සතුන් ගොවීන්ට හා ව්‍යවසායකයන්ට ලබාදීම අමාත්‍යාංශය මගින් සිදු කෙරේ.
දැනට ලංකාවට ගෙන්වන ලද කිරි ගවයන් ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB) මගින් බෝපත්තලාව, මැනිම් ෆාම් සහ ඩයගම යන ෆාම් තුන හරහා පාලනය කිරීම සිදු කෙරේ. මෙම කිරිගවයන්ගෙන් මේ වන විට ලැබී ඇති පැටවුන්ගෙන් 60%ක් පමණ ගැහැණු සතුන් වන අතර, මේ අය දැනටමත් ගොවීන්ට හා ව්‍යවසායකයින්ට ලබාදී ඇත. මෙම කිරි ගොවිපොළවල් ඔස්සේ දැනට සාමාන්‍යයෙන් දවසකට කිරි ලීටර් 21,000ක් අතර ප්‍රමණයක් ලබා ගත හැකි වීම මෙම ව්‍යාපෘතියේ ලබා ගත් ජයග්‍රහණ අතර ප්‍රධාන තැනක් ගනී.
2020දී රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට නම් දෛනිකව ලංකාව තුළ කිරි ලීටර් 10ක් වත් ලබාගත හැකි හොඳ වර්ගයේ කිරි ගවයන් 80,000ක් වත් රට තුළ සිටිය යුතු වේ.
කිරි නිෂ්පානය වැඩි කිරීමට හොඳ ආරේ කිරි දෙනුන් ලබා ගැනීම වෙනුවෙන් ම මේ වන විට කිරි ගව අභිජනන මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කර ඇත. ඒ ඔස්සේ කෘතිම සිංචන මගින් හොඳ වර්ගයේ සතුන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. දැනට රට තුළ මෙවැනි කුඩා කුඩා අභිජනන මධ්‍යස්ථාන 1000ක් ඉක්ම වූ ප්‍රමාණයක් පිහිටුවා ඇත. හොඳ වර්ගයේ කිරි ගවයන් අටක්, දහයක් පමණ ඇති ඕනෑ ම කිරි ගොවියෙකුට කිරි ගව අභිජනන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම කිරි ගොවීන් වෙත කෘතිම සිංචන පහසුකම් අමාත්‍යාංශය හරහා ලබාදේ. ඒවා භාවිත කර සතුන් අභිජනනය කර විකිණිමේ අවස්ථාව මේ හරහා කිරිගොවීන්ට හිමි වේ. මෙය හොඳ ආර්ථික ක්‍රමෝපායක්ද වනු ඇත. මෙවැනි අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන අය වෙත පශු සම්පත් අමාත්‍යාංශය මගින් මූල්‍යාධාර වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීම සිදු කෙරේ. මෙම අභිජනන මධ්‍යස්ථාන ක්‍රමය රටපුරා ඉතා සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව තිසේරා මහතා පැවසීය.
මෙම අභිජනන මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා හොඳ ආරයේ කිරි ගවයෙකුගෙන් කිරි ලීටර් 15ත් 20ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකි වේ.
දියර කිරි ප්‍රවර්ධනය කිරීම තුළින් පමණකි රට තුළට පිටි කිරි ආනයනය කිරීම නතර කළ හැක්කේ බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි. මෙහිදී ලේකම්වරයා පැවසුවේ “පිටිකිරි අපනයනය කරන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව වැනි යුරෝපීය රටවල් එකකවත් කිරිපිටි විකුණන්නේ නෑ. ඔවුන් භාවිතයට ගන්නේ දියර කිරි. පිටි කිරි හදලා අපේ වගේ රටවලට ඔවුන් එවනවා.”
මේ වන විට රජය දියර කිරිවලට ජනතාව හුරු කර වීමේ දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනු ලබයි.
දියර කිරි ප්‍රවර්ධනය කිරීමේ එක් වැඩසටහනක් ලෙස පාසල්වල සිසුන්ට දියර කිරි බීමට හුරු කිරීම හඳුන්වා දීමේ නවතම වැඩසටහන හඳුනාගත හැකි වේ. මෙම වැඩසටහන සැප්තැම්බර් 01වන දින සිට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය හා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක් ව අත්සන් කළ ගිවිසුමක් මත ක්‍රියාවට නැංවේ. මෙම වැඩසටහන යටතේ මුල් අදියර තුළ දිනකට මිලි ලීටර් 150ක දියර කිරි පැකට් 170,000ක් පාසල් 7500කට ලබාදීමට කටයුතු යොදා ඇත. පාසල්වලට කිරි සැපයීම පශු සම්පත් අමාත්‍යාංශය මගින් සිදු කරන අතර, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මගින් මේ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දීම සිදු කෙරේ. මෙම ලබාදෙන කිරි පැකට් නවීනත ම තාක්ෂණය යොදා ගනිමින් අල්ට්‍රා හීට් ටෙක්නෝ ලොජී තාක්ෂණ ක්‍රමය යටතේ සකස් කර ඇති අතර, ඒ හේතුවෙන් කිරි පැකට් ශීතකරණයේ නොතබා දින 38ක කාලයක් තබා ගැනීමේ හැකියාව පවතී. මෙවැනිම කිරි පැකට් නිෂ්පානයක් පශු සම්පත් අමාත්‍යාංශ නිෂ්පාදන අතර පවතින අතර, මේවා මාස 06ක් වැනි කාලයක් ශීතකරණයේ නොතබා තබා ගැනීමේ හැකියාව පවතී.උතුරු නැගෙනහිර පළාත්වල කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමේ අරමුණින් ලීඩර් ෆාම් නම් වැඩසටහනක් හඳුන්වා දී ඇත. කිරි නිෂ්පාදකයින්ට ඉතාමත් වැදගත් අවශ්‍යතාවකි තම සතුන්ගේ සෞඛ්‍ය හා නිරෝධතාවය. යුද්ධය හේතුවෙන් විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පැවති පශු වෛද්‍ය කාර්යාල අක්‍රීය වූ අතර, ගොඩනැගිලි විශාල වශයෙන් විනාශ විය. උතුරු වසන්තය වැඩසටහන යටතේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ නැවත ඒ පශු වෛද්‍ය කාර්යාල ස්ථාපිත කර, පශු වෛද්‍යවරු ඒවායේ සේවයට පත් කර යැවුණි. දැනට එම ප්‍රදේශවල සත්ත්ව සෞඛ්‍ය හා නිරෝධතාවට අවශ්‍ය ප්‍රධාන මූලික කටයුතු සිදු කර අවසන් බව තිසේරා මහතා පවසයි.
මීට අමතරව දියර කිරි ප්‍රවර්ධනය කිරීම, අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම හා කුකුළු පැටවුන් ඇති කිරීම වැනි අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති රැසක් දැනට ක්‍රියාත්මක වේ.
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මිල්කෝ සමාගම ගම්වල මේ වන විට කිරි ගොවි සමිති (ස්වයංපාලිත සමිති) 2500ක් පමණ ආරම්භ කර ඇත. ඒ සමිති හරහා ශීතාගාර මධ්‍යස්ථානවලට කිරි ලබා දෙන ලද අතර, එවැනි මධ්‍යස්ථාන දැනට 80ක් පමණ දිවයිනපුරා පිහිටුවා ඇත. ඒවා හරහා අඹේවෙළ, පොලොන්නරුව, දිගන කර්මාන්ත ශාලා වෙත කිරි රැගෙන ඒම සිදු කෙරේ.මිල්කෝ සමාගමේ දැනට දෛනිකව කිරි ලීටර් ලක්ෂ 2ක ධාරිතාවක් නිෂ්පාදනය කෙරේ. මෙම ප්‍රමාණය මිල්කෝ සමාගමේ නිෂ්පාදනවලට හා දියර කිරි ප්‍රවර්ධන වැඩසටහනට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ 6 දක්වා වැඩි කිරීමට දැනට මිල්කෝ සමාගම සිය කර්මාන්ත ක්‍රියාවලියම නවීකරණය කිරීමට පියවර ගෙන ඇත. දැනට ඒ සඳහා සමාගම මගින් ව්‍යාපෘති රැසක් දියත් කර පවතින බව තිසේරා මහතා පැවසීය. මෙය මහා භාණ්ඩාගාරය හරහා ලබාගත් ණය ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අඹේවෙල කර්මාන්ත ශාලාවේ දැනට පවතින ධාරිතාව තුන් ගුණයකින් වර්ධනය කිරීමටත්, දිගන හා පොලොන්නරුව යන කර්මාන්ත ශාලා දෙකේ නිෂ්පානය ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමටත් පියවර ගෙන තිබේ.
අඹේවෙල දැවැන්ත ව්‍යාපෘතියක් වන අතර, එහි වැඩකටයුතු ලබන වසරේ මැයි, ජූනි වන විට අවසන් කිරීමටත්, දිගන හා පොලොන්නරුව කර්මාන්ත ශාලා මේ වසර අවසානය වන විට අවසන් කිරීමටත් හැකි වනු ඇති බවට තිසේරා මහතා විශ්වාසය පළ කළේය.
දැනට නාරාහේන්පිට පිහිටා ඇති කර්මාන්ත ශාලාව මේ වන විට ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB) සතු බඩල්ගම පිහිටි අක්කර 50ක භූමි භාගයක ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා වසර තුනක් හතරක් ගත වන අතර, ඒ හරහා ද ඉදිරියේදී කිරි නිෂ්පාදනයට කිරි ලීටර් ලක්ෂ 04ක ධාරිතාවක් එක් කිරීමට මිල්කෝ සමාගම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ කුකුළු පාලනය ගත් කළ මේ වන විට බිත්තරවලින් රට ස්වයං පෝෂිත වී ඇත. වෛද්‍ය නිර්දේශට අනුව එක් පුද්ගලයෙකුට සතියකට අවම වශයෙන් බිත්තර තුනක් අවශ්‍ය වන අතර මෙම ප්‍රමාණය මිනිසෙකු විසින් ඒ ආකාරයෙන් ම අනුභවයට ගන්නේ නම් එම ප්‍රමාණය සපුරාලීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත් වී ඇත. එමෙන් ම කුකුළු මස්වලින්ද මේ වන විට ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත වී අවසන්ය.
කුකුළු පාලනය හා සම්බන්ධ ක්‍රියාවලිය පෞද්ගලික අංශය මගින් සිදු කෙරෙන අතර, පෞද්ගලික අංශයේ යම් යම් අවස්ථාවල ඇති වන මිල උච්ඡාවචනයන් වැළැක්වීම සඳහා යම් ආකාරයකට රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් මහවැලි සත්ත්ව නිෂ්පාදන සමාගම කුකුළු පාලනය හා නිෂ්පාදය වෙනුවෙන් එක් කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය . එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ මෙම සමාගම පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතට ගැනෙන අවස්ථාව වන විට රුපියල් මිලියන 110ක පමණ ණයක් සමාගම සතුව පැවති බවයි. ඉතා අපහසුවෙන් වුවත් මෙම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යමින් පවතින බව පෙන්වා දුන් තිසේරා මහතා පැවසුවේ, එම සමාගම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් පවා ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. ණය ගැති බව හැරුණ කළ මෙම සමාගම හොඳ නිෂ්පාදන මට්ටමක දැනට පවතී. බොයිලර් කුකුළු පැටවුන්, බිත්තර සහ බොයිලර් කුකුළු මස් සමාගම මගින් නිතිපතා නිෂ්පාදනය කෙරේ. මෙම සමාගම පවත්වාගෙන යාමෙන් හුදෙක් අපේක්ෂා කරනුයේ ලාභයකට වඩා වෙළෙඳපොළ මිල පවත්වාගෙන යාම යි. පශු සම්පත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ නිෂ්පාදනය හොඳ මට්ටමක පවතින බැවින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා කෙසේ හෝ මෙම සමාගම පවත්වාගෙන යන බවයි.
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වූ සීමාසහිත ශ්‍රී ලංකා ලිබියා, කෘෂිකාර්මික පශු සම්පත් සංවර්ධන සමාගම මෑත කාලයේදී රජය මගින් ගනු ලැබූ තීරණයකට අනුව සම්පූර්ණයෙන් ම රජයට පවරා ගනු ලැබීය. මෙය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු වු කොටස් 51% සහ ලිබියානු අරාබි රජය සතු වූ කොටස් 49%ක් සහිත ඒකාබද්ධ සමාගමක් ලෙස වසර 1981දී පිහිටුවනු ලැබූවකි. මෙහි සියලු ම කොටස් වර්තමානයේ රජය සතු වේ. එම කොටස් සියල්ල ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් මිලට ගෙන ඇත. ඒ අනුව මෙම නව සමාගම දැන් ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන සමාගම ලෙස හඳුන්වනු ලැබේ. මෙම කොටස් මිලදී ගැනීම සඳහා ලිබියානු රජයට රුපියල් මිලියන 325ක් ගෙවීමට සිදු වූ බව පශු සම්පත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. එම ගෙවීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, නව සමාගම ඉදිරි මාස දෙක තුන තුළ සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව තිසේරා මහතා පවසයි. සෑම බැංකුවක් මගින් ම කිරි ගොවීන් ශක්තිමත් කිරීම සඳහා දැනට 8% වැනි සහනදායී පොලී අනුපාත යටතේ ණය ක්‍රම හඳුන්වා දී ඇත. එය ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. මහ බැංකුව හරහා ලංකාවේ වාණිජ බැංකුවලට ණය ලබාදීමේ බලතල පවරා දී ඇති අතර, ඒ ඔස්සේ කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ණය ලබාදීම සිදු කෙරේ. රුපියල් 10,000, 15,000 සිට මිලියන 25 දක්වා මෙම ණය දීම් සිදු කෙරේ. මෙම ණය කිරි ගොවීන් ලබා ගැනීම සිදු කරනු ලබන්නේ පෞද්ගලික මට්ටමෙනි. අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන්නේ ඔවුන්ට තාක්ෂණික සහය ලබාදීම පමණක් වන අතර, කුඩා පරිමාණයේ ව්‍යාවසායකයින්ට තාක්ෂණ සහය නොමිලේ ලබා දීම සිදු කරන බව පශු සම්පත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
එනූෂා බණ්ඩාර