මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය ඒ.වී. සුරවීර අභාවය පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට

    අගෝස්තු 22, 2014

    මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ යෝජනා ආරම්භ කරමින් අද (22) සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.


    ගරු කථානායකතුමනි,


    ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු මහ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් මෙම උත්තරීතර සභාව ශෝභාවත් කරන ලද ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වූ මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේ දී ගරු සභාවට ඉදිරිපත් කරමි.


    ගම්පහ දිස්ත්‍රික්කයේ, අලුත්කුරු කෝරළයේ කොරස නම් සුන්දර ගම් පියසේ විසූ එච්.ඒ. පියදාස මහතාගේත්, එච්.ඒ. ලීලාවතී මහත්මියගේත් දයාබර පුත්‍ර රත්නයක් ලෙස අලංකාරගේ වික්ටර් සුරවීර මහතා 1930 ඔක්තෝබර් මස 12 වැනි දින මෙලොව එළිය දුටු‍වේය. කොරස රණසිංහ බෞද්ධ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසලෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේ කාගේත් ආදරය නොමඳවම දිනා ගත්  දීප්තිමත් සිසුවකු වශයෙනි.
     

    ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල ගෞරව උපාධියක් ලබාගත් සුරවීර මහතා 1954 පටන් සිය ජීවිකා වෘත්තිය වශයෙන් ගුරු සේවය තෝරා ගනිමින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත්, කොළඹ ආනන්ද විද්‍යාලයේත් ආචාර්යවරයකු ලෙස සේවය කළේය.  ලංකා විශ්වවිද්‍යාලයෙන්ම 1957 වසරේදී ශාස්ත්‍රපති උපාධියත්, 1964 වසරේදී ආචාර්ය උපාධියත් හිමිකර ගැනීමට තරම් දක්‍ෂයකු වූ එතුමා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු වශයෙන්ද, කුසලතා මත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරු පවා ලබාගනිමින් උසස් අධ්‍යාපනයේ නිරතවන දූ දරුවන් වෙනුවෙන් ඉමහත් සේවාවක් සැලසුවේය.
     

    උසස් අධ්‍යාපනයේ නියැළෙන දරුවන් වෙනුවෙන් තම සේවා කාලය කැපකළ‍ මෙම අධ්‍යාපනඥයා සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන, ශිෂ්‍යෝපදේශක, ශාස්ත්‍ර පීඨාධිපති, ලේඛකත්ව සහ සන්නිවේදන පාඨමාලා සමාරම්භක අධ්‍යක්‍ෂ, වැඩබලන උප කුලපති  හා කැලණිය විශ්වවිද්‍යාලයානුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ යනාදී විවිධ තනතුරු හොබවමින් තම උපරිම සේවාව එම ක්‍ෂේත්‍ර වෙත ලබාදුන්නේය.
     

    සීලා සුරවීර මහත්මිය සමගින් යුග දිවිය ගත කළ එතුමා ප්‍රියදර්ශිකා හෙට්ටිආරච්චි, අනුර සුරවීර, කීර්තිනී සුරවීර සහ ජයසංඛ සුරවීර නමින් රට දැයට වැඩදායී දරුවන් සිවු දෙනෙකු මෙලොවට දායාද කළේය. ඔවුන් මේ වනවිට සහය මහාචාර්ය, වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂ වැනි විවිධ තනතුරු හොබවමින් ජාතික සේවාවන්හි නියැළෙමින් එතුමාට ගෞරවයක් හිමිකර දෙයි.


    පාස‍ල් අවදියේදීම ලේඛන කලාවටද පිවිසුණු සුරවීර මහතා 1957දී තම මුල්ම කෘතිය වූ විචාර විලාසය එළිදැක්වූවේය.‍ එතැන් පටන් එතුමා අතින් සම්භාව්‍ය සාහිත්‍යය, ශිලා ලේඛන, සංස්කෘතිය, ඉතිහාසය, පෙරදිග හා අපරදිග සාහිත්‍ය විචාරය, නූතන සාහිත්‍යය යනාදී විවිධ විෂයයන් යටතේ ලියූ කෘතීන්ද, සම්භාව්‍ය ග්‍රන්ථ, ශාස්ත්‍රීය සංස්කරණ, නවකතා, කෙටිකතා, ළමා කෘති ආදී වශයෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සම්පාදනය වූ ග්‍රන්ථ සංඛ්‍යාව හැට ඉක්මවා ඇත. ඊට අමතරව ශාස්‍ත්‍රීය හා පර්යේෂණාත්මක ලිපි ගණනාවක්ද එතුමා අතින් ලියැවී ඇත.
     

    සම්මානනීය ගත් කතුවරයෙකු වූ ඒ.වී. සුරවීර මහතා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගනිමින් වෘත්තීය ජීවිතයේ අවසානය දක්වා දශක හතරකට ආසන්න කාලයක් සිය බුද්ධිමය මෙහෙවර රටට දායාද කළේය. එතුමා රචනා කළ සෑම ග්‍රන්‍ථයකින්ම පාහේ 1956 පෙරළියේ සංස්කෘතික සාරයන්, දේශපාලන හරයන් අනාගත පරපුර වෙත දායාද කිරීමටද වග බලාගෙන තිබීම වි‍ශේෂත්වයකි.
     

    විශ්වවිද්‍යාල සේවාවේ නියැළෙද්දී තමනට හිමිවන සප්ත වාර්ෂික නිවාඩු කල්දමමින් සිටි සුරවීර මහැදුරුතුමා 1968-69 අධ්‍යයන වර්ෂයේදී ආසියානු පදනම මගින් පිරිනැමූ ශිෂ්‍යත්‍වයක් ලැබ ඇමරිකාවේ අයෝවා සරසවියෙන් ජාත්‍යන්තර නිර්මාණ පාඨමාලාව සඳහා Fellow in Writing ඩිප්ලෝමාව ලබාගත්තේය.‍ පෙරළා සිය රට පැමිණි එතුමා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය නිර්මාණ පාඨමාලාවක් ආරම්භ කළේ මෙරට එම ක්‍ෂේත්‍රයෙන් ප්‍රථම වතාවට ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් පිරිනැමීමට අවස්ථාව සලසමිනි.
     

    පොදු රාජ්‍ය මණ්ඩලීය අධි ශිෂ්‍යත්වයක් යටතේ එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ සමාජයීය සාහිත්‍ය අධ්‍යයන ක්‍ෂේත්‍රයේ පර්යේෂණවල නිරත වූ සුරවීර මහතා ලන්ඩන් සරසවියේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයේ සිංහල පිළිබඳ ආරාධිත මහාචාර්යවරයා ලෙස බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පෙරදිග ලේඛන පුස්තකාලයේ පුස්කොළ පොත් අධ්‍යයනයක යෙදීමටද වාසනාව හිමිකර ගත්තේය. මේ සෑම අවස්ථාවකින්ම ලද දැනුමින් එතුමා තම රටේ දූ දරුවනගේ දැනුම වඩා වර්ධනය කරලීමට ඉමහත් වෙහෙසක් දැරූ බව නොරහසකි.
     

    වාමාංශික මත දැරූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වූ එතුමා 1994 වසරේදී අනපේක්‍ෂිත අයුරින් සරසවි සේවාවෙන් ඉවත්විය. එම වසරේදී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන එක්සත් පෙරමු‍ණ යටතේ තරගකළ සුරවීර මහතා ඉන් ජය ලබා මෙම උත්තරීතර සභාවේ අසුන් ගැනීමට වාසනාවන්තයකු විය. බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු භාරගත් එතුමා එම තනතුර තුළින් විශාල කාර්යභාරයක් ඉටුකරමින් අනාගත පරපුර වෙනුවෙන් අපේ සංස්කෘතිය රැක ගැනීමට අනුපමේය දායකත්වයක් ලබාදුන්නේය.
     

    එම කාල වකවානුව තුළ හෙළ සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් කැපවන කලාකරුවන් 150 ‍දෙනෙකු වෙත සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීම, කෞතුකාගාර පුස්තකාල සංරක්ෂණ  ව්‍යාපෘතිය ආරම්භ කිරීම, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම, ප්‍රාදේශීය මට්ටමින් සාහිත්‍ය කලා ප්‍රසාදිනී උත්සව සංවිධානය කිරීම, හටන් කාව්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, සංඛ සඟරාව ක්‍රමවත් හා විධිමත් ස්වරූපයෙන් පවත්වාගෙන යාම හා දිවයින පුරා සංස්කෘතික මධ්‍යස්ථාන ආරම්භ කිරීම වැනි කාර්යයන් රැසක් ඉටු කරලීමට එතුමාට හැකියාව ලැබිණි.
     

    2000 වසරේදී මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති වැනි තනතුරු හෙබ වූ සුරවීර මහතා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන්ද ගෞරවනීය තනතුරක් හෙබවූවේය. විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයටත්, පොදුවේ සාහිත්‍ය කලාවටත් එතුමා අතින් ඉටු වූ අමිල මෙහෙවර උදෙසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ‘සේවාර්ජිත මහාචාර්ය’ නම් වූ විශිෂ්‍ට සම්මානයත්, ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපාධියත් පිරිනමනු ලැබිණි.
     

    එක් එක් වර්ෂය තුළදී සම්පාදනය කරන ලද විවිධ සාහිත්‍ය කෘති වෙනුවෙන් පිරිනමන ලද සම්මානවලින් වැඩිම ගණනක් හිමිකර ගැනීමට සමත්කම් දැක්වූ සුරවීර මහතාගේ අගැයීමට පාත්‍ර වූ ලේඛන අතර අනුරාධපුර සංස්කෘතිය සහ රාජාවලී සංස්කරණය, හෙයියම්මාරුව, සදා මෙලෙස පුර දෙරණේ, පෑදි දියට බොර දිය සහ ගොදුරු ලොබ වැනි ග්‍රන්ථ ඉහළින්ම කැපී පෙනෙයි. එතුමාගෙන් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට සිදුවූ උසස් මෙහෙවර අගයමින් 1980දී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා අතින්  ‘කලා කීර්ති’ ජාතික සම්මානය පිරිනමන ලදී. එසේම සාහිත්‍ය උන්නතිය උදෙසා කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කරනු වස් 2008දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ‘සාහිත්‍ය රත්න’ සම්මානයද ලැබීමට එතුමා වාසනාවන්ත විය.
     

    තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් විශ්වවිද්‍යාල කටයුතු වෙනුවෙනුත්, සාහිත්‍යය වෙනුවෙනුත් කැප කරමින් ක්‍රියාකළ මහාචාර්ය සුරවීරයන්ගෙන් එකී ක්‍ෂේත්‍රයන් වෙත ප්‍රශංසනීය සේවාවක් ලැබුණි.  තමන්ගෙන් අධ්‍යාපනය ලද සිසු පරපුරට පමණක් නොව, අනාගත සිසු පරපුර වෙනුවෙන්ද ග්‍රන්ථ සම්පාදනය කරමින් එතුමා කළ මෙහෙවර සදානුස්මරණීය වේ.  එපමණකින් නොනැවතී සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද, දේශපාලනඥයකු වශයෙන්ද සුරවීර මහතා අතින් ඉටුවූ අනභිභවනීය සේවාව කිසි දිනෙක අමතක කළ නොහැකි තරම්ය.


    එවැනි උදාර මෙහෙවරක් වත්මන් පරපුරටත්, මතු පරපුරටත් ඉටු කළ ඒ උදාර සාහිත්‍යධරයා, විචාරකයා, ප්‍රවීණ දේශපාලනඥයා පවුලේ ඥාතීනට පමණක් නොව,  උගත් දරු පිරිසටද, රටවාසීනටද දැඩි වේදනාවක් ගෙන දෙමින් අවුරුදු 84ක් ආයු වළඳා 2014 ජනවාරි මස 14 වැනි දින මෙලොවින් සමුගත්තේය.


    ගරු කථානායකතුමනි,


    අධ්‍යාපනය හා සාහිත්‍යය කෙරෙහි සැමවිටම තම සේවය කැප කළ සැබෑ මානව හිතවාදියකු වූ හිටපු සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරන අතර, මෙම පාර්ලිමේන්තුවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙසට යෝජනා කර සිටිමි.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya