අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තෙත් බිම් දිනය - තීන්දු ලබා දෙන පරිසර විනිසුරු....

    පෙබරවාරි 02, 2021

    ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ.

    මෙවර ලෝක තෙත් බිම් දිනය ''Wetlands and water –තෙත්බිම් හා ජලය " යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ. සීමිත සම්පතක් වන ජලය; සුරක්ෂිතතාව සඳහා තෙත්බිම්වලින් සිදුවන අනගි මෙහෙය සිහිපත් කරමින්, තෙත්බිම්, ජලය හා අපේ ජීවිත අත්‍යන්තයෙන් එකට බැඳුණු, වෙන් කළ නොහැකි සොබා දහමේ ධර්මතාවක් බවත්, තෙත්බිම් ඇතුළු පරිසර පද්ධති හා ජල සම්පත සුරකිමින් සොබාදහමට අනුගත මානව ක්‍රියාකාරිත්වයකට යාමේ වැදගත්කමත් මෙවර තේමාව මගින් අවධාරණය කරයි.

    තෙත්බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ, තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමත්, තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව තුළ ධනාත්මක ආකල්ප ඇති කිරීමත් හා තෙත්බිම් සම්මුතියේ අරමුණු ඉටුකිරීම සඳහා ඒ ඒ රාජ්‍යයන්, ආයතන, සිවිල් සංවිධාන හා පොදු මහජනතාවගේ ක්‍රියාකාරීත්වය ගොඩ නැංවීමත් උදෙසාය.

    ස්වභාදහමේ පැවැත්මටත්, අපේ සමාජ හා ආර්ථික සංවර්ධනයටත් විවිධ සේවා සපයමින් අනගි කාර්යභාරයක් තෙත්බිම් මඟින් ඉටුකරයි. සුවිශේෂී වූ තෙත්බිම් සේවාවක් ලෙස ජලය ගබඩා කර පිරිසිදු කිරීමේ කාර්ය සිදුකරයි. ස්වභාවික දුෂක පෙරහනක් ලෙස ක්‍රියාකරමින් අපට සුරක්ෂිතව ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ජලය සපයා දෙනු ලබයි. ජලජ ජීවින්ගේ වර්ධනයටත්, අපගේ ආහාර නිෂ්පාදනයේ අංශයක් වන මිරිදිය ධිවර කර්මාන්තයේ තිරසර පැවැත්මට හා එහි දියුණුවටත් හේතු වන්නේ ද තෙත්බිම්ය. ප්‍රධාන වශයෙන් බත් ආහාරයට ගන්නා බිලියන 3.5ක ලෝක ජනතාවගේ පෝෂණය සඳහා බත සැපයෙන වී නිෂ්පාදනයට පදනම සපයන්නේ තෙත්බිම් පරිසර පද්ධතියක් වන කුඹුරු වේ.

    කෘෂිකාර්මික, ධීවර හා නාවික කටයුතු වලට යොදාගැනීමත්, ජලපෝෂක පද්ධති වීමත්, සමහර තෙත්බිම් ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාමකින් යුක්තවීමත්, භූ දර්ශනීයභාවයත්, පක්ෂි, උරඟ, ක්ෂිරපායි, මත්ස්‍ය, කෘමීන් වැනි කාණ්ඩවල විශාල සත්ව විශේෂ පැවතෙමින් ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්තවීමත් හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික මෙන්ම ඒකදේශීක සත්ව හා ශාක විශේෂ බහුලවිමත් හේතුකොටගෙන තෙත්බිම් පරිසර පද්ධති සුවිශේෂීය වැදගත්කමකින් යුක්තවන බව සඳහන් කළ යුතුය. මේ ආකාරයට ගෝලීය ආර්ථිකය තුළ වටිනා පරිසර පද්ධතියක් ලෙස තෙත්බිම්වලින් සපයන සේවාවල වටිනාකම වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 47 ක් වන බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ අපි ලෝක තෙත් බිම් දිනය සැමරීමේ දි වැඩිම අභිමානයකින් යුතුව එය සැමරිය හැකි පුරවැසියෝ බවට පත්ව සිටිමු. ඒ, 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලේකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතුවෙනි.

    ලෝකය ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර අපට නොදැනීම හරිත භූමි ඉවත් වී ඒ මත මිනිසා විසින් නිර්මාණය කරන ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. මෙය දෛනිකව සිදුවන විශාල පරිසර හානියකි. කොළඹ ද එසේ නොවන්නේ යැයි කිව නොහැකිය. නමුත් කොළඹට වැටෙන වැසි ජලයෙන් 39%ක් ම රඳවා තබා ගන්නේ නාගරිකව පිහිටි තේත බිම් මගිනි. අෙප් තෙත් බිම්ද අපේ ම ක්‍රියාකාරකම් හේතුවෙන් වැනසී යමින් තිබුණ ද තවමත් ආරක්ෂාකරගත හැකි සැලකිය යුතු ප්‍රමාණයක් අපට ඉතිරිව තිබීම ගැන සතුටු විය යුතුයි. ලොව පුරා නාගරිකව ජීවත්වන සියලු දෙනාට ඇති ගැටලුව වන්නේ නාගරිකව ඇති තෙත් බිම් විනාශ වී යාමත් සමග ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසාම නාගරික තෙත් බිම් ආරක්ෂා කිරීම කෙරෙහි අන් කවරදාටත් වඩා අවධානයක් යොමුව ඇති යුගයක ශ්‍රී ලංකාවේ අගනගරය ලොව ප්‍රථම තෙත් බිම් අගනුවර ලෙස නම්කරනු ලැබීම ඉතා වැදගත් තත්ත්වයකි.

    ලෝකයේ තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේ දී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියකට එළැශෙන ලදී. මේ වනවිට එම එකඟතාවට රටවල් 169ක් අත්සන් තබා ඇති අතර ශ්‍රී ලකාව ද එම සම්මුතිය සමග 1991 දී එක්විය. ලෝකයේ තෙත් බිම් දිනය මුලින්ම සමරනු ලැබුවේ 1997 වර්ෂයේ දී ය. මේ සඳහා පෙබරවාරි 02 වැනි දිනය යොදාගන්නා ලද්දේ රැම්සා සම්මුතිය අත්සන් කළ දිනය පෙබරවාරි 02 වූ බැවිනි.

    ශ්‍රී ලංකාවේ තෙත් බිම් ගංඟා, ඇළ දොළ, විල්ලු, මිරිදිය වගුරු මෙන්ම රට අභ්‍යන්තරයේ මිරිදිය තෙත්බිම්, මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ භූමි සහ කරදිය සහිත තෙත් බිම් හා කෘතිම තෙත් බිම්වන කුඹුරු, වැව් හා ජලාශ යනුවෙන් කොටස් තුනකට මෙරට ඇති තෙත් බිම් වර්ගීකරණය කර ඇත.

    මෙරට බිම් 6ක් රැම්සා තෙත් බිම් ලෙස නම්කර ඇත. ඒ බූන්දල ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 1990.06.15 - හෙක්ටයාර් 6210) , ආනවිලුන්දාව අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2001.08.30 - හෙක්ටයාර් 1397), මාදු ගඟ අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2003.12.11 - හෙක්ටයාර් 915), වාන්කලේ අභය භූමිය (ප්‍රකාශිත දිනය- 2010.07.12 - හෙක්ටයාර් 4839), කුමන ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 2010.10.29 - හෙක්ටයාර් 19011) ,විල්පත්තු ජාතික උද්‍යානය යි. (ප්‍රකාශිත දිනය - 2013.02.02 හෙක්ටයාර් 165800) ෙමම තෙත්බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

    "බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු ප‍්‍රදේශය ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති ස්වභාවික හෝ කෘතිම වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිහටි ඉඩම්" යනුවෙන් තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් කර ඇත.

    තෙත් බිමක් යනු ජෛව විවිධත්වයෙන් අනූණ වූ පරිසර පද්ධතියකි. එහි වැවෙන ශාක පද්ධතිය සේම ජීවත්වන සත්ත්ව ප්‍රජාව ද එයට ම ආවේණික වූ සුවිශේෂී අනුවර්ථනයන් දක්වයි.

    පරිසරවේදීන් පවසන්නේ ලෝකයේ පවතින සියලුම පරිසර පද්ධතීන් අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් පරිසර පද්ධතිය බවයි. කෙසේ වෙතත් පරිසර සමතුලිතතාවට අතිශය වැදගත්වන මෙම පරිසර පද්ධති මිනිසාගේ අවශ්‍යතා බොහොමයක් ද ඉටුකරනු ලබයි. මේ නිසාම තෙත් බිම් ආශ්‍රිතව මිනිස් ක්‍රියාකාරකම් බහුලය. එහි ප්‍රතිඵලය වන්නේ තෙත් බිම් වේගයෙන් විනාශවීමයි.

    මේ හේතුවෙන් තෙත් බිම්වල වැදගත්කම වටහාගත් පරිසර විද්‍යාඥයන්, සත්ත්ව විද්‍යාඥයන් ඇතුළු පරිසර ක්‍රියාකාරිකයන්ගෙන් නැගුණු විශාල හඬ හේතුවෙන් 1971 දී රැම්සා සම්මුතිය බිහිවිය.

    මෙවැනි සම්මුතියකට එළැඹීම සිදුවූයේ තෙත් බිම් මිනිසාට අමුතු අත්දැකීමක් නොවූව ද මිනිසාට එය සමීපවීම හේතුවෙන් ම වැනසීයාමේ තර්ජනයයි. එමෙන් ම එයින් සිදුවන සේවය ගැන නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙන් ම වේගවත් නාගරිකරණය හමුවේ පමසුවෙන් ම හා ඉක්මණින්ම විනාශ වන්නා වූ පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් වීම මෙවැනි සම්මුතියක අවශ්‍යතාව තීව්‍ර කරන්නට හේතුවිය.

    මහ වැසි ඇදහැලෙන අවස්ථාවක දී වැසි ජලය බැස යන්නේ සාමාන්‍ය ගොඩබිමට වඩා පහතින් පිහිටි තේත් බිම් වෙතය. ඒ නිසා ගංවතුර පාලනයට අතිශය වැදගත් වන්නා වූ තේත් බිම් ජලය බොහෝ කාලයක් රඳවා තබාගෙන වියළි කාලයේ දී ක්‍රමයෙන් මුදාහරී. මේ නිසාම ගංවතුර පාලනය පමණක් නොව ජල මූලාශ්‍ර ලෙස ද තෙත් බිම් අතිශය වැදගත් සේවයක් ඉටුකරයි.

    එමෙන් ම විද්‍යාඥයන් පවසන්නේ තෙත් බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්‍රමයක් ලෙසයි. තෙත් බිමක ඇති ශාක පද්ධතිය මේ කාර්යය නොපිරිහෙලා ඉටුකරනු ලැබේ. එමෙන්ම ස්වභාවික වනාන්තරයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට වඩා කාර්යක්ෂමව තෙත් බිම් පරිසර පද්ධතියකින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිට් අවශෝෂණය කරගන්නා බවයි. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් තෙත් බිම් සතුව ඇත.

    අතීතයේ පටන්ම මිනිසා මසුන් ඇල්ලීම කරන ලද්දේ කවර හෝ ආකාරයක තෙත් බිමක බැවින් මත්ස්‍ය සම්පත රැකගැනීමට මෙන්ම මිනිස් ආහාරයට මත්ස්‍ය අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ද තෙත් බිම් ඉවහල් වේ. මෙහි දී වැදගත්ම වන්නේ මසුන් සිය අභිජනන මධ්‍යස්ථාන ලෙස බොහෝ විට කලපු, කඩොලාන පරිසර පද්ධති තෝරා ගැනීමයි.

    එමෙන්ම අප අවට පරිසරයේ වෙසෙන සතුන්ගෙන් වැඩි පිරිසක් තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවති. විශේෂයෙන් ම නාගරිකව ජීවත්වන සතුන් තම ආරක්ෂාව සළසා ගන්නේ නාගරික තෙත් බිම් ආශ්‍රයෙනි.

    සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාවේ තෙත් බිම් එවැනි ආගන්තුකයන්ගේ තෝ තැන්නක් වි ඇත. වර්ෂයකට වතාවක් මෙරටට පැමිණෙන සංචාරක කුරුල්ලෝ තෙත් බිම්වල කැදලි තනා තම පැටවුන් බිහිකර ඔවුන් සමග යළ සිය වාසභූමිය වෙත පියඹා යති. එලෙස යන පැටවුන් වැඩිහිටි කුරුල්ලන් බවට පත්ව යළි පැමිණෙන්නේ ද තමන් උපත ලැබූ ස්ථානයටම බව පරිසරවේදීන් තහවුරු කර ඇත. මේ අනුව සංචාරක කරුල්ලන්ගේ තෝ තැන්නක් වූ ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලොව පුරාම වෙසෙන සතුන්ට වටිනා සම්පතකි.

    ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් සිය වාස භූමිය කරගත් තෙත් බිම් ජෛව විවිධත්වය අතින් ඉතාමත් වැදගත් ස්ථානයක් සේම සියලු ජනකොටස්වල හිත නිවන අපූරු තෝතැන්නකි. මේ නිසාම ඕනෑම තරාතිරමක සිටින සියලු ම දෙනා තෙත් බිම් ආශ්‍රිත දර්ශන නැරඹීමටත්, ඒවා අතර සැරි සැරීමටත් දක්වන්නේ මහත් ලැදියාවකි. එයින් හැඟෙන්නේ මිනිස් මනස සුවපත් කිරීමටත් විනෝදාස්වාදය සඳහාත් තෙත් බිම් වැදගත් බවයි.

    ලෝකයේ දූපත් රාජ්‍යයක් වන අපේ රටෙහි පවතින ඇළ දොළ ගංගා සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් අමුණු සංඛ්‍යාව ද අතිමහත්ය. මේ සියල්ල ජෛව විවිධත්වයෙන් අනූන වටිනා පරිසර පද්ධති බැවින් ඒ සියලු තෙත් බිම් රැකගැනීම ජාතික වගකීමකි. මෙම තෙත්බිම් පද්ධති නිසි ලෙස කළමනාකරණය කරමින් පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීම රජයේ අපේක්ෂාවවන අතර, ඒ සඳහා පොදු ජනතාවගේ සහයෝගය ද අවශ්‍යය.

    මනෝජා සමරනායක

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya