මෙවර වැඩිහිටි දිනය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් (29) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී විශේෂඥ වෛද්‍යවරු රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වර්තමානය තුළ ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි එනම් වයස්ගත ජනගහනය ප්‍රතිශතයක් ලෙස ගත්කළ 12.4%කි. ඔවුන් අප රටෙහි රිදී ආර්ථිකයට (Silver Economy) දායක වෙති. කොවිඩ් වසංගතය හමුවේ වැඩිහිටි ජනතාව ඉන් බේරා ගැනීම අප රට මුහුණපා සිටින අභියෝගයකි.
ඉදිරි වසර පහ තුළ වැඩිහිටි සෞඛ්‍ය පිළිබදව සහ ඔවුන්ගේ යහ පැවැත්ම උදෙසා අප රටෙහි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විශේෂ පියවර රැසක් ඇත. එමෙන්ම 2050 වන විට මුළු ජනගහනයෙන් වැඩිහිටි ජනගහනය 30%ක් බවට පත්වනු ඇත.
දියුණු රට වල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් දියුණු වෙමින් පවතින අප රට වැනි රට වල අවුරුදු 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් ගණන් ගැනේ. රටක ජනගහනය ප්‍රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරණය කෙරෙන අතර, උපතේ සිට වයස අවුරුදු 14 දක්වා ළමා ජනගහනය ලෙසත්, අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය ශ්‍රම බලකාය ලෙසත්, 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් සැලකෙයි.
ළමා ජනගහනය අනාගත නිෂ්පාදකයන් නියෝජනය කරයි. වර්තමානයේ සෘජුවම ආර්ථිකයට දායක වන්නන් ශ්‍රම බලකායයි. විශ්‍රාම යන වයස් වලපසුවන්නන් වියපත් ප්‍රජාවයි. වර්තමානයෙහි ළමා ජනගහනය අඩු වීමත්, වියපත් ජනගහනය ක්‍රමිකව වැඩි වීමත් දැකිය හැකිය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වීමයි.
වියපත් ජනගහනය තුළද වයස් කාණ්ඩ හදුනාගත හැකි අතර 60 – 70 වයස් කාණ්ඩය වියපත් ජනගහනයේ වැඩි පිරිසක් නියෝජනය කරයි. ඔවුන්ගේ බහුතරයක් තුළ මනා සෞඛ්‍යයක් ඇති අතර හොද කාර්යක්ෂමතාවක්ද පවතී. අන් වයස් වල වියපත් ජනගහනයට සාපේක්ෂව මොවුන් ආර්ථිකයට ඵලදායී ලෙස යොදාගත හැකි පිරිසකි. මොවුන් රටට සම්පතක් ලෙස සිතා කටයුතු කළ යුතුයි. විශ්‍රාම යාමෙන් පසු බොහෝ වැඩිහිටියන් කිරීමට දෙයක් නොමැතිව මානසික පීඩනයෙන් පසු වීම නිසා බොහෝ විට රෝගාතුර වෙයි. වියපත් ජනගහනය කාන්තාකරණය වීමද අද බොහෝවිට සුලබ තත්ත්වයකි.
එනම් කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 78ක් වන අතර, පුරුෂයින්ගේ එය වයස අවුරුදු 72 කි. ඒ හේතුවෙන් වියපත් ස්ත්‍රී ප්‍රතිශතය වැඩි අගයක් ගනී.
එමෙන්ම පුරුෂයින්ට සාපේක්ෂව ශ්‍රම බලකායට දායක වන්නේ කාන්තාවන්ගෙන් හරි අඩකි. එම හේතුව මෙන්ම වැන්දබු වීම ආදිය තුළ ඔවුන් සදහා රැකවරණය සැලසීමට සිදුවෙයි.
සීඝ්‍රයෙන් වර්ධනය වන වියපත් ජනගහනය දියුණු වෙමින් පවතින රටවල් මුහුණදෙන විශාල ගැටලුවකි. එම නිසා රටක ආර්ථිකයට ගැලපෙන සැලසුම් සකස් කළ යුතුය. වියපත් ජනගහනය ආර්ථිකයට සම්බන්ධ කරගත යුතුය. ඉන් ඔවුන්ගේ මානසිත තෘප්තිය ගොඩනැගෙනවාසේම, ආර්ථිකය ශක්තිමත් වීමට මෙන්ම නිරෝගීභාවයටද හේතු වනු ඇත. වියපත් ප්‍රජාවගේ දක්ෂතා හදුනාගනිමින් ඔවුන් රටේ ආර්ථිකයට දායක කරගැනීම තුළ ඔවුන් හට සාර්ථක ජීවිතයක් උදාකර දිය හැකිය.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති වැඩිහිටි මහා ලේකම් කාර්යාලය මගින්ද වැඩිහිටියන් වෙනුවෙන් විවිධ සේවාවන් රැසක් ඉටුකරයි. වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමද ඉන් එක් පියවරකි.
වැඩිහිටියන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට වැඩිහිටි මහා ලේකම් කාර්යාලය රුපියල් මිලියන 02ක් වෙන්කර ඇත. එමෙන්ම එහිදී ඔවුන්ට එක්වී යම් කිසි ඵලදායී ක්‍රියා වල නිරත විය හැකිය. ඔවුන්ගේ පාරම්පරික දැනුම සහ අත්කම් නිර්මාණ ආදිය සදහා වන කුසලතා වලට එහිදී ඉඩ සැලසෙයි. ඒ සදහා අවශ්‍ය උපකරණ ලබාදීමට මෙන්ම පුහුණු අවස්ථා ලබාදීමටද වැඩිහිටි ලේකම් කාර්යාලය සැදී පැහැදී සිටියි.
මේ වන විට අප රට තුළ පෞද්ගලික අංශයේ වැඩිහිටි නිවාස 300ක් පමණ ඇති අතර රජයේ වැඩිහිටි නිවාස 06ක්ද පවතී. එම වැඩිහිටි නිවාස පරීක්ෂා කර ලියාපදිංචි කර ප්‍රමිතිගත කර නියම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වැඩිහිටි ලේකම් කාර්යාලය සූදානම්ව සිටියි. ගම් මට්ටමෙන් පවත්නා වැඩිහිටි කමිටු සවිබල ගන්වමින් ඒවාට අවශ්‍ය උපකරණ සහ ස්ථාන ලබාදෙමින් කටයුතු කිරීමද ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිත කර්තව්‍යයකි. අවුරුදු 60ට වැඩි සියලු පුරවැසියන් සදහා දැනට ලබාදී ඇති යම් යම් වරප්‍රසාද වලට හිමිකම් කියනා වැඩිහිටි හැදුනුම්පත සදහා හිමිවන වරප්‍රසාද ප්‍රමාණයද ඉදිරියේදී වැඩි කිරීමට අපේක්ෂිතය.
කෝවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායමක් බවට වැඩිහිටියන් පත්වී සිටිති. අප රට තුළ පළමු ආසාදිතයන් සියදෙනාගෙන් අවුරුදු 60 – 69ත් අතර වැඩිහිටි පිරිස 11%කි. මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වැඩිහිටියන් රැකගැනීමට ඉදිරි සැලසුම් සකස් කරගත යුතුය. වැඩිහිටියන් ජංගම සම්පත් මධ්‍යස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය.
එමෙන්ම ඔවුන්ගෙන් උකහාගත හැකි දැනුම, ආකල්ප සහ අත්දැකීම් බහුලව පවතී. වැඩිහිටි හිතකාමී පරිසරයක් අප නිවෙස තුළද සකස් කර ගැනීමට සිතිය යුතු කාලයක් එළඹ ඇත.
වැඩිහිටි විය සැලසුම් කිරීම වැඩිහිටි වීමට පෙරම බොහෝම වේලාසනින් සැලසුම් කළ යුතුය. සක්‍රීය හා සෞඛ්‍යමත් වැඩිහිටි වියකට එළඹීමට බලාපොරොත්තු වන්නේ නම් වැඩිහිටි විය සැලසුම් කළ යුතුමය.
වැඩිහිටියන් අතර බහුලව පවතින සෞඛ්‍ය ගැටලු වන්නේ බෝ නොවන රෝග, මානසික ආබාධ සහ දිගුකාලීන රෝග වෙයි. එම ගැටලු මගහරවා ගැනීමට නම්, නිසි පෝෂණයක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ජීවිත කාලය පුරාම වැදගත් වෙයි.
ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් සිදුකරන ජාතික උත්සවය මෙවර ඔක්තෝම්බර් පළමුවෙනිදා සෞඛ්‍ය ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. “වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න මෙවර තේමාවයි.
මෙම අවස්ථාව සදහා ලංකාවම නියෝජනය කරමින් වැඩිහිටියන් සහභාගී වීමට නියමිත අතර එහිදී සංස්කෘතික අංග ආදී සියල්ලක්ම වැඩිහිටියන් සම්බන්ධ කරගනිමින් සිදුකිරීමට නියමිතව ඇත. වයස්ගතම අම්මා සහ වයස්ගතම තාත්තාට එහිදී උපහාර පිදීමට නියමිත අතර, වැඩිම දරුවන් සිටින මවුපියන් දසදෙනෙකුට මෙන්ම වැඩිහිටි වියපත්ම මළල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට ද උපහාර පිදෙනු ඇත.
වැඩිහිටි දිනය වෙනුවෙන් පැවැත්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය, තරුණ වැඩිහිටි හා ආබාධ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දීපා සරණජීව මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රදානී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුසී පෙරේරා මහත්මිය, තරුණ වැඩිහිටි හා ආබාධ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂිරෝමි මාදූවගේ මහත්මිය සහ වැඩිහිටි මහා ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී මධුශංඛ ලක්මාල් මහතා එක්ව සිටි අතර ඔවුන් සිය අදහස්ද දැක්වූහ. දරුවන් හට ලෝකයක් තනාදී ජීවිතයේ සැදෑ සමය විදින මෙම උත්තරීතර ප්‍රජාව වෙනුවෙන් තව තවත් මහලු නිවාස දොරටු විවර නොකරමින් ඔවුන්ගේ
අගය වටහා ගනිමින් ඔවුන් හට ජීවත් වීමට සුදුසු ආදරණීය සතුටු පවුලක් ගොඩනගමින් වැඩිහිටියන් රැකබලාගනිමු..
-පූර්ණා