අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසයයි... පියයුරු පිළිකා කලින් හදුනාගෙන ජීවිතය සුරකිමු..!  

    ඔක්තෝබර් 02, 2020

    ශ්‍රී ලංකාවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3500ක් හදුනාගැනෙයි. දිනකට හදුනාගන්නා පියයුරු පිළිකා රෝගීන් 10කි. මේ හේතුවෙන් අප රටෙහි වසරකට 700 දෙනෙකු මිය යන අතර, දිනකට දෙදෙනෙකු මිය යයි.

    කාන්තාවන් අතර බහුලම පිළිකාව මෙය වන අතර පිරිමින්ටද මෙම පිළිකාව සෑදීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් හට පියයුරු පිළිකා සෑදීමේ හැකියාව සිය ගුණයකින් වැඩිය. කාන්තාවන් හට සෑදෙන පිළිකා අතර මෙය 26%ක ප්‍රතිශතයක් වනවා. පියයුරු පිළිකාව කලින් හදුනාගැනීම තුළින් වළක්වාගැනීමේ හැකියාවක් පවතී.

    ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකමින් පියයුරු පිළිකා පිළිබද දැනුවත්කිරීම සදහා විශේෂයෙන් නම්කර ඇත. පියයුරු පිළිකා පිළිබද මාසයේදී ඒ පිළිබදව මනා ප්‍රචාරයක් ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන් අද දින (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කලින් හදුනාගමු ජීවිතය සුරකිමු යන තේමාව ඔස්සේ පියයුරු පිළිකාව පිළිබද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    තුනෙන් එකක ප්‍රමාණයක් සුවය ලබාදීම සීමා සහිත අවස්ථාවක හදුනාගැනීම නිසා තත්ත්වය බරපතල වීමේ හැකියාවක්ද ඇත. වර්තමානය වන විට පියයුරු පිළිකා කලින් හදුනාගැනීමේ ප්‍රවනතාවයක් පවතී. මෙම පියයුරු පිළිකා ඇතිවීම වයස අවුරුදු 50න් පසු ආර්තවහරණයත් සමග සිදුවන්නක් පමණක් නොවෙයි. වයස අවුරුදු 20 සිට පියයුරු පිළිකා සෑදීමේ හැකියාවක් පවතී.

    සාමාන්‍යයෙන් සෑම කාන්තාවක්ම වයස අවුරුදු 20 සිට පියයුරු පිළිකා පිළිබදව දැනුවත් විය යුතු වනවා මෙන්ම ස්වයං පියයුරු පරීක්ෂාවන්ද සිදුකරගැනීම වැදගත්. කල් ඇතුව හදුනාගැනීම තුළින් කාන්තාවන් දසදහසකට වැඩි පිරිසක් සුවය ලබා සමාජගතවී සිටිනවා.


    පියයුරු පිළිකා සෑදීම සදහා අවදානම් සාධක බලපාන අතර, එලෙස අවදානම් සාධක ඇති පුද්ගලයන් හට පියයුරු පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළයි. එනමුදු අවදානම් සාධක තිබුණු පමණින්ම රෝගය වැළදීමක් සිදු නොවන අතර එලෙස රෝගය වැළදීමට බහුවිධ සාධක බලපානවා.

    පියයුරු පිළිකා සෑදීම සදහා අවදානම් සාධක වශයෙන් කාන්තාවක් වීම, වයස (වැඩි වශයෙන් අවුරුදු 50 වයස් වල), සමහර අසාමාන්‍ය ජාන සහිතව ඉපදෙන කාන්තාවන් , පියයුරු පිළිකා සම්බන්ධව පවුලේ ඉතිහාසයක් පැවතීම, පියයුරු ඇති ප්‍රදේශයේ විකිරණ ප්‍රතිකාර ලබාදී තිබීම ආදිය හදුනාගත හැක.

    අඩු අවදානම් සාධක වශයෙන් ඊස්ට්‍රජන්, පොජෙස්ටරෝන් හෝමෝන වැඩි වශයෙන් කාන්තාවන්ට නිරාවරණය වීම, අවුරුදු 12ට පෙර ගැහැණු ළමුන් වැඩිවියට පත්වීම, අවුරුදු 55 පසුවුවද ආර්තවහරණය සිදුනොවීම, කාන්තාවන් හට ළමුන් නොමැතිකම, හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගින් දිගමට ලබාගැනීම, ආර්ථවහරණයෙන් පසු මහත් වීම, මධ්‍යසාර භාවිතය ආදිය සැලකෙයි.

    එමෙන්ම දිගු කලක් මවුකිරි දීම සහ අඛණ්ඩ ව්‍යායාම වල නිරත වීම යන කාරණා පියයුරු පිළිකා සෑදීමේ අවදානම අඩුකිරීමට හේතුකාර වෙයි. අධික ස්ථූල භාවය, ශරීර ස්කන්ධ දර්ශකයේ අගය නියමිත සීමාව ඉක්මවා යාම සහ මධ්‍යසාර හා දුම්කොළ භාවිතය ආදිය පියයුරු පිළිකා සෑදීමේ අවදානම් සාධක වුවද ඒ සියල්ල අප හට වෙනස් කරගත හැකි සාධක වෙයි. පියයුරු පිළිකා නොමැති අයට සහ එවැනි තත්ත්වයක් ඇති අයට වුවද පරීක්ෂණ කිහිපයක් මගින් කලින් හදුනාගැනීමේ හැකියාවක් පවතී. දිවයින පුරා ඇති සුවනාරී සායන සහ සුවදිරි සායන මගින් එම සේවාවන් නොමිලේ ලබාගැනීමේ පහසුකම් සලසා ඇත.

    ඉහතින් සදහන් කළ පාලනය කළ හැකි සාධක මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස ආදිය පාලනය කළ නොහැකි සාධක යටතට වැටෙයි. ස්වයං පියයුරු පරීක්ෂාවක් දින 28කින් සමන්විත කාන්තාවකගේ ඔසප් චක්‍රයෙහි 5 වන සහ 10 වන දිනය අතර සිදුකළ යුතුය.

    ලංකාව තුළ පියයුරු පිළිකාවලින් 59%ක් පළමු සහ දෙවන අදියර වලදී හදුනාගැනෙයි. එම අවස්ථා වල හදුනාගැනීමෙන් අතුරු ආබාධ හටගැනීමකින් තොරව ප්‍රතිකාර මගින් එම තත්ත්වය වළක්වා ගත හැක. එලෙස ප්‍රතිකාර කිරීමේ පහසුකම් අප රටෙහි රජයේ රෝහල් සතුව පවතී. පියයුරු පිළිකා සදහා විද්‍යානුකූල නොවන පරිදි ඉක්මණින් සුවකරන බවට සමාජයේ ඇතැම්විට රැවටිලිකාරී ජාවාරම් ඇති අතර එමගින් විශාල වශයෙන් ජනතාවගේ මුදල් නාස්තියක්ද සිදුකරයි. යම් කෙනෙකුට පියයුරු පිළිකාවක් ඇතැයි සැක කරන්නේ නම් අදාල පරීක්ෂණ සිදුකරගනිමින් එවන් ජාවාරම් වලට හසුනොවී රජයේ රෝහල් වලින් අදාල ප්‍රතිකාල ලබාගන්නා ලෙසට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව තුළදී වෛද්‍යවරුන් විශේෂයෙන් අවදාරණය කළහ.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසූරිය මහත්මිය, ජාතික පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නයනාද අල්විස් මහත්මිය, ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය ජාලිය ජයසේකර, ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනී වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ යන වෛද්‍යවරුන් සිය අදහස් දැක්වූහ.

    මෙම අවස්ථාවට සංවේදී මුහුණුවරක් එක් කරමින් ප්‍රවීණ රංගන ශිල්පී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ද පැමිණ තමා හට වැළදුණු පියයුරු පිළිකාව සහ ප්‍රතිකාර ලබාගත් ආකාරය පිළිබදව අදහස් දැක්වූ අතර, මාධ්‍යවේදිනියක් වන ක්‍රිෂාන්ති විතාරණ මහත්මියද තමා හට වැළදුණු එම රෝගී තත්ත්වය සම්බන්ධව විස්තර කරමින් සිය අත්දැකීම් බෙදාහදාගැනීමට එක්වීම විශේෂත්වයකි. ගත රුහිරු කිරට නංවා එයට අපරිමිත ස්නේහයද කැටිකර තම දරුවන්ගේ කුසගිනි නිවනා දහසක් අම්මාවරුන් සේම අසමාන ගරුත්වයෙන් සැලකෙන කාන්තාවකගේ බාහිර අලංකරනයටද දායක වන පියයුරු පිළිබද සෑම කාන්තාවක්ම වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු නොවන්නේද? එතුළින් ඔබට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවනු ඇත. එසේනම් සැලකිලිමත් වෙමින් පියයුරු පිළිකා කලින් හදුනාගෙන ජීවිතය සුරකිමු..

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya