කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන් ඔබ්බෙහි සාක්ෂර ඉගැන්වීම හා ඉගෙනීම තේමා කරමින් සැමරෙන මෙවර ජගත් සාක්ෂර දිනය වෙනත් වර්ෂවලට සාපේක්ෂ ව ලොව සියලු රටවලට සාක්ෂරතා සංවර්ධනය පිළිබඳ නව මානයන් පෙන්වා දෙමින් සිටියි.
1966 වර්ෂයේ ඔක්තෝබර් 26 දින යුනෙස්කෝ මහා සභාවේ 14 වැනි සැසියේ දී සැප්තැම්බර් 08 ජාත්‍යන්තර සාක්ෂර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. එහි අරමුණ වූයේ පුද්ගලයාට, ප්‍රජාවට, සහ විවිධ සමාජවලට සාක්ෂරතාව ලබාදීමේ වැදගත්කම ඉස්මතු කිරීමයි. සාක්ෂරතාව පුද්ගලයින්ගේ ආර්ථික, මානසික, සමාජයීය සහ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කරයි. කියැවීමට ඉගැන්වීමෙන් මිනිසුන් බලගැන්වීම ඔවුන්ගේ ජීවිත වෙනස් කළ හැකිවෙයි. අනාගත ලෝකය පරිකල්පනය කළ හැකිවෙයි. එමෙන් ම සමාජයේ හා ආර්ථික බාධාවන්ගෙන් මිදීම සඳහා නිදහස කරා යන පළමු පියවර තැබිය හැක්කේ සාක්ෂරතාවයෙනි. එය පුද්ගල හා සාමූහික වශයෙන් සංවර්ධනය සඳහා පූර්ව අවශ්‍යතාවකි. එය දුප්පත්කම හා අසමානතාව සමාජයෙන් තුරන් කරයි. ධනය නිර්මාණය කරයි. පෝෂණය හා මහජන සෞඛ්‍යය පිළිබඳ ගැටළු තුරන් කරයි. එහෙත් මේ සියල්ල වෙනුවෙන් රටක් වශයෙන් අප සාක්ෂරතා සංවර්ධන ඉලක්ක ළගාකරගතයුතුවෙයි.
මූලික සාක්ෂරතාව කියවීම හෝ ලිවීම පිළිබඳ මූලික ඉගෙනීම ඉලක්ක කරගන්නා නමුත් නූතනය වනවිට සාක්ෂරතාව පිළිබඳ සංකල්පය ඉන් ඉතා ඔබ්බෙහි පවතියි. මේ නිසා අද වනවිට එම සාම්ප්‍රදායික අර්ථදැක්වීමට සීමා නොවී, පරිගණක සාක්ෂරතාව, මූල්‍ය සාක්ෂරතාව, සංස්කෘතික සාක්ෂරතාව කාර්යබද්ධ සාක්ෂරතාව මෙන්ම මාධ්‍ය සාක්ෂරතාව, දෘශ්‍ය සාක්ෂරතාව, ඩිජිටල් සාක්ෂරතාව වැනි වෙනත් පැතිකඩ රැසකින් සාක්ෂරතාව පිළිබඳ අර්ථ ගැන්වෙයි.
පරිසර තුල්‍යතාව ආරක්ෂා කරගනිමින් මානව අවශ්‍යතා ඉටු කරගැනීමේ ක්‍රියාවලිය තුළ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ දී ඉහත සාක්ෂරතා මට්ටම් සංවර්ධනය කිරීම මානව සම්පත් සංවර්ධනයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. පාසල් දත්ත විශ්ලේෂණ හා යුනිසෙෆ් ආයතනයේ නිල වෙබ් අඩවිය විසින් පෙන්වා දෙන පරිදි 2017 වසර වනවිට ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 91.9% කි. එය 2018 වසර වනවිට 91.7%කි. 2016 වසරට සාපේක්ෂව මෙරට සාක්ෂරතාවෙහි කිසියම් අඩුවීමක් පෙන්නුම් කරයි. ඊට බලපා ඇති හේතූන් හඳුනාගනිමින් ඒ සඳහා පිළියම් යෙදීම ද නව සාක්ෂරතා මානයන් තුළින් මානව සම්පත් සංවර්ධනය කිරීම ද මෙහි දී අප වෙත පැවරෙයි.
විශේෂයෙන් 1939 අධ්‍යාපන ආඥා පනත ප්‍රකාර ව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල යටතේ ළමයින් අනිවාර්යයෙන් ම අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳ නියෝග පනවා තිබේ. ඒ අනුව අනිවාර්ය අධ්‍යාපන වයස අවුරුදු 5-14 සිට 5-16 තෙක් දීර්ඝ කිරීමට ඒ අනුව පියවර ගෙන තිබේ. එමෙන් ම ඉදිරියේ දී රජයේ ප්‍රතිපත්තිය ලෙස සැමට වසර 13ක අධ්‍යාපනයක් ලබාදීමට ද කටයුතු කෙරේ. එහෙත් තවමත් ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවෙන් තොර ලක්ෂ 12ක ළමා වැඩිහිටි ජනගහනයක් සිටියි. සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාවට නැංවෙන යම් යම් ව්‍යාපෘතීන් සහ ක්‍රියාමාර්ග බලගන්වමින් මෙම තත්ත්වයට නිසි පිළියම් යොදමින් විශේෂයෙන් ම පාසල් මට්ටමේ ප්‍රවේශ කමිටුවල කාර්යභාරය වඩාත් පුළුල් කරමින් 100% ඉලක්කය වෙත යාමට ජාතික අධ්‍යාපන පද්ධතිය හරහා ස්ථාවර විසඳුම් ලබාදීමට අප කටයුතු කළ යුතුය. මේ සඳහා ආගමික නායකයින්, විශ්‍රාමික ගුරුභවතුන්, උගතුන්, විද්වතුන් ඇතුළු සෑම පාර්ශ්වයක ම ක්‍රියාකාරී දායකත්වය ලබා දීම ජාතික යුතුකමකි. සාක්ෂරසම්පන්න සමාජයක් යනු රටක සංවර්ධනයේ ඉහළ අපේක්ෂා ඉටු කරගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය අරමුණකි.
දැනට ලෝකයේ රටවල් අතර උතුරු කොරියාව, කියුබාව, යුක්රේනය, රුසියාව, පෝලන්තය, පිලිපීනය වැනි රටවල් ඉහළ සාක්ෂර අනුපාතයක් ළඟාකරගෙන සිටින්නට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග කෙරෙහි ද අප සියුම් ව අවධානය යොමු කළ යුතුව පවතියි. සාක්ෂරතාවය යනු අධ්‍යාපනයේ ප්‍රධාන කුසලතාවකි. කෙසේ වෙතත්, සාක්ෂරතාවය මැනීම දුෂ්කර වන්නේ සාක්ෂරතාවය සංකීර්ණ බහු-මාන කුසලතාවයක් වන බැවිනි. දශක ගණනාවක් තිස්සේ බොහෝ රටවල් සාක්ෂරතාවය මනිනු ලබන්නේ ඔව් / නැත, සමීක්ෂණයක හෝ සංගණනයක එක් ප්‍රශ්නයකට ස්වයං වාර්තා කළ පිළිතුරු මගින් “ඔබට කියවීමට හා ලිවීමට හැකිද?” යනුවෙනි.මෙම ඇස්තමේන්තු සාක්ෂරතා කුසලතා පිළිබඳ මූලික ඉදිරි දර්ශනයක් සපයයි. දිගු කාලීනව අධ්‍යාපනයේ පුළුල් වෙනස්කම් පිළිබඳව අර්ථවත් යමක් ඔවුන් අපට කියයි, එහෙත් සාක්ෂරතා කුසලතා මුළුමනින්ම සංලක්ෂිත කිරීමට සහ ඉදිරියේ ඇති අභියෝග තේරුම් ගැනීමට ඒවා ප්‍රමාණවත් නොවේ.
ජනගහනය වඩාත් උගත් බවට පත්වන විට, හැකියාවන් මැනීම සඳහා අපට වඩාත් නිවැරදි උපකරණ අවශ්‍ය වේ . මිනිසුන් වැඩ සහ ජීවිතය සඳහා කුසලතා යොදන ආකාරයෙහි අර්ථවත් ලෙස හඳුනා ගැනීමට කියවීමට හා ලිවීමට හැකි දැයි ජනතාවගෙන් විමසීම ප්‍රමාණවත් නොවේ.
පරීක්ෂණ තුළින් සාක්ෂරතා කුසලතා වඩාත් නිවැරදිව මැනිය හැකි ප්‍රමිතිගත, ගැළපෙන පරිදි සාදන ලද සමීක්ෂණ උපකරණ සංවර්ධනය කිරීමට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මෑත වසරවල උත්සාහ දරා ඇත. රටවල් කිහිපයක් දැනටමත් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති නමුත් මෙම නව උපකරණ ජාත්‍යන්තරව සාක්ෂරතා අනුපාත මැනීම සහ වාර්තා කිරීම සඳහා සම්මතයක් බවට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇත.2020 වර්ෂයේ සාක්ෂරතා දිනය සැමරෙන මෙම සතිය තුළ ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමින් සාක්ෂරතා වැඩසටහන් සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කලාප, හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන්, මේ වනවිටත් දැනුවත් කර ඇති අතර, අනිවාර්ය අධ්‍යාපන වයසේ පසුවන සියලු දරුවන් විධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපනය සාක්ෂර මධ්‍යස්ථාන යටතේ අධ්‍යාපනය ලබාගැනීමට යොමු කිරීම, පාසල් යා යුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයන ළමයින්ගේ හා පාසල් අධ්‍යාපනයෙන් ගිලිහීමේ අවදානමට පත්ව සිටින ළමයින්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමට සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසලෙන් ගිලිහීමේ අවදානමට ලක්ව සිටින දරුවන් හඳුනාගනිමින් ඔවුන් පාසලේ රඳවාගැනීමට සුදුසු වැඩසටහන් සංවිධානය කිරීමට විදුහල්පතිවරුන් දැනුවත් කිරීම, දැනට සාක්ෂරතාව නොමැති තරුණ හා වැඩිහිටියන්ගේ සාක්ෂර මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් දරුවන්ගේ සහාය ඇතිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන් දැනුවත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දී තිබේ.
මූලික සාක්ෂර හැකියා සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ග වාර්ෂිකව දියත් කරන නමුත්, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මකභාවයක් වෙනුවෙන් සාක්ෂර සංවර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මේ දක්වා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව පිළිගැනීමට සිදුවන සත්‍යයකි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය උපාධි උගතුන් මිස බුද්ධිමය වෙනසකින් සමාජය දෙස විප්ලවීය කෝණයකින් බලන පුද්ගලයින් බිහිවීම වෙනුවෙන් හැඩගැසී නැත. අධ්‍යාපනයෙන් ලබාදෙන උපාධි සහ රැකියා අවස්ථා අතර ගැළපීමක් නැත. කටපාඩම් කරගත් දැනුමෙන් විභාග සමත්වන්නන් වෙනුවට නිර්මාණාත්මක චින්තනය, විශ්ලේෂණ හැකියාව, තර්කානුකූලව කටයුතු කිරීමෙහි සමත්කම් ඇති පිරිසක් රටේ අධ්‍යාපනයෙන් ගොඩනැංවිය හැකි අයුරින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් කළ යුතුව ඇත. විෂය මාලා නවීකරණය කළ යුතුව ඇත.
මෙම ජාතික අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකිරීම වෙනුවෙන් අධ්‍යාපනයේ පුළුල් විෂය පථය රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙකු ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරයෙකු පත්කර ඇත්තේ හුදෙක් අනිවාර්ය අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් ප්‍රවේශ කිරීම මගින් මූලික සාක්ෂරතා ඉලක්ක සපුරාලීම වෙනුවට නූතන වැඩලෝකය තුළ ඉල්ලා සිටින ආර්ථික සාක්ෂරතාව, මූල්‍ය සාක්ෂරතාව, මාධ්‍ය සාක්ෂරතාව, ඩිජිටල් සාක්ෂරතාව සහිත දරුපරපුරක් රට තුළ ගොඩනැංවීමේ ඉමහත් අභිලාෂයෙනි.
එතුමන්ගේ විශේෂ උපදෙස් මත අධ්‍යාපනය සම්බන්ධයෙන් වන විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය විසින් ඉදිරියේ දී ක්‍රියාවට නංවනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ද සාක්ෂරතා සංවර්ධනය පිළිබඳ නව මානයන් අධ්‍යාපන පද්ධතිය වෙත ප්‍රවේශ වනු ඇත. කොවිඩ් 19 සමගින් ලොවම අභියෝගාත්මක ව ස්වකීය අනාගත සැලසුම් සකස් කරන මේ මොහොතේ රටක් වශයෙන් අප ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් තුළ පැහැදිලි දිශානතියකට ගමන් අරඹමින් සිටින්නෙමු.
අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවධාරණය කර සිටින අයුරින් පෙරපාසල් අධ්‍යාපනයේ සිට උපාධිය දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ සෑම දරුවෙකුට ම අධ්‍යාපනය සඳහා ප්‍රවේශ අයිතිය සහිත ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීමටත් ඒ ඔස්සේ සෑම දරුවෙකුට ම තම සහජ කුසලතා ඔප්නංවා ගැනීමේ සහ රැකියා වෙළඳපොළට ගැළපෙන අධ්‍යාපනයක් වෙත යොමුවීමට ඇති අවස්ථා පුළුල් කිරීමත් වෙනුවෙන් සියලු සමාජ පාර්ශවයන්හි දායකත්වය අපේක්ෂා කරන්නෙමු.