මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතිගත ගුණාත්මක පොල්තෙල් ජනතාවට ලබාදීමට නව ජාතික ව්‍යාපෘතියක්- ගුණාත්මක පොල්තෙල් සදහා ප්‍රමිති ලාංඡනයක්..

    අගෝස්තු 27, 2020

    ගුණාත්මක නිසි ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් හදුනාගන්නේ කෙසේද යන ගැටලුව සේම අනිසි වෙළද ප්‍රචාර වලට රැවටී පොල්තෙල් වෙනුවට ආදේශක භාවිතයෙන් අපගේ සෞඛ්‍ය පිරිහෙන්නේ කෙසේද
    ආදී ගැටලු රැසකට වර්තමානය තුල මහජනතාව මුහුණපා සිටියි.


    ප්‍රමිතිගත හා ගුණාත්මක පොල්තෙල් පහසු මිලට මහජනතාවට ලබාදීමද වර්තමානයේ රජයේ අවදානයට ලක්වී ඇති කරුණකි. එම අරමුණින් වත්මන් රජය විසින් නව ජාතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
    එම ජාතික ව්‍යාපෘතිය රටට අනාවරණය කිරීම සදහා අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී සෞඛ්‍ය බලධාරීන්, පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.
    එම අවස්ථාවේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් පිළිගැනීමේ කතාව සිදුකළ අතර ඉන්පසු අනෙකුත් සම්පත් දායකයන් විසින් මෙම කර්තව්‍යය පිළිබදව පැහැදිලිකිරීම් රාශියක් සිදුකරන ලදී.
    පොල් සංවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂ (සැකසුම් සංවර්ධන) පී එදිරිමාන්න මහතා පැවසුවේ කර්මාන්තකරුවන් අතරින් නිවැරදි ලෙස පොල්තෙල් නිෂ්පාදනය කරන්නන් හදුනාගනිමින් ප්‍රමිති ලාංඡනය ලබාදීමට කටයුතු කරන බවයි.
    එළඹෙන සැප්තැම්බර් දෙවනි දිනට යෙදෙන ලෝක පොල් දිනයේදී එම ලාංඡනය එළිදැක්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. ප්‍රමිතිගත පොල්තෙල් හා පොල් සංවර්ධන අධිකාරියේ සහතික ලාංඡනය මගින් පාරිභෝගිකයා ආරක්ෂා වන අයුරු සිය කතාව තුළ පැහැදිලි කළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ තාරක විදානගමාච්චි මහතා මිනිසුන්ට ආහාරයට සුදුසු පොල්තෙල් ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
    අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ජනතාව පොල්තෙල් භාවිතයට හුරුවී සිටියහ. එම පුරුද්ද ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට බෙහෙවින් දායක වී ඇත. එහෙත් වර්තමානය තුළ හුදු ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් වෙළද ප්‍රචාරණ සිදුකරමින් පොල්තෙල් වෙනුවට ආදේශක නිෂ්පාදන අලෙවි කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් සිරුරට අහිතකර බවට මතයක් ගොඩනැගෙමින් ඇත. එම
    කරුණ සම්බන්ධයෙන් පාරිසරික සහ ආහාර සෞඛ්‍ය පිළිබද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය භානුජ විජයතිලක මහතා තාක්ෂණික සැසියක් පවත්වමින් පුළුල් විවරණයක් කළේය. එහිදී පොල්තෙල් සිරුරට හිතකර ආහාරයක් වශයෙන් කරුණු දැක්වූ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ගැඹුරු තෙලේ බැදීම සදහා හොදම තෙල් වර්ගය පොල්තෙල් බවයි.

    අප ආහාර සදහා භාවිතා කරන තෙල් ඒවායෙහි පවතින මේද අම්ල වල ස්වභාවය අනූව සංතෘප්ත මේද අම්ල පවතින තෙල් සහ අසංතෘප්ත මේද අම්ල පවතින තෙල් වශයෙන් කොටස් දෙකක් හදුනාගත හැකි වන අතර, පොල්තෙල් වල පවතිනුයේ සංතෘප්ත මේද අම්ලයි. අසංතෘප්ත මේද අම්ල වලින් හෘදයාබාධ සෑදීමේ අවදානමක් ඇතත් පොල්තෙල් වල සත්ත්ව තෙල් වලට වඩා වෙනස් ව්‍යූහයක් පවතින බැවින් පහසුවෙන් දහනයට ලක්වෙයි. ඒ හේතුවෙන් තැන්පත් වීමේ අවදානම අඩු වෙයි. පොල්තෙල් වල ඇත්තේ දිගු දාම නොව කෙටි දාමයි. එමෙන්ම එහි ඇති ලෝරික් අම්ලයට බැක්ටීරියා දිලීර ආදිය විනාශ කිරීමේ හැකියාවක් පවතී. මෙය පොල්තෙල් වල අමතර ගුණයකි.

    කිසිම තෙල් වර්ගයක් නැවත නැවත බැදීම සදහා භාවිතා කිරීම අනුමත නොකරයි. තෙල් ප්‍රධාන ශක්ති ප්‍රභවයක් වන අතර, නමුත් තෙල් වැඩිපුර ආහාර සදහා භාවිතා කළහොත් ශරීරයෙහි රුදිරනාල, අක්මාව ආදියෙහි තැන්පත් වීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකියි. අසංතෘප්ත මේදඅම්ලයද යම් පමණකට අප ශරීරයට අවශ්‍ය වෙයි. පොල්තෙල් අනවශ්‍ය ලෙස ගැනීම අනිවාර්යයෙන්ම ශරීර සෞඛ්‍යයට අහිතකර කරුණකි.
    පොල් සංවර්ධන අධිකාරියෙහි ව්‍යාපෘතිය භාර සැකසුම් සංවර්ධන නිලධාරී නිශාන්ති දිසානායක මිය පොල් සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කිරීමට නියමිත ලාංඡනය පිළිබදව පැහැදිලි කළේය. ජනපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනූව දේශීය දේ ඉහල නංවමින් පාරිභෝග්ක ජනතාවට ගුණාත්මක දෙයක් ලබාදීමේ අරමුණෙන් මෙය ක්‍රියාවට නැංවූ බවත්, මෙහිදී කර්මාන්තකරුවන් හට
    ලාංඡනය ලබාදීමේදී පොල් සංවර්ධන අධිකාරිය නියාමන කිහිපයක් පනවන බවත් නිශාන්ති මිය පැවසුවේය.
    වෙනත් තෙල් සමග මිශ්‍රවී ඇතිද, අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය සහ නිෂ්පාදන ක්‍රියාවලිය සෞඛ්‍යාරක්ෂිතද වශයෙන් පරීක්ෂණාගාර තුළ ප්‍රධාන වශයෙන් කාරණා 03ක් සලකා බලමින් ලාංඡනය ලබාදීමට කටයුතු කරන අතර, කර්මාන්තකුවාගේ ප්‍රධාන වගකීම වන්නේ සහතිකය ලබාදුන් පසු ඒ අයුරින්ම ගුණාත්මකව පිරිසිදු පොල්තෙල් ජනතාවට ලබාදීම බව නිශාන්ති මහත්මිය අවධාරණය කළේය.

    ක්‍රම ක්‍රමයෙන් කුඩාම පරිමාණයේ පවතින කර්මාන්ත පවා මෙම ප්‍රමිතිය යටතට ගෙන ඒම පොල් සංවර්ධන අධිකාරියේ අභියෝගයක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවේය. වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පැවසුවේ ප්‍රථමයෙන් බෝතල් කළ පොල්තෙල් සදහා මෙම ප්‍රමිතිගත කිරීම සිදුකරන බවයි. එමෙන්ම මෙම තරු පහ සහිත ප්‍රමිති ලාංඡනය කරුනු 05ක් සලකමින් අමිශ්‍රිත පොල්තෙල් වෙනුවෙන් ලබාදෙන බවයි.
    පුරාණයේ සිටම ශ්‍රී ලාංකිකයන් සමග විශාල සබදතාවයක් පැවැත්වූ පොල් ගස මෙන්ම ඉන් ලබාගන්නා අගනා පොල්තෙල් සාරය එදිනෙදා ගෘහ ජීවිතයේදී මෙන්ම සිංහල සංස්කෘතික කටයුතු සදහාද මහෝපකාරී වෙයි. සුභ නැකතට පොල්තෙල් පහන දැල්වීමට මෙන්ම සිංහල අලුත් අවුරුදු මේසය හැඩකිරීමට ලිපෙහි බැදෙන කොණ්ඩ කැවුම් කොකිස් ආදී කැවිලි ඉවීමටද පොල්තෙල් උපකාරී
    වෙයි. මෙලෙස අතීතයේ සිටම අපිට නැතුවම බැරි පොල්තෙල් භාවිතයේදී මින්පසු නිසි ප්‍රමිතිය පිළිබදව සහතික කරන ප්‍රමිති ලාංඡනය පිළිබද සේම අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා කිරීමට සැලකිලිමත් වෙමු.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya