ලොව වැඩි ම ජනගහනයක් සිටින කලාපය ලෙස හඳුනා ගැනෙන්නේ ආසියානු කලාපය. ලොව වැඩි වශයෙන් වායු දූෂණය වන කලාපය ලෙස හඳුනාගැනෙන්නේ ද මේ කලාපය යි. එයිනුත් ලොව දූෂිත ම වායුව ඇති නගර අතර 15න් 14ක් ම තිබෙන්නේ ඉන්දියාවේ බව යි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වායු දූෂණය සාමාන්‍ය මට්ටමට වඩා 400 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වාතයේ අන්තරායකර කාණ්ඩය ඉක්මවමින්. එම අගය චීනයේ බීජිං නුවර අගයට වඩා 7 ගුණයකින් ඉහළ යි. මේ ප්‍රදේශය වායු ගුණාත්මක දර්ශකයේ 900 ඉක්මවා ඇති බවට යි වර්තා වන්නේ. සාමාන්‍යයෙන් එහි අගය 400 වනවිට ස්වසන ආබාධ හා හෘදයාබාධ ඇතිවන බව යි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.
මීදුමක් වැනි විෂ වායු පටලයකින් නව දිල්ලිය වැසී ගොස් මිලියන 20කට අධික ජනතාවකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කාර්ය බහුල නගරයක්වන දිල්ලියේ කටයුතු මුළුමනින් ම අඩාල වෙමින් පවතින්නේ.
දිල්ලි සෞඛ්‍ය අමාත්‍ය සත්යේන්දර් ජයින් උපදෙස් දී ඇත්තේ නව දිල්ලි නගරයේ වෙසෙන්නන් උදෑසන සහ රාත්‍රී කාලයේ නිවසින් පිටත කය වෙහෙසා කරන වැඩකටයුතු වලින් වැළකිය යුතු බව යි. ජනතාවට වායු දූෂණයෙන් මිදිය හැකි මුඛ සහ නාස් පුඩු පැලදීමටත් දූෂිත ප්‍රදේශවලින් ඉවත් වීමටත් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීමටත් උපදෙස් දී තිබෙනවා.
වායු දූෂණයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ යාබද ප්‍රාන්තවල ගොවීන් සිය වගාබිම් ශුද්ධ කිරීම සඳහා පිදුරු ආදිය පුළුස්සා දැමීම බව යි. මේ තත්ත්වය මාරාන්තික මට්ටම දක්වා තවත් උග්‍රවීමට හේතුවක් වන්නේ මීට සති කිහිපයකට පෙර පැවති දීවාලි හින්දු ආගමික උත්සවය වෙනුවෙන් පුපුරුවා හරින ගිනි කෙලිවලින් කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීම. මීට අමතර ව රථවාහන වලින් පිටවන දුම්, කර්මාන්තශාලාවලින් පිටවන දුම්, ඉදිකිරීමේදී ඇවිස්සෙන දූවිලි ද හේතුවන බව යි හෙළිවී තිබෙන්නේ.
වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යාවලින් යුත් අංක සහිත වාහනවලට දිල්ලි ප්‍රාන්තයට පිවිසීමට නිශ්චිත දින ලබාදී තිබෙනවා. දිල්ලියේ සියලු පාසල් කෙටි කලකට වසා දැමීමටත් ඉදිකිරීම් කටයුතු තාවකාලික ව නවතා දැමීමටත් කටයුතු කර තිබෙනවා.
ඉන්දීය රජය විසින් වායු දූෂණය අවම කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ද ඉදිරිපත් කර අවසන්. 2024 වනවිට වායු දූෂණය 20-30%කින් අඩුවනු ඇතැ යි ඔවුන් බලාපොරොත්තු වෙනවා. වායු දූෂණයට එරෙහි ව කටයුතු කරන සැලැස්ම මගපෙන්වන ලේඛනයක් බව යි ඉන්දීය පරිසර අමාත්‍යය හර්ෂ් වර්ධන් සඳහන් කරන්නේ.
විශේෂයෙන් ම වායු දූෂණය පාලනය කිරීම සදහා සුදුසු පැළ රෝපණය කිරීම, විවිධ පරිමාණයේ කර්මාන්ත ශාලා මඟින් වායු ගෝලයට මුදා හරින වායු විමෝචනයන් නියමිත ප්‍රමිතීන්ට අනුව සිදුකිරීම, පොලිතීන් ප්ලාස්ටික් පිළිස්සීමෙන් වැළකීම, සෑම අවස්ධාවක ම අපද්‍රව්‍ය ජනනය වැළැක්වීම, කළමණාකරණයට යොමුකිරීම ආදී ක්‍රියාමාර්ගවලට අවතීරණවීම මඟින් වායු දූෂණය ඇතුළු සමස්ත අර්ථයෙන් සලකන විටදී පරිසර දූෂණය වැළැක්වීමට පියවර ගතයුතුයි. එය පුරවැසියන් වශයෙන් අප කාගේත් වගකීමක්.
මනෝජා සමරනායක