මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදාචාරසම්පන්න මැතිවරණයක අවශ්‍යතාව- විද්වත් අඳහස්

    නොවැම්බර් 01, 2019

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණයට තව ඇත්තේ දින 16කි. ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා භාර දී ඇත. මේ වන විට ඔවුන් අතුරින් අපේක්ෂකයන් ඡන්ද දායකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටිති. ඇතැම් ප්‍රචාරණ කටයුතු සදාචාරවත් නොවන බව පෙනී යන කරුණක්. සදාචාරසම්පන්න මැතිවරණයක් පවත්වන්නේ කෙසේ ද එහිදී රාජ්‍ය සේවකයන්ගේ සහ දේශපාලඥයන්ගේ කාර්යභාරය කුමක් ද යන්න සාකච්ඡා කිරීම කාලෝචිත මාතෘකාවකි. ඒ පිළිබඳ විද්වත් පිරිස් රජයේ නිල වෙබ් අඩවියට සඳහන් කළ මත කිහිපයක්...

     

    විනිවිදභාවය ඇතිකිරීම වැදගත් වෙනවා - ආචාර්ය චන්දිමා ගයත්‍රි විජේසුන්දර

    සාර්ථක මැතිවරණ ක්‍රමයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා මුදල් "නියමාකාරයෙන් නියාමනය" සිදුවිය යුතුයි. එමෙන් ම විනිවිදභාවය සහ නියාමනය මගින් මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ ව විශ්වසනීයත්වය ඉහළ යයි. දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, සහ එක් එක් අපේක්ෂකයා මැතිවරණයක් සඳහා වියදම් කරන මුදල් නියාමනය කිරීම සහ ලැබෙන මුදල් පරිත්‍යාග පිළිබඳ ව විනිවිදභාවය ඇති කිරීම වැදගත් කාරණාවකි.

    එහෙත් මැතිවරණ සමයක මුදල් අවභාවිත කිරීම මෙරට දේශපාලන සංස්කෘතිය තුළ සාමාන්‍යකරණය වී ඇත. මෙය ලංකාවේ ජාතික පෞරුෂය පෙන්වන අංගයක් බවට පත්වෙමින් පවතියි. රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධ ව රාජ්‍ය අංශයේ පාලක පංතිය වගකිව යුතුයි.

    මැතිවරණ සමයක රාජ්‍ය දේපල අවභාවිත කිරීම සහ ප්‍රචන්ඩකාරී තත්ත්වයන් උද්ගත වන්නේ විනිවිධ බවක් නොමැති ක්‍රියාකාරකම් හේතුවෙනි. රාජ්‍යක පාලන කාලයක් තුළදී පාක්ෂිකයන් සහ නිර්පාක්ෂිකයන් ආරක්ෂා කිරීම වගකීම විය යුතුයි. එහෙත් රටක සංවර්ධනයට සහ සාමාන්‍යය පුද්ගලයන්ට ලබාදෙන ආදර්ශය ගතහොත් අසාර්ථක, අවිශ්වාස මෙන් ම විනිවිද බවක් නොමැති ක්‍රියාදාමයක් ලෙස හඳුනාගත හැකියි. රජ්‍යයක පාලන කාලය තුළදී ඔවුන්ගේ ආවරණය ආරක්ෂාවීම සහ යහපාලනය පැවතිය යුත්තේ තමන්ගේ පාක්ෂිකයන්ට පමණක් නොවේ. විරුද්ධ පාක්ෂිකයන්ටත් නිර්පාක්ෂිකයන්ටත් එකහා සමානවයි.

    එහෙත් රාජ්‍ය දේපල අවභාවිත කර මැතිවරණ සමයක ඡන්දයට පොළඹවන සුළු ක්‍රියාකාරකම් පාලන පංතිය විසින් සිදුවන විට එය අසාර්ථක ක්‍රමවේදයක් බවට පත්වෙනවා. එහිදී තම පක්ෂවලට ගැති පුද්ගලයන්ට පමණක් කටයුතු ලබාදීම අසාධාරණයක්. මෙය කණගාටුදායක තත්වයක්. මෙහිදී බොහෝ දුරට සිදුවන්නේ ඡන්ද දායකයින්ගේ ඡන්ද චර්යාව කලකිරීමට පත්වී ඇතැම් විට ප්‍රචණ්ඩත්වයක් වර්ධනය වීමයි. එක් පැත්තකින් රාජ්‍ය දේපල අවභාවිත කිරීම තුළින් ඔවුන්ගේ හෙංචයියන්ගේ දේශපාලනයට තවදුරටත් පොහොර දැමීමේ ක්‍රියාදාමයක් නිර්මාණය වෙයි.

    එහිදී බලය සහිත කණ්ඩායම විසින් බලය රහිත පුද්ගල කණ්ඩායමට විවිධ වූ වාචික, කායික මෙන් ම දේපල හිංසන මෙන් ම ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කරයි. මෙම අවභාවිත කිරීම තුළ එක් පැත්තකින් රාජ්‍ය, මුදල්, දේපල, වාහන රාජ්‍යයට අයිති සියලු දේපල වැරදි ලෙස භාවිත වීමක් සිදුවෙයි. එම ක්‍රියාවලිය තුළ එක් කණ්ඩායමක් බලය අතපත් කරගන්නවා. මෙහිදී බලය නැති කණ්ඩායමට පීඩනයක් එල්ල වෙනවා. මේ දෙය බලන නිර්දේශපාලන පුද්ගලයන් කලකිරීමට පත්වෙනවා. ඔවුන් පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ශේප කරයි. මෙම කණ්ඩායම ඡන්ද ලබාදීමෙන් වැලකී සිටිමට ද කටයුතු කරයි. විකල්ප වශයෙන් ලංකාවේ පවතින තත්ත්වය මත පවතින දේශපාලන පක්ෂ, විපක්ෂ සහ තුන්වන කණ්ඩායමක් මතුවී තිබෙයි. මෙම සියලු අයගේ ක්‍රියාකාරකම් කෙරෙහි කලකිරී කිසියම් විකල්පයක් කෙරෙහි ඡන්ද දායකයා යොමු නොවී සිටීමට හැකියාවක් පවතියි. ඔවුන් නිශේෂධනීයව සිටිය හැකියි. මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්. රටක ජාතියක අනාගතය වෙනුවෙන් මෙන් ම රටේ අනාගත චර්යාවට ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙනවා.

    විශේෂයෙන් ම රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධ ව මැතිවරණ කොමිසම මෙන් ම නොයෙක් ආකාරයේ ආයතන අප රට තුළ තිබෙනවා. එහෙත් එම අයාතන අතික්‍රමණය කර කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. අවසානයේ සිදුවන්නේ මැතිවරණ නිරීක්ෂකයන් ලෙස කටයුතු කරන නිර්පාක්ෂික පිරිස් මහඇමති තනතුරු හෝ රාජ්‍ය ආයතන තුළ ලොකු තනතුරු ලැබීමයි. රාජ්‍ය දේපල අවභාවිත කිරීම එහිදී හොඳින් ම අවබෝධ වෙයි.

    ලංකාවේ දේශපාලනය කණගාටුදායක, ප්‍රතික්ෂේපිත තත්ත්වයට පත්ව ඇති බව පැහැදිලි ව හඳුනාගත හැකියි. රටේ අනාගතය සුබවාදී විය යුතුයි. ලංකාවේ පාවෙන ඡන්ද මැතිවරණයට යොමුවන අවස්ථාවේ සමාජය විසින් ඔවුන්ට ආදර්ශයක් ලබාදිය යුතුයි.

    මැතිවරණ ක්‍රියාදාමය තුළ කනස්සලු සහගත තත්ත්වය නැති කිරීමට නම් සුබවාදී තත්ත්වයක් ඇතිකිරීමට රටට ආදරය කරන රටේ අනාගත පරම්පරාවට ආදරය කරන සැබෑ මානව හිතවාදී පක්ෂයක් බිහිවිය යුතුයි. තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයෙන් තොරව තමන්ගේ ඥාති සංග්‍රහයාගේ බඩගෝස්තරය පුරවන්නේ නැතිව විශේෂයෙන් ම රටට ජාතියට ආදරය කරන අනාගතය තුළින් පොරාන්දු දේශපාලනයක් නොව ප්‍රතිපත්තිගරුක දේශපාලනයක අවශ්‍යතාව මතු වෙමින් පවතියි. එහිදී රාජ්‍ය දේපල අවභාවිතය ශුන්‍ය මට්ටමකට පත්වෙයි. එය අප සැමගේ බලාපොරොත්තුව විය යුතුයි.

     

     

    මැතිවරණයකදී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් ප්‍රමුඛ සාධකයක්- ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්

    වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මැතිවරණයකදී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් ප්‍රමුඛ සාධකයක් බවට පත්වී තිබේ. යම් අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට ඡන්ද දායකයා වෙත තම ප්‍රතිපත්ති සහ අරමුණු සම්ප්‍රේෂණය කිරීම සඳහා මූල්‍ය ශක්තිය අත්‍යාවශ්‍යය සාධකයක්. නිරන්තරයෙන් දේශපාලන කටයුතු සඳහා මුදල් අවභාවිත කිරීම මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. එමෙන් ම ජනමාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බහුල ව භාවිත වේ. එවැනි දැන්වීම් සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයවේ. නමුත් මෙම කටයුතු සඳහා මුදල් ලැබෙන්නේ කෙසේ ද කාගෙන් ද යන්න පිළිබඳ ව හෝ ලැබුණු මුදල් වියදම් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව හෙළිදරවු නොවේ. එසේම වියදම් කළමනාකරණයට හෝ වියදම් නියාමනයට පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම ගැටලු සහගත තත්වයකි.

    මහජනතාව ඉහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවෙයි. දේශපාලවයෙහි නිරතවන්නන්ට ඒ පිළිබඳ මූලික වශයෙන් අදහසක් පවති ද යන්න ගැටලුවකි. නමුත් මැතිවරණයකදී විශාල වශයෙන් මුදල් වියදම් කිරීම අත්‍යාවශ්‍ය කාරණාවක් බවට පත්වෙයි. ඒසේ වියදම් කළහොත් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලට අමතරව මහජන මුදල් ද වියදම් වෙයි. ඇතැම් අවස්ථාවලදී මේ සදහා ව්‍යාපාරික ප්‍රජාව මුදල් වියදම් කරයි. එවැනි අවස්ථාවක ප්‍රධාන වශයෙන් බලපෑමක් සිදුවන්නේ ඔවුන් බලයට පත්වීමෙන් පසුවයි. එහිදී තීන්දු තීරණ ගැනීමේදී ව්‍යාපාරිකයන්ට අනුව ක්‍රියාත්මකවීමට සිදුවෙයි. එවැනි තත්වයක් සිදුනොවුන ද මහජනතාව තුළ එවැනි මතවාද ඇතිවෙයි. මෙහිදී මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ තවද රාජ්‍ය ආයතන මීට අදාළ නීති සංස්කරණය සඳහා සැලසුම් කර ගැනීම වැදගත් වේ. වර්තමානයේ පවතින මැතිවරණ නීතිය අනුව මැතිවරණ අපේක්ෂකයන් රාජ්‍ය දේපල අවභාවිත කරන්නේ දැයි නිරීක්ෂණය කිරීම සහ එසේ කරන්නේ නම් එම කටයුතු පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ වගකීම ගෙන සිටිය යුතුය. එය පෞද්ගලික පාර්ශව මඟින් ලබා දෙනු ලබන මුදල් හෝ වෙනත් සම්පත් පාලනය කිරීමට හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි.

     

    සටහන - මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya