නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය උපමාන- විද්වත් අඳහස්...

    ඔක්තෝබර් 30, 2019

    මාධ්‍ය උපමාන- විද්වත් අඳහස්...
    මාධ්‍ය දේශපාලන අරගලයේ කොටසක් - ආචාර්ය ටියුඩර් වීරසිංහ
    සදාචාරවත් මාධ්‍ය කලාවක් අවශ්‍යයයි -ආචාර්ය දීපිකා උඩගම

    මැතිවරණ කාල වකවානුවක මාධ්‍යට විශේෂ කාර්යභාරයක් පැවරෙයි. එහිදී 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා පත් කිරීම සඳහා පනත අනුව කටයුතු කර යුතුයි. මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ මාධ්‍ය උපමාන නිසිලෙස ක්‍රියාත්මක කිරීම මාධ්‍යයේ වගකීමකි. මැතිවරණ සමයක මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාධ්‍ය උපමාන ප්‍රමාණවත්ද? ප්‍රායෝගිකද? යන කාරණය පිළිබඳ විද්වතුන් දැක්වූ අදහස් මෙහි අන්තර්ගත වේ.

     

    මාධ්‍ය දේශපාලන අරගලයේ කොටසක් - ආචාර්ය ටියුඩර් වීරසිංහ

    මැතිවරණයකදී ජනතාවගේ ජන මතය හැඩගැස්වීමට මාධ්‍ය සක්‍රීයව දායක වෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ඒ ඔවුන්ගේ මතය සහ ආකල්ප නිවැරදි ලෙස ජනතාව අතරට ගෙනයාම සඳහායි. මෙහිදී රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වශයෙන් මාධ්‍යයේ ව්‍යූහය සකස් වී ඇත . මැතිවරණ සමයක මාධ්‍ය ඉදිරිපත් කරන අදහස් සාධාරණවීමට නම් නියාමනය අවශ්‍යය වෙනවා. මෙහිදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇති කාරණා සැලකිල්ලට ගැනීම වැදගත්. ඡන්ද දායකයන් දැනුවත් කිරීම තුලනාත්මකව සිදුවිය යුතුයි. මෙය පරමාදර්ශී තත්වයකි. නමුත් මෙම පරමාදර්ශී තත්ත්වයන් උල්ලංඝනය වීම දක්නට ලැබෙනවා. එය මාධ්‍ය හා ඡන්ද අපේක්ෂකයන් ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කරුණක්. මෙය දේශපාලන බල අරගලයේ කොටසක් ලෙස හඳුනාගත හැකියි. මාධ්‍ය ද මෙයට වගකිව යුතුයි.

    මාධ්‍ය පොදු අවකාශයක් වන බැවින් සමාජයට වන අයහපත් බලපෑම් අවම කළ යුතුයි. එහිදී මාධ්‍ය නියාමනය වැදගත්. ඒ සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි. වර්තමානයේ තාක්ෂණය සංකීර්ණ වන නිසා ඒ තුළ හිදිමින් කටයුතු කිරීම තරමක් අසීරු කටයුත්තකි. එහෙත් තාක්ෂණය වර්ධනය වුවත් ඒ තුළ කටයුතු කරන්නේ විවිධ ලැදියාවන් සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස්. එහිදී පොදු ජන විඥානය වෙනස් කිරීම සඳහා මාධ්‍ය නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. තාක්ෂණය සංකීර්ණ වුවද ඒවා යම්තාක් දුරට නියාමනය කළ හැකියි. මෙහිදී මාධ්‍ය උපමාන පිළිබඳ නැවත නැවත දැනුවත් කිරීම වැදගත් වෙනවා. එහිදී විශේෂ කාර්යභාරයක් පැවරෙන්නේ මැතිවරණ කොසමාරිස් කාර්යාලයටයි.

    මාධ්‍ය උපමාන ඉක්මවා කටයුතු කරන බව පෙනී යන කරුණක්. බටහිර රටවල ද මෙම තත්ත්වය පැහැදිලිවම හඳුනාගත හැකියි. අප රට තුළ මාධ්‍ය ආයතන තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය සෘජුවම ප්‍රකාශයට පත්කරන්නේ නැහැ. ඡන්ද අපේක්ෂකයන් කොපමණ මුදලක් මැතිවරණය සඳහා වියදම් කරනවාද යන්න ප්‍රකාශ කිරීමක් සිදුවන්නේ නැහැ. එහෙත් ඡන්ද දායකයන්ට තමන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මෙය බාධාවක්.

    මැතිවරණයට ඉදිරිපත්වන පිරිස් බල අරගලය සඳහා මාධ්‍යය භාවිත කරන බවක් දැකගත හැකියි. මාධ්‍ය වාරණය කළ නොහැකි වුවද යම්තාක් දුරකට පාලනය කළ හැකියි.

    සදාචාරවත් මාධ්‍ය කලාවක් අවශ්‍යයයි -ආචාර්ය දීපිකා උඩගම

    ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මෙන් ම මැතිවරණ සමයකදී ජනතාව නිදහස්ව තීරණ ගැනීමට නම් නිදහස් අදහස් වෙළඳපොළක් තිබිය යුතුමයි.

    මාධ්‍ය වාරණය සහ මාධ්‍ය නියාමනයේ සීමාව තිබෙන්නේ කොතනද යන්න සලකා බැලීම වඩා වැදගත් වෙයි. මානව හිමිකම් කොමිෂන් සභාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ යමෙක් විමසූවිට අදහස් ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමකට ප්‍රසාරණය වී තිබෙන බව පෙනීයන කරුණකි. වර්තමාන මිනිසුන් කිසිදු වගකීමකට යටත් නොවී අදහස් ප්‍රකාශ කරයි. එමෙන් ම මාධ්‍ය නිදහස අත්පත් කර ගැනීම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස සලකයි.

    වැදගත් වන්නේ සදාචාරවත් මාධ්‍ය කලාවක් ඇතිවී ඇත්ද යන්නයි. මාධ්‍ය නිදහස ප්‍රජාවට අහිතකර ආකාරයට සිදුවෙනවා නම් නැවත සිතා බැලිය යුතු කරුණක්. මාධ්‍ය අවභාවිත වනවානම් මාධ්‍ය නිදහසින් ඵලක් නොවෙයි. මෙහිදී ඒ සඳහා විසදුම් සෙවිය යුතුයි. මාධ්‍ය උපමාන ප්‍රායෝගික ද යන්න පළමුව විමසා බැලිය යුතුයි. එහිදී දඩුවම් කිරීමට හැකියාවක් පවතින්නේ රාජ්‍ය මාධ්‍යවලට පමණක් බව නීතිමය වශයෙන් සඳහන් වෙයි. පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහා දඩුවම් පැනවීමට බලයක් නොමැතිවීම ගැටලු සහගත තත්වයකි.

    සෑම අංශයකට ම මාධ්‍ය හිමිකම් එක ලෙස වැදගත් වනවා. ස්වයං නියාමනයක් මාධ්‍ය සඳහා තිබීම වැදගත් වෙයි. නව මාධ්‍ය ජනමාධ්‍ය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් ඉදිරිපත් කිරීම වැදගත් කටයුත්තකි. හැම පක්ෂයකම ප්‍රචාරණ වියදම් ඉදිරිපත් කළ යුතුයි.

    සෑම මාධ්‍ය ආයතනයක් ම ස්වයං නියාමනයක් ඇතිකරගත යුතුවනවා මෙන්ම මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි.

    යම්කිසි නාලිකාවක් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් යම් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, එයින් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා මෙන් ම රටේ අනාගතයට විශාල බලපෑමක් වනවා. මැතිවරණ කොමිසම් සභාවට, මානව හිමිකම් කිසිම ආයතනයකට වගකීම් පවරනවා වෙනුවට ප්‍රබලව ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිය යුතුයි.

    සටහන- මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya