නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ති‍්‍රක් ”ස්මාර්ට් ශ‍්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ස්මාර්ට් ශ‍්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-08-15

    අගෝස්තු 16, 2019

    මහනුවර දිස්ති‍්‍රක් ”ස්මාර්ට් ශ‍්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ස්මාර්ට් ශ‍්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-08-15

     

    දේශපාලන ව්‍යාපාරයක වැඩසටහනක් නොවූ ජාතික වැඩසටහනක් වූ ස්මාර්ට් ශ‍්‍රී ලංකා වැඩසටහනේ තවත් අදියරක දී ඔබ හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ වැඩසටහන රජය මගින් සංවිධානය කළේ දේශපාලනඥයින් හෝ රජයේ නිලධාරීන් වෙනුවෙන් නොවෙයි, තරුණ ඔබ වෙනුවෙනුයි.

    අද ලංකාවේ ජනගහනය ලක්ෂ 220ක් විතර වෙනවා. ඒ ජනගහනයෙන් වයස අවුරුදු 16-35ත් අතර පිරිස ලක්ෂ 75ක් විතර වෙනවා. ඒ පිරිස මේ රටේ අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන උසස් අධ්‍යාපන ආදී ක්ෂෙත‍්‍රවල සිටින පිරිසයි. නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනගන්නට දියුණු සංවර්ධිත රටවල පාවිච්චි වෙන්නේ එකට බද්ධ වූ නව තාක්ෂණය හා යෞවනය යි.

    සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසෙකුගේ ආයු කාලය කොපමණද. සෞඛ්‍ය දත්ත අනුව කාන්තාවක් වයස අවුරුදු 76ක් විතර. පිරිමියෙක් 72ක් විතර. නමුත් ඔබ දන්නවා මේ රටේ වයස අවුරුදු 100 ඉක්ම වූ වාසනාවන්ත වැඩිහිටි පිරිසක් ජීවත්වෙනවා. වයස 80, 90 එහා යන පිරිසක් මේ රටේ ඉන්නවා. වයස් සීමාව දෙපැත්තටම ගණන් හදලා වයස 75 කියලා හිතුවොත් මේ 75න් ජීවිතයේ වාසනාවන්තම කාලේ තමයි ඔබේ වයස් සීමාව. මෙතන වැඩිපුරම ඉන්නේ වයස අවුරුදු 20ත් 25ත් අතර පිරිසක්. වයස අවුරුදු 75ක් ජීවත්වෙන කෙනෙක්ට යෞවනය වසර කීයක් ලැබනවාද. අවුරුදු 16 විතර වෙනකම් ළමා වයස. වයස 35න් එහාට ගියාම මැදිවියට ගිහින් වැඩිහිටියෙක් වෙනවා. එහෙමනම් ඔබේ ජීවිතයේ වාසනාවන්තම කාලය අවුරුදු 16ත් 35ත් අතර කාලය. අවුරුදු 75ක් ජීවත්වන කෙනෙක්ගේ යෞවන කාලය කොච්චරද. මැදිවිය හා වැඩිහිටි කාලය තමා ජීවිතයේ වැඩි කාලය. ඔබේ වාසනාවන්න කාලය වේගයෙන් යනවා. අවුරුදු 75ක් ජීවත්වන කෙනෙක් වුවත් අවුරුදු 19ක් විතර තමයි යෞවනය හිමිකරගෙන තියෙන්නේ. ස්මාර්ට් ශ‍්‍රී ලංකා අපි හැදුවේ ඒ තරුණයන් වෙනුවෙන්. ඒ ඔබ වෙනුවෙන් ඔබට නොයෙක් ප‍්‍රශ්න ඇති. අධ්‍යාපනය ලබන්න පහසුකම් මදි ඇති. ආර්ථික ප‍්‍රශ්න ඇති. දෙමව්පියන්ට ප‍්‍රශ්න ඇති. පවුල් ජීවිතවල ප‍්‍රශ්න ඇති. ඒ සියල්ල සමගයි ඔබ ගොඩනැගෙන්නේ. නව තාක්ෂණය සමග නව සිතුම් පැතුම් සමග නව අදහස් සමග ඔබ බලාපොරොත්තුවන සමාජයේ පුළුල් වෙනස්කම් එක්ක ඔබ වේගයෙන් ඉදිරියට යනවා.

    මගේ ජීවිතයේ මම ලබලා තියෙන්නේ කටුක අත්දැකීම්. මගේ ජීවිත කතාව ඔබ මාධ්‍ය තුළ දැකලා ඇති. කියවලා ඇති. මෙතන ඉන්න 2500කට වැඩි තරුණ දරුවන්ටත් මම මතක් කරනවා මගේ ජීවිතයේ මම කොච්චර දුෂ්කරතා වින්දද කියලා. මම අවුරුදු 19 දී උසස්පෙළ හදාරණ කොට තමයි 71 කැරැල්ල ඇතිවුණේ. එදා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි චේගුවේරා ව්‍යාපාරය. චේගුවේරා ව්‍යාපාරයට අබ පියල්ලක සම්බන්ධයක් නැතිව පාසලේ් දඟකාර ශිෂ්‍යයෙක් විදියටත් කලබලකාරී සිසුවෙක් නිසා මගේ විදුහල්පතිතුමා 71 කැරැුල්ලෙ දි මම චේගුවේරා කල්ලියේ කෙනෙක් කියලා පොලීසියට කිව්වා. මගේ මුළු ඇඟම ලේවලින් තෙත් වුණා. මට දෙන්න තියෙන වද ඔක්කොම දුන්නා. මගේ ජිවිතය අවසන් කියලා මම හිතුවා. ඉතුරුවෙලා තිබුණු ප‍්‍රාණයත් එක්ක මාව හිරගෙදරට දාලා කරුවල කාමරේ මම මාස 03ක් හිටියා. අවුරුදු එක හමාරක් මම හිරගෙදර කාමරයක් ඇතුළේ හිටියා. මඩකලපුවේ හිරගෙදර ලංකාවේ තිබුණු දරුණුම හිරගෙදරක්. නරක හිර ගෙදරක්. 71 කැරැල්ලට සම්බන්ධයි කියලා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ, අම්පාර. පොළොන්නරුව, මඩකලපුව පාසල්වල ගුරුවරු, නීතිඥයින්, වෛද්‍යවරු ඒ හිරගෙදර හිටියා. ඒ හිරගෙදර ඉන්න කාලය තුළ මම කියවපු පොත් තරම් මම මේ ජීවිත කාලය තුළ පොත් කියවලා නැහැ.

    1971 අපේ‍්‍රල් මාසේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් උසස්පෙළ ලියන්න හිටපු මම මට දුන්න වද වේදනාත් එක්ක 72 අපේ‍්‍රල් මාසේ දෑතට මාංචු දාගෙන ලේ පෙර පෙර අම්පාර උහන මහා විද්‍යාලයේ දී උසස්පෙළ ලිව්වා. ජීවිතය ගොඩනගා ගත්තේ එහෙමයි.

    මට තිබුණා හිර ගෙදර අපරාධකරුවන් එක්ක එකතුවෙන්න. පාතාලය එක්ක, නරක මිනිස්සු එක්ක එකතුවෙන්න තිබුණා. මම අද සතුටු වෙනවා හිරගෙදර ඉඳලා මම ඒ අයට එකතු වුණේ නැහැ. අපේ වයසේ ළමයි සාමාන්‍ය පෙළ ළමයි, උසස් පෙළ ළමයි, බාහිර උපාධි කරන අය, රැකියා නැති උපාධිධාරීන් විවිධ ක්ෂේත‍්‍රවල අයත් හිරගෙදර ඉදලා අපිව වර්ග කෙරුවා. අපි අපිව බෙදා ගත්තා. හිටපු ගුරුවරු අපිට උගන්වන්න පටන්ගත්තා. සාමාන්‍යපෙළ ළමයින්ට සාමාන්‍ය විෂයන්වලට ඉන්න ගුරුවරු ඉගැන්නුවා. උසස්පෙළ ළමයින්ට අම්පාර හාඩි විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් අපි වගේ අයට අවශ්‍ය අධ්‍යාපනය ලබාදුන්නා. අපි ඒ අත්දැකීමත් එක්ක නැගිට්ටා.

    මම ඔබේ වයසේ දි රස්සා ඉල්ලුම්පත‍්‍ර කීයක් අරගෙන ඒ කාලයේ ඇමතිවරු කීදෙනෙක් ළඟට මම ගිහින් තිබෙනවාද. පොළොන්නරුවේ ඒ කාලයේ හිටියා රත්න දේශප‍්‍රිය සේනානායක කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ. මම රස්සාවක් ඉල්ලගෙන වරින් වර තුන්පාරක් ගිහින් තිබෙනවා. මම රස්සාවක් නැතිව වගාකළා. කුකුල් කොටු දැම්මා. ඒ සියල්ලත් එක්කම අවස්ථා කිහිපයක රැකියා කරන්නත් ලැබුණා. සමූපකාර ක්ෂේත‍්‍රයේ රැකියා කිහිපයක් කළා. රාජ්‍ය සේවයේ පුංචි රැකියාවක් කළා. ඒ සියල්ල ජීවිතයේ ඉරණම් සහ දෛවයත් එක්ක සියලු දේට ආයුබෝවන් කියලා මම දේශපාලනයට වැටුණා.

    මම මේ කාරණා ඔබට කිව්වේ ප‍්‍රධාන වශයෙන්ම ස්මාර්ට් ශ‍්‍රී ලංකා අද ඔබව සම්බන්ධ කරන්නේ අධි තාක්ෂණයත් එක්ක, ඔබේ අතේ තිබෙන ජංගම දුරකථනය හරහා. අපිට රජයක් විදියට වගේම මේ රටේ වගකීම දරන රටේ ජනතාවගේ සේවකයෝ විදියට මට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතය ස්මාර්ට් කරන්න. ඒ සඳහා තමයි ඔබ එකතු විය යුත්තේ. ප‍්‍රධාන වශයෙන්ම තාරුණ්‍යයේ තිබිය යුතු ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, අධිෂ්ඨානශීලිභාවය, කැපවීම, අවංකකම, ඒවා තමයි ඔබේ ජීවිතය ගොඩනගාගන්න ශක්තිමත් බලවේගයන් බවට පත්වෙන්නේ. ඔබ ඒ තුළට තමයි එක්වන්න ඕන. නමුත් අද විවිධ ක්ෂේත‍්‍ර ගත්තාම අපි සතුටු වෙන දේවල් වගේම අසතුටු වෙන දේවල් කොයිතරම් තිබෙනවාද.

    මම අද ගෙදර ඉදලා උදේ එන ගමන් මට ලිපිගොනුවක් තිබුණා කියවන්න. ඒක කියවන ගමන් ඡායාරූප ගොඩක් තිබුණා. මම මෙතැනට ගෙනත් ඒ ඡායාරූප ටික පෙන්නන්නත් හිතුවා. ඒත් මං කල්පනා කළා මේ කැමරා ඉදිරියේ ඇයි ඒවා මම පෙන්වන්නේ කියලා. විශ්වවිද්‍යාල කිහිපයකම ඉතා අමානුෂිකව දෙන නවකවධ වලට ලක්වුණ දරුවන් මට එවපු ලියුම්. නිරුවතින් ඉන්න ඒ දරුවන්ගේ ඡායාරූප. නිරුවත් කරලා දෙන්න තිබෙන අමානුෂික වධ දෙන තිරිසන් ඡායාරූප. ඒ ඔබේම සහෝදරයෝ නේද. ඒ ඔබේම තාරුණ්‍යයේ අය නේද. අලූත්ම සංඛ්‍යාලේඛන අනුව විශ්වවිද්‍යාල වලට ඇතුළත්වන ළමුන්ගෙන් සියයට 20 ක් ආපසු ගෙදර එනවා. ඒ සියයට 20 න් 10ක් 12 ක් පමණ නවක වධය ඉවසන්න බැරිව ගෙදර එනවා.

    අපි කතාකරන ස්මාර්ට් ශ‍්‍රී ලංකා, අධි තාක්ෂණයත් එක්ක ලෝකය ජයගැනීම, වගේ අභියෝග ඔබ හඳුනාගත යුතු වෙනවා. ස්මාර්ටි මිනිහෙක් කියලා කියන්නේ ප‍්‍රධාන වශයෙන්ම ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, මනුස්සකම තිබෙන කෙනෙක්. තරුණයින් කියන්නේ මොන තරම් මිත‍්‍රශීලියි ද. සෙහෙහෙබරයිද.

    අධ්‍යාපනය වගේම මේ රටේ අපරාධ, පාතාල, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර, මේවත් එක්ක සමාජය අපි තේරුම්ගන්න ඕන. අලුත් සමාජ සමීක්ෂණ වාර්තාවකින් කියනවා ලංකාවේ සියයට 70 ක් විවාහ ජීවිත අසාර්ථකයි කියලා. ඒකෙනුත් යම් ප‍්‍රමාණයක් විවාහ වෙලා කෙටි කාලයකින් වෙන් වුණ ඒවා. අපි ස්මාර්ට් ම`ගපෙන්වීමක් ගැන කතාකරනකොට ඒ සියල්ල ගැන දැනුවත් වීම වැදගත්. රජයක වගකීමක් විදියට මම සළකන්නේ ඔබ සියලු දෙනාම මගේ දරුවන් විදියටයි. ජාති ආගම් භේදයකින් තොරව පොදු මිනුම් දණ්ඩකින් තමයි ඔවුන් වෙනුවෙන් වගකීම් ඉටුකරන්නේ.

    අද මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා ලක්ෂ 16 ක්. එයින් ස්මාර්ට් ශ‍්‍රී ලංකා වැඩසටහනට ආයතන 07ක් එකතු වෙනවා. මේ රටේ ප‍්‍රමුඛ සංවර්ධන බලකාය රාජ්‍ය සේවය. ඒ රාජ්‍ය සේවය වගේම රාජ්‍ය නොවන අංශ වෘත්තිය අධ්‍යාපනය තුළ, කාර්මික අංශ තුළ, විවිධ ක්ෂේත‍්‍ර තුළ සියල්ලත් එක්ක තමයි රටක් විදියට ගොඩනැගෙන්න තිබෙන්නේ.

    මම පසුගිය සතියේ ගියා කාම්බෝජයේ. එහි ජනගහනයෙන් සියයට 73 ක් තරුණ ජනගහනය. රටේ ජනගහනය මිලියන 16 යි.

    අපේ රටේ ජනගහනය මිලියන 22 ට කිට්ටුයි. කාම්බෝජයේ ලොකු ප‍්‍රශ්නයක් වැඩිහිටියෝ නැති එක. ඒකට හේතුව කාම්බෝජය ගැන කියවන ඔබ දන්නවා පොල්පොට් පාලනය 70 දශකයේ මුල කාම්බෝජයේ ලක්ෂ ගණනක් මරා දැම්මා. සියලුම උගතුන්, වෘත්තිකයින් වෙඩි තියලා මරලා දැම්මා. වැඩිහිටියෝ සියලු දෙනාම මරලා දැම්මා. දෘෂ්‍යාබාධ වලින් පෙළෙන අයත් මරලා දැම්මා. කණ්නාඩි දාන අය පොල්පොට් හැඳින්නුවේ ඒ පාලනයට විරුද්ධවන අය විදියට. පොල්පොට්ට අහුවුණා නම් කණ්නාඩි දාන මම ඇතුළු මෙතැන ඉන්න අයත් මරලා දානවා. එහෙම නායකයොත් ලෝකයේ බිහිවෙලා තිබෙනවා.

    දැන් කාම්බෝජයේ ඉන්න අගමැතිතුමා කතාකරන ගමන් මම එයාගෙන් ඇහුවේ නැහැ එයාම මට කිව්වා මම දැන් අගමැති විදියට වසර 35 ක් කියලා. මම ඇහුවා තව කීයක් ඉන්නවාද කියලා. එතකොට කිව්වා තව 10 ක් වත් ඉන්නවා කියලා. මෙහෙමත් රටවල් තිබෙනවා. ඔබේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙනවා, සමාජ සාධාරණත්වය යම් ප‍්‍රමාණයකට තිබෙනවා, ගැටලු සහ ප‍්‍රශ්න තිබෙනවා, ඒ සියල්ලත් හදාගෙන අපි හොඳ රටක් හදමු. හොඳ සමාජයක් හදමු. හොඳ පුරවැසියන් පිරිසක් හදමු.

    ස්තුතියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya