මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, සියදිවි නසාගැනීම් වැළැක්වීම පිළිබද කාර්ය සාධන බලකායේ සභාපති මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය, මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රභාත් වික්‍රම මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ තිළිණි රාජපක්ෂ මහත්මිය, සියදිවි නසාගැනීම් වැළැක්වීම පිළිබද කාර්යය සාධන බලකායේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා සහභාගී විය.
ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන්ද සියදිවි නසාගැනීම වැළැක්වීම පිළිබදව අවධානය යොමුකිරීම කාලෝචිත තත්ත්වයකි. එයට හේතුව රටක් වශයෙන් අප රටටද මෙම සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය තර්ජනයක් වී තිබීමයි. වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සිය දේශනය තුළ අප රටේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ 1995 වසරේදී මුළු ලෝකයෙන්ම පළමු ස්ථානයට සියදිවි නසාගැනීම් වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ බවයි.
එනම් 1995 වසරේදී දිනකට සියදිවි නසාගැනීම් 25ක් වාර්තා විය. මෙය ලක්ෂයකට 47ක ප්‍රවණතාවයකි. මෙම තත්ත්වය එකල බොහෝ ගැටලුකාරී තත්ත්වයක් විය. නමුත් 2018 වසර වන විට මෙය බෙහෙවින් අඩු වෙමින් දිනකට සියදිවි නසාගන්නා ප්‍රමාණය 8ක් දක්වා අඩුවී ඇත. මෙය ලක්ෂයකට 15ක ප්‍රවණතාවයකි.
මෙම සියදිවි නසාගැනීම් සදහා එකල වැඩි වශයෙන් හේතු වූයේ ගෙල වැළලා ගැනීම්, කෘමි නාශක සහ වල් නාශක ආදිය පානය කිරීමයි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් එකල රජය විසින් භයානක පළිබෝධ නාශක 04ක් තහනම් කරන ලදී. ඒ අනූව සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය 50%කින් අඩුවිය. සංඛ්‍යාලේඛණ වාර්තා වලට අනූව අප රටේ දිනකට 08 දෙනෙකු සියදිවි නසාගන්නා විට දස දෙනෙකු සියදිවි නසාගැනීමට තැත් කරයි. මෙම සියදිවි නසාගැනීම් සදහා ප්‍රධාන හේතුව වනුයේ
දුක, අභියෝග වලට මුහුණ දීමට නොහැකි වීම යන කාරණාය. පසුගිය වසර වල සියදිවි නසාගැනීම් පිළිබද අදහස් දැක්වූ මහාචාර්ය සමුද්‍රා කත්‍රි ආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ වර්ෂ එක්දහස් නවසිය හැට ගණන් වල සියදිවි නසාගැනීම් වැඩිවීමේ
ප්‍රවණතාවයක්ද, 1995 වසර වන විට එම තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඉන් පසු ක්‍රමයෙන් එය අඩුවීමක් පෙන්නුම් කල බවයි.
1995 වසරේ සියදිවි නසාගැනීම් වැඩිවීමට එක් හේතුවක් වනුයේ වගා සංග්‍රාමයත් සමග පළිබෝධ නාශක විශාල වශයෙන් අපරටට පැමිණීමත්, ඒවා නිවෙස් ආශ්‍රිතව සුලභ වීම හේතුවෙන් ආවේගශීලී තරුණ ප්‍රජාව ක්ෂණික කෝපය හේතුවෙන් සියදිවි නසාගැනීම සදහා මේවා භාවිතයට ගැනීමයි. ආවේගශීලීත්වයෙන් වැඩි ආසියාතික තරුණයින් තම තරහ පිටකර ගැනීමට, දුක පෙන්වීමට සහ තම සිත් තැවුල් තවත් කෙනෙකුට දැනවීම සදහා මෙලෙස සියදිවි නසාගැනීමට පළිබෝධ නාශක භාවිතය ඔස්සේ ඉක්මණින් පෙළඹුනද, ඇතැම් විට ඔවුන්ගේ අවසාන අරමුණ දිවියෙන් සමුගැනීමම නොවන අවස්ථාද පවතී. මෙලෙස විවිධ ඖෂධ සහ විවිධ ක්‍රම භාවිතා කරමින් ඇතමුන් සිය දිවි නසාගැනීමට පෙළඹෙන අතර, ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය භාවිතයද ඇතැම් අවස්ථා වල සියදිවි නසාගැනීම් ඉහල යාමට බලපායි. සියදිවි නසාගැනීම් බහුල වශයෙන් පවතින්නේ
තරුණයින් සහ වයස්ගත ප්‍රජාව අතරය. අප රටේ මෙන්ම දියුණු රට වලද වයස්ගත ප්‍රජාව අතරද සියදිවි නසාගැනීම දැකිය හැකිය.
කෙනෙකු සියදිවි නසාගත් අවස්ථාවක එම පුද්ගලයාට සමීප අනෙක් පාර්ශවය වෙත ඇගිල්ල දිගු කිරීම අද සමාජයේ බහුලව දැකිය හැකිය. මෙය අතිශය වැරදි ක්‍රියාවකි. එමෙන්ම මෙලෙස සිදුවන තවත් වරදක් වනුයේ සියදිවි නසාගැනීමට තැත්කල පුද්ගලයෙකුගෙන් ඇතැම් පාර්ශව වැරදි ලෙස ප්‍රශ්න කිරීමයි. එමෙන්ම රෝහල් කාර්යය මණ්ඩල විසින් මෙවැනි පුද්ගලයින්ට බැණවැදීම්, අපහාසයට ලක්කිරීම් ආදිය නිසා මොවුන්ට ජීවිතය තවත් එපා වෙන තත්ත්වයකට පත්වෙයි. මොවුන් හට
සමාජයට මුහුණ දීමට අසීරු තත්ත්වයක්ද උද්ගත වෙයි. මෙවැනි අවස්ථාවක අදාල පුද්ගලයා හට මනෝ උපදේශනයක් ලබාදීම ඉතාම වැදගත් වෙයි. ප්‍රේම සම්බන්ධතා බිදවැටීම්, මානසික රෝග ආදිය සියදිවි නසාගැනීම් සදහා ඉතා විශාල වශයෙන් හේතු වෙයි. හිතේ දුකක් ඇතිවූ අවස්ථාවක, සියදිවි නසාගැනීමට සිතුණු මොහොතක වෛද්‍යවරයෙකු වෙත එය පවසා උදවු ලබාගැනීම ඉතාම වැදගත් වෙයි.
මෙලෙස මානසිකව පීඩනයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් උපකාරක සේවය (Help Line) 1926 අංකය පැය 24ම සක්‍රීයව පවතී. මෙමගින් සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් දුරකතන ඇමතුම් ලබාගත හැකි අතර වෛද්‍යවරුන්ද සම්බන්ධ කරගත තම ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ඇමතිය හැකි සේවාවකි. මෙලෙසම 1333 අංකය මනෝ උපදේශන සේවාව ලබාගත හැකි අංකයකි. ලංකා සුමිත්‍රයෝ පදනම ඔස්සේද මෙවැනිම වූ උපදේශන සේවාවන් 0112696666 අංකය හා 0112683555 අංක ඇමතීම මගින් ලබාගැනීමේ හැකියාව පවතී.
වෛද්‍ය ප්‍රභාත් වික්‍රම මහතා සියදිවි නසාගැනීම් වාර්තාකරණය පිළිබද මාධ්‍ය හැසිරිය යුත්තේ කෙලෙසද යන්න අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම සිදුවීම් වාර්තා කිරීමේදී සිය දිවි නසාගත් ක්‍රමය විස්තර නොකළ යුතු මෙන්ම මාතෘකාව සදහාද එම ක්‍රමය නොයෙදිය යුතු බවයි. එමෙන්ම සියදිවි නසාගත් ආකාරය පෙන්වන ඡායාරූප ප්‍රදර්ශනය නොකළ යුතු වනවා සේම ඒ සදහා සරල හේතු ලබානොදිය යුතුයි. (උදා- විභාගය අසමත් වූ නිසා සිසුවා වස පානය කරයි.. ආදී වශයෙන්) එමෙන්ම සියදිවි නසාගැනීම් වැඩි වීමට මාධ්‍යයද හේතුවක් නොවී එම තත්ත්වයන් මර්දනය කිරීමෙහි ලා ක්‍රියාකිරීමට මාධ්‍යයට විශාල වගකීමක් පවතී. සියදිවි නසාගැනීම් ප්‍රහ්න වලට විසදුම් වශයෙන් හුවා දක්වමින් වාර්තාකරණයද නොකළ යුතුය. සියදිවි නසාගැනීමේ ක්‍රියාවලියට හෝ පුද්ගලයාට වීරත්වයක් නොදිය යුතුය. එමෙන්ම මියගිය පුද්ගලයාගේ නෑදෑයින්ගේ මානසික තත්ත්වය සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන ලෙස පුවත් වාර්තාකරණයට මාධ්‍ය වගබලා ගත යුතුය. කෙනෙකු සියදිවි නසාගැනීමට පෙළඹෙන්නේ ක්ෂණික දුකක්, කෝපයක්, කලකිරීමක් ඇතිවූ විටකය.
ඇතැම් අවස්ථා වල ඔවුන්ට සවන් දීමට කෙනෙකු නොසිටිය හැකිය. මෙවන් තත්ත්වයක් පිළිබදව ඔබට හැගුණහොත් මදක් නැවතී විනාඩියක් ඔවුන්ට සවන් දෙන්න. තමන්ට හැකි පමණින් ඔවුන්ගේ මනස නිරවුල් කරගැනීමට උදවු වන්න. එම කෙටි කාලය තවත් ජීවිත හානියක් වළක්වාගැනීමට හේතුවක් වෙනවා මෙන්ම මහා පුණ්‍ය කර්මයක්ද වනු ඇත.
රචනය - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.