අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කළ "වරාතැන්න - හක්කිද" සුන්දර පරිසරය

    පෙබරවාරි 14, 2019

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉකුත් වසරේදී වරාතැන්න- හක්කිද ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව පසුගියදා වරාතැන්න-හක්කිද රැකගැනීමේ අධීක්ෂණ කමිටුවක් පිහිටවූ අතර, එහි ප්‍රථම රැස්වීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී, මෙම ලිපිය ඒ වෙනුවෙනි."

    ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සමග සසදන විට මහනුවර දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිසේෂි ස්ථානයකි. ඓතිහාසිකමය වශයෙන් පවතින වටිනාකම මෙන්ම ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් දක්නට ඇති වටිනාකම් ඊට ප්‍රධානතම හේතුන්ය. එම වටිනාකම් වලට අමතරව මහනුවර වටිනාකම වැඩි කිරීමට තවත් එක් හේතුවක් වන්නේ දිස්ත්‍රික්කය පුරා ඇති කාලගුණික සහ දේශගුණික රටාවයි.

    මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙක ලංකාවේ ජීවත්වීමට සුදුසුම කාලගුණික සහ දේශගුණික රටාවන් සහිත ප්‍රදේශයන් ලෙස වැඩි දෙනෙක් පිලි ගනියි. සුන්දර හන්තාන සහ නකල්ස් කදු වැටිය නිසා මහනුවර නගරයට ඇති පාරිසරික වටිනාකමද ඉතා ඉහළය.අද්විතීය භූ ලක්ෂණ, ශ්‍රී ලංකාවට ආවේනික ශාක, ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සහ ජල පෝෂක ආදිය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පාරිසරික වටිනාකම ගැන දෙස් විදෙස්හී ප්‍රචලිතව තිබේ. එම නිසා ලංකාවට අසිරිය විදීමට පැමිණෙන විදේශිකයෙක් මහනුවරට නොපැමිණියහොත් එය විශාල අඩුපාඩුවක් ලෙස සලකනු ලබයි.

    ඒ නිසාම මහනුවර දිස්ත්‍රික්කයේ පරිසර පද්ධතිය පිළිබදවත් එය රැක ගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබදවත් නිතර නිතර කතා බහට ලක් කෙරෙයි.විශේෂයෙන්ම හන්තාන කදු වැටිය ආරක්ෂා කර ගැනීමට මීට වසර ගණනාවකටම පෙර පැවති රජයන් තීරණය කරන ලද්දේ එම අවශ්‍යතාවය පැහැදිලි වූ නිසාය. අවිධීමත්ව කෙරෙන ඉදි කිරීම් ඇතුළු පාරිසරික විනාශයන් නිසා හන්තාන කදුවැටිය නාය යෑමේ තර්ජනයකටද ලක් වුනි. හන්තාන රැක ගැනීම සදහා ගෙන ගිය අරගලයේ ප්‍රතිපලයක් ලෙස අද වන විට හන්තාන ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

    හන්තාන කදු වැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වටිනාකම ගැන වැඩි පිරිසක් දැනගෙන සිටියත් මහනුවර දිස්ත්‍රික්කයේම පිහිටා ඇති ඊට නොදෙවෙනි වටිනාකමක් ඇති වරාතැන්න හක්කිද ප්‍රදේශය පිළිබද වැඩි පිරිසක් අසා නොතිබෙනවා වන්නට පුළුවන. නමුත් මහනුවර පමණක් නොව මුළු මහත් ලංකාවේම ජනයාගේ අවධානයට ලක් විය යුතු ප්‍රදේශයක් ලෙස වරාතැන්න හක්කිද ප්‍රදේශය හැදින්විය හැකිය.

    මහනුවර කඩවත් සතර හා ගගවට කෝරලේ, හාරිස්පත්තුව සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් වරාතැන්න හක්කිද ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් හයකට අයත්වන ලෙස පිහිටා තිබේ. මහනුවර පේරාදෙණියේ දක්නට ලැබෙන මහවැලි ගග ආශ්‍රිත සංවේදී සහ සුවිසේෂි රමණිය පරිසර පද්ධතියකින් යුත් මෙම ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වය ඉතා වැදගත්ය. දූපත් විශාල සංඛ්‍යාවක් සහිතව මහවැලි ගගේ පළලම ස්ථානයත්, පටුම ස්ථානයත් එකිනෙකට ඉතාම ආසන්නව පිහිටීම මෙහි සුවිසේෂී භූ ලක්ෂණයකි.

    ලංකාවට ආවේනික ඇටඔ සහ බදුල්ල යන අවදානමට ලක්ව ඇති ශාක මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, කෙටල වැනි අවදානමට ලක් වූ ජලජ ශාකද මෙම ප්‍රදේශයේ දී දැකගත හැකිය. ගඩයා, දම් කොළ පෙතියා, ගල් පාඩියා , තල්කොස්සා සහ
    කදු අභිරාව වැනි ජලජ ජීවීන්ද දැකගැනීමට අවශ්‍ය නම් ඒ සදහා හක්කිද ප්‍රදේශයට පැමිණීමට සිදුවේ. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් වන මූකලන් කොට්ටෝරුවා, සහ මයිල ගොයා යන පක්ෂීන්ද දැක බලා ගැනීමට හෝ පර්යේෂණ කිරීමට පැමිණෙන්නේ නම් ඒ සදහාද හක්කිදටම පැමිණිය යුතුය.

     

    හක්කිද ප්‍රදේශය ඓතිහාසිකමය වශයෙන්ද ඉතා වැදගත්ය. වසර සියයකට වඩා පැරණි ලග් ළිද නම් සොරොව්වක් පිහිටීම එයින් එක් වටිනාකමකි. එමෙන්ම උඩරට අමරපුර නිකායේ වරාතැන්න සීමා මාලකය ද මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

    මෙවැනි සුවිශේෂිතාවන් නිසා පර්යේෂකයන්, විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන් සංචාරකයන් සහ කලාකරුවන් වැනි මේ ප්‍රදේශය ගැන දන්නා සැලකිය යුතු පිරිසක් මෙම වරාතැන්න හක්කිද ප්‍රදේශයට පැමිණේ.එසේ වුවත් එහි අසිරිය විදගන්නටත් පර්යේෂණ සදහාත් පැමිණෙන ඇතැම් අදූරදර්ශී පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් නිසා මෙම මනස්කාන්ත පරිසර පද්ධතිය දිනෙන් දින පිරිහීමට පත් වෙමින් තිබුනි. අනවසර ගොඩ කිරීම්, මහවැලි ගගට අප ජලය සහ අප ද්‍රව්‍ය මුදා හැරීම්, රක්ෂිත අණවසරයෙන් අල්ලා ගැනීම සහ ඉදි කිරීම් සහ අවිධිමත් පරිහරණය ඒ අතරින් ප්‍රධානය.

    වරාතැන්න හක්කිද ප්‍රදේශයට කාලාන්තරයක සිට සිදුවෙමින් යන මෙම පාරිසරික තර්ජනය ගැන රජයේ සහ වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කළ ද බොහෝ අවස්ථාවල ඒ පිළිබද එතරම් අවධානයකට යොමු නොවීම අවාසනාවකි. මේ පිළිබදව ඉකුත් වසරේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ අවධානයට යොමු වූ අතර, වහා ක්‍රියාත්මක වූ එතුමන් වරාතැන්න හක්කිද ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශක් ලෙස ගැසට් කිරීමට කටයුතු කිරීම සමස්ථ ලාංකිකයන්ගේ පමණක් නොව ලෝකයේම පරිසරවේදීන්ගේද ගෞරවාදරයට ලක් වන කරුණකි. එම ගැසට් කිරීමත් සමග 1947 අංක 47 දරණ ජාතික පාරිසරකික පනත යටතේ මෙම ප්‍රදේශයද සුවිසේෂි පාරිසරික වටිනාකමක් සහිත ආරක්ෂා කර ගත යුතු ප්‍රදේශක් බවට පත් කොට තිබේ.

    එමෙන්ම 1979 අංන 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ සදහන් විධි විධානයන්ද මෙම ප්‍රදේශයට බලපවත්වනු ලබයි. ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය අනුව යමින් ඉකුත්දා මහනුවරදී වරාතැන්න හක්කිද ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ වගකීම පරිසර අධිකාරිය වෙත පැවරී ඇති අතර, ඒ සදහා මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත් කරන ලදී. එම කමිටුව ඉකුත් දා මහනුවරදී මහනුවර දිසාපතිවරයාගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඉදිරියේදී වරාතැන්න හක්කිද ප්‍රදේශය රැක ගැනීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබදව ගැඹුරින් සාකච්ඡා කොට ඒ සදහා විශේෂ අනුකමිටුවක්ද පත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී වරාතැන්න හක්කිද ප්‍රදේශයට සෘජුව වගකීමට බැදී සිටින කණ්ඩායමක් සිටින අතර, එය රැක ගැනීමට එම කණ්ඩායමට දැඩි වගකීමක්ද පැවරී තිබේ. මෙතෙක් කාලයක් නොසලකා හරින ලද වරාතැන්න හක්කිද ප්‍රදේශය රැක ගැනීමට ජනාධිපතිතුමන් දරණ ලද ප්‍රයත්නය කාගේත් ප්‍රසංශාවට ලක්විය යුතුය.පාරිසරකමය වශයෙන් සුවිසේෂී වූ සමස්ත ලෝකයටම වටිනා මහනුවර

    වැසියන්ට ආඩම්බරයක් වූ මේ පාරාදීසය ඉදිරි පරපුරටත් රැක ගැනීමට ඔබ සැමගේ සහයෝගයද ඉතා වැදගත්ය. ඔබ මෙම පරිසරයට පැමිණෙන්නේ නම් ඔබගේ ඉදිරි පරපුරටත් මෙම සුන්දර පාරිසරික අසිරිය විද ගැනීමට ඉඩ දීම ඔබ සතු යුතුකමක් නොවන්නේද?

     

    මනෝෂිකා හේරත්, මහනුවර - මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya