මෙහෙම කියනකොට හැමෝටම හිතෙනවා ඇත්තේ අපි විනෝද ගමනක් යනවා කියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හන්තාන කන්ද නැගලා සිරි නරඹන්න යනවා කියලා හිතෙන්නත් බැරි නෑ. ඒත් අපි මේ ගමන ආවේ නම් එහෙම වැඩකට නෙවෙයි. මහනුවරට ලැබුනු වටිනා සම්පතක් ගැන හොයලා බලන්න. මහනුවරට ලැබුනට ඒ සම්පත මහනුවර පුරවැසියන්ට විතරක් නෙවෙයි වටින්නේ. ලංකාවේ දස දෙසින් එන සෑම සියළු දෙනාටම මේ සම්පත ඇත්තටම වටිනවා.
වටපිට බලල අපි මේ සය මහල් ගොඩනැගිල්ල වීඩියෝ ගත කර ගත්තා. අවශ්‍ය ඡායාරූපත් ගත්තා. ඊට පස්සේ අපි ආපහු කන්ද බැහැගෙන ඇවිත් මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මුනගැහුනේ මේ වටිනා කියන වැඩේ ගැන දැනගන්නයි.
"ඇත්තටම මේ සය මහල් ගොඩනැල්ල මහනුවර වැසියන්ට විතරක් නෙවෙයි ලංකාවේ සියළු ප්‍රදේශවල ජනතාවටම වැදගත් වන විටිනා කියන දෙයක්. එක අතකින් මහා පුණ්‍ය කර්මයක්. මේ වගේ දෙයක් කරන කාලෙක මහනුවර රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්න ලැබුනු එක ගැන මටත් පොඩි නිහතමානි ආඩම්බරයක් තිබෙනවා."
වෛද්‍ය රත්නායක මහතා කතාව පටන් ගත්තේ එහෙමයි. ඔහු එහෙම කිව්වේ අපි වීඩියෝ කර ගත්ත ගොඩනැල්ල ගැනයි. ඒ ඉදි කෙරෙන්නේ වකුගඩු රෝගීන් සදහා මහල් හයකින් යුත් සය මහල් ගොඩනැගිල්ලක්. වකුගඩු රෝගීන් සදහා ගොඩනගා ඇති ඒ සය මහල් ගොඩැගිල්ල ගැන තව දුරටත් ඔහු පැහැදිලි කළා. "ලංකාවේ පහසුකම් වලින් යුත් රෝහල් අතරින් මහනුවර රෝහලත් කැපි පෙනෙනවා. මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, දඹුල්ල සහ කුරුණැගල වගේ අවට පළාත් වලින් විශාල රෝගින් ප්‍රමාණයක් මෙම රෝහලේ නේවාසිකව සහ බාහිර ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණෙනවා. ඒ අතරින් වකුගඩු රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට දිනකට රෝගීන් 600 ත් 700 අතර ප්‍රමාණයක් පැමිණෙනවා.සාමාන්‍යයෙන් ඒ එන රෝගීන් අතරින් වසරකට සියයකට වැඩි පිරිසක් වකුගඩු රෝග ආශ්‍රිතව කෙරෙන සැත්කම් සදහා භාජනය වෙනවා. "
වෛද්‍ය රත්නායක මහතා කරුණු පැහැදිලි කර දෙන අතරේ ඒවා තහවුරු කිරීමට අවශ්‍ය සංඛ්‍යා ලේඛන සහ ඡායාරූපත් අපිට පෙන්නුවා. මෙච්චර පිරිසක් මහනුවර රෝහලේ වකුගඩු ආශ්‍රිත සැත්කම් සදහා භාජනය වන බවත්, එවැනි වකුගඩු රෝගින් පිරිසක් මහනුවරට දිනපතා ඇදි එන බවත් අපිට අවබෝධ වුනේ ඒ විස්තර ඇහුවාමයි. රෝහල් අධ්‍යක්ෂවරයා තවත් කරුණු අනාවරණය කළා
"මනුස්සයකුට ලෙඩක් හැදුනාම ඒ මනුස්සයා හරිම අසරණ වෙනවා. ඒ අසරණකම දැනෙන්නේ ලෙඩ වුන අයටම තමයි. වකුගඩු රෝගයක් හැදුනාම දැනෙන අසරණකම තවත් වැඩි වෙන්න පුළුවන්. රෝගයේ අපහසුතාවය වගේම ඒ පුද්ගලයන්ගෙ ආර්ථිකයටත් ඒක දැනෙනවා. ඒකට හේතුව වෛද්‍ය ප්‍රතිකාර රජයේ රෝහලෙන් නොමිලේ ලැබුනත් සැත්කමට පෙර සහ සැත්කමින් පසුව ඒ රෝගියා නේවාසිකව ඉදිමින් දෛනිකව සායන සදහා පැමිණිය යුතු නිසයි. "
වෛද්‍ය රත්නායක මහතා පවසන පරිදි මෙලෙස සායන සදහා පැමිණෙන බොහෝ රෝගීන් සහ එම රෝගීන්ගේ උදව්කරුවන් බොහොමයකටම මහනුවර රෝහල අසළින් කුඩා නිවාස වල කාමර කුලියට ගැනීමට සිදු වේ. එසේ වූ විට එක් කුඩා නිවසකට හෝ කාමරයකට මසකට රුපියල් විසි දහසක පමණ මුදලක් දැරීමට එම රෝගී පුද්ගලයාට සහ එම පවුලේ සාමාජිකයන්ට සිදු වේ. රෝගී තත්වයෙන් අසරණව සිටින වැඩි පිරිසකට එම මුදල දැරීම අපහසුය. එම නිසා බොහොමයක් රෝගීන් මෙම සායන වලට පැමිණෙන්නේ දැඩි අපහසුතා විද දරා
ගෙනය. මේ නිසා නිසියාකාරව සායන සදහා සහභාගී වීමට හැකියාවක් නොලැබෙන රෝගීන්ද සිටියි. රෝගී ජනතාව මුහුණපාන මෙම ගැටළුව පිළිබද අවබෝධ කරගත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය මේ සදහා යොමු වීම අප සියළු දෙනාගේම වාසනාවක්. වකුගඩු නිවාරණ ජනාධිපති විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් වකුගඩු සැත්කම් සදහා භාජනය වන රෝගින් සදහා නේවාසිකාගාරයක් ඉදි කිරීමට සැලසුම් කෙරෙන්නේ ඒ අනුවයි. ඒ අනුව මෙම නේවාසිකාගාරය ඉදි වීමෙන් පසු සැත්කම් වලට භාජනය වන වකුගඩු රෝගින්
වෛද්‍ය නිර්දේශ මත එම නේවාසිකාගාරවල නතර ව සිට සායන සදහා පැමිණීමට අවශ්‍ය කටයුතු සැලසෙනවා. එම නේවාසිකාගාරයේ එකවර වකුගඩු රෝගීන් තිස් දෙනෙකුට නේවාසික විය හැකි පහසුකම් සළසා තිබෙනවා. වකුගඩු රෝගිය සමග ඔහුගේ සාත්තු කටයුතු සදහා තවත් එක් අයෙකුටත් එම නේවාසිකාගාරයේ සිටිය හැකියි.
මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නායක මහතාගෙන් තොරතුරු ලබාගත් අපි ඔහුගේ අවසරය ඇතිව ඊ ළගට ගියේ මහනුවර රෝහලේ වකුගඩු රෝග සම්බන්ධයෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ වාට්ටුවටයි. වාට්ටුව භාර හෙද නිලධාරනිය වාට්ටුවේ මැද කොටසේ ඇදක ප්‍රතිකාර ලබමින් සිටින එක් තරුණ කාන්තාක් වෙත අප කැටුව ගියා. රෝගී තත්වයෙන් තරමක අපහසුතාවයෙන් පසු වුවත් ඇය තම තොරතුරු අප සමග බෙදා ගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුනා. "මම මෙහාට ආවේ දැනට මාසයකට විතර කලින්. මගේ ගම් ප්‍රදේශය මූතූර්. මට වකුගඩු රෝගය හැදුනට පස්සේ මහනුවර රෝහලට තමයි ආවේ. දැන් සැත්කම කරලා ඉවරයි. සැත්කමින් පස්සේ වෛද්‍ය සායන වලට සහභාගී වෙන්න මාසයක විතර කාලයක් දිගටම එන්න වෙනවා. සැත්කමට ඉස්සෙල්ලා සායන වලට ආවේ මේ ළග කාමරයක් අරගෙන ඒකට කුලි ගෙවලයි. දවසක් දෙකක් නෙවෙයි නේ. ඒ නිසා ටික දවසක් ඉන්න කොට ඒක අපේ ආර්ථිකයට දැනෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු රජය වකුගඩු රෝගින් සදහා හදන මේ නේවාසිකාගාරය ඉතාම හොද වැඩක් කියලයි මම කියන්නේ. මට ඒකේ නේවාසික වෙන්න බැරි වුනත් ඉදිරියේදී සැත්කම් සදහා එන අයට හරි ඒ අවස්ථාව ලැබෙන එක ගැන මම ඉතාම සතුටුයි. අපි මේකට ඉදිරිපත් වූ හැම දෙනාටම පිං දෙනවා."
ඇත්තටම අපි රෝගී වුනාම කොච්චර අසරණ වෙනවාද? දරන්න වෙන වියදම් වැඩි වුනාම ඒ අසරණ කම දෙගුණ තෙගුණ වෙනවා. සමහරු තමන්ගේ වතුපිටි ගෙවල් දොරවල් උකසට තියලා තමයි ප්‍රතිකාර සදහා යොමු වෙන්නේ. සත්‍ය වශයෙන්ම රජය මගින් සිදු කර ඇති මෙම සත්කාර්ය රජයේ වගකිමක් මෙන්ම පුණ්‍යකර්මයක්ද වන්නේ ඒ නිසාය.
මූතූර් සිට පැමිණි ඒ කාන්තාවට අමතරව වාට්ටුවේ බොහෝ කාන්තාවන් සමග අපට කතාබහ කිරිමට හැකියාව ලැබුනි. ඒ සියළු දෙනාගේම ගැටළු එක හා සමානය. සෑම අයෙක්ම තම රෝගී තත්වය නිසා පීඩාවට පත්වී සිටියි. කාන්තා වාට්ටුවට තරමක් දුරින් පිහිටි පිරිමි වාට්ටුව වෙතද අප ගියේ එහි තත්වය සොයා බැලිමටය. එහිදී අපට හමුවූයේ දඹුල්ලේ සිට පැමිණි මැදි වියේ පුද්ගලයෙකි. ඔහු සැත්කමට භාජනය වී සතියකි. තව දින කිහිපයකින් ඔහුගේ ටිකට් කැපීමට නියමිතය. ඉන් පසු ඔහු සායන සදහා පැමිණිය යුතුය. නේවාසිකවීම පිළිබද ඔහුද සිටියේ තරමක අවිනිශ්චිත තත්වයකිනි. විවෘත කිරිමට නියමිත නේවාසිකාගාරය පිළිබද ඔහු තුළ තිබුනේ දැඩි බලාපොරොත්තුවකි. "ඇත්තටම හොද දෙයක්. මේක මතු මතු ආත්මවල නිවන් දකින්න තරම් පිං අතේ වැඩක්." ඔහු කිව්වේ එපමණකි.
මෙම සය මහල් ගොඩනැගිල්ල තුළ පිහිටි නේවාසිකාගාරයට අමතරව තවත් පහසුකම් රැසක් තිබෙනවා. අති නවීන පහසුකම් වලින් යුත් රුධිර කාන්දුකරණ ඒකකය ඒ අතරින් විශේෂිතයි. වකුගඩු රෝගින්ගේ රුධිර කාන්දුකරණ කටයුතු සදහා අවශ්‍ය වන කාන්දුකරණ යන්ත්‍ර 50 ක් එම ඒකකයේ ස්ථාපිත වෙනවා.
දැනට මහනුවර රෝහලේ තියෙන රුධිර කාන්දුකරණ යන්ත්‍ර 35 ට අමතරව අලුතින් එක්වන මෙම කාන්දුකරණ යන්ත්‍ර නිසා පොරොත්තු ලේඛන වල වැඩි කාලයක් ගත නොකොට තම අවශ්‍යතා සපුරා ගැනීමට රෝගීන්ට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙම සය මහල් ගොඩනැගිල්ලේ තවත් වටිනා ඒකකයකුත් ස්ථාපිත වෙනවා. ඒ තමයි පර්යේෂණාගාරය. වකුඩු රෝග සම්බන්ධයෙන් කෙරෙන සියළු පර්යේෂණ ඉදිරියේදී සිදු කෙරෙන්නේ මෙම පර්යේෂණාගාරයේයි. පර්යේෂණ සදහා අවශ්‍ය සියළුම උපකරණ සහ පහසුකම් වලින් එම ඒකකය සමන්විතයි. එම ඒකකය සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලයක් යෙදවීමට මේ වන විටත් රජය තීරණය කොට තිබෙනා. එම කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියළු පහසුකමුත් මෙම ගොඩනැගිල්ලේ තිබෙනවා. මෙම සය මහල් ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන 250 ක මුදලක් වැය වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා. හැබැයි, ඒ වගේ මුදලකට මෙච්චර පහසුකම් තියෙන සය මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ යුධ හමුදාවේ ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්වය මේ ගොඩනැගිල්ල ඉදි කිරීමේදී නොමසුරුව ලැබිලා තියෙන නිසයි. නැත්නම් අඩුම ගානේ මිලියන 1200 ක් වත් මේ වගේ ව්‍යාපෘතියක ඉදි කිරීම් සදහා වැය වන බව තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. අපේ රට රැකගත් රණවිරුවන් අපිව තව තවත් ආරක්ෂා කරන්න ඉදිරිපත් වීම ආඩම්බරයට කාරණයක්. ගොඩනැගිල්ලට අමතරව මෙම ඒකකයට අවශ්‍ය
උපකරණ සදහාත් තවත් මිලියන 200 ක විතර මුදලක් වැය වෙනවා. ඉංජිනේරුමය කාර්යයන්පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය තමයි මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් පිළිබද උපදේශකත්වය ලබාදිලා තියෙන්නේ. එළඹෙන පෙබරවාරී 25 වැනි දින අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් මෙම නේවාසිකාගාරය ඇතුළු වකුගඩු රෝග සම්බන්ධ ඒකකය විවෘත කරන්න සියළු කටයුතු මේ වන විටත් සූදානම් වෙනවා. නේවාසිකාගාරය විවෘත වුනාම අපිට මුන ගැහුණු තරුණයා සහ කාන්තාවට ඇති වූ අපහසුතා වගේ අපහසුතාවන්ට මුහුණ දෙන්න තවත් අයට සිද්ධ වෙන එකක් නැහැ.එහෙම වුනාම තව දුරටත් රෝගීන් අපහසුතාවයන් ට ලක් වෙන එකක් නැහැ. රෝගින්ගේ පවුල්වල ආර්ථිකයට සෑහෙන සහනයකුත් ලැබේවි..
කොහොම වුනත් හැම තොරතුරක්ම සටහන් කරගත් අපි හන්තාන කන්ද බැහැගෙන ආපහු මහනුවර නගරය දෙසට ඇදෙන්න වුනා.පළමු ගියරේ කන්ද නැග්ග ත්‍රී රෝද රථය තුන්වැනි ගියරයේ පල්ලම බහිනවා. ත්‍රී රෝද රථය පල්ලම බහින්නේ බොහොම සැහැල්ලුවෙන්. අපේ සිත් වලටත් දැනුනේ පුදුම සැහැල්ලුවක්. රෝගීන්ට මොනවගේ සැහැල්ලුවක් දැනෙනවා ඇත්ද?
"තැන තැන පාරම්බෑවේ නැති වුනාට මේවා තමයි නියම සංවර්ධන වැඩ මහත්තයෝ. " හයර් එක වෙනුවෙන් අපි දීපු මුදල සාක්කුවට දා ගන්න ගමන් ත්‍රීරෝද රථයේ රියදුරු පැවසුවා.
තනුජ.කේ.අබේසේකර,
දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී