ජූනි 17, 2019
tami eng youtube  twitter facebook

    ග්‍රාමශක්ති විශේෂ හමුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    පෙබරවාරි 13, 2019

     

    ග්‍රාමශක්ති විශේෂ හමුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.02.11 වන දින BMICH හි දී

    ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහත්මයා පැමිණ සිටින ඔබ පිළිගත්තත් මමත් ඔබ ව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒවගේම දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක ම නියෝජනය කරමින් පැමිණි ඔබ සෑම කෙනෙකුට ම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

    විශේෂයෙන්ම ප්‍රධාන දේශන පැවැත් වූ ආචාර්ය මහාචාර්යවරුන්, බොහෝ වැදගත් හරවත්, කරුණු රාශියක් ඉදිරිපත් කළා. රාජ්‍ය සේවයේ ඉහළ ම ස්ථරවල සිටින නිලධාරීන් මෙතන ඉන්නවා. ඔබ සෑම කෙනෙක්ම පරිණතයින්. ඒවගේ අත්දැකීම් රාශියක් තිබෙන පිරිසක්. රට මෙහෙයවන පරිපාලන ප්‍රධානීන්.

    අද මේ රැස්වීම මේ විදියට කැඳෙව්වේ ඇයි? අපිට තිබුණා වෙනත් රැස්වීම් වගේ උපදෙස්, චක්‍රලේඛ පත්‍රිකා, ප්‍රකාශන, මාධ්‍ය මගින් ඔබ ව දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම් සියල්ලම මේ වන විට කර ඇතැයි කියා මා විශ්වාස කරනවා. නමුත් ප්‍රධාන ම කාරණය අපි අද ඔබ ව කැඳෙව්වේ ඇයි? මාධ්‍යවලත් දේශපාලන ලෝකයේත් මේ දිනවල නිතරම ඇහෙන දෙයක් තමයි කියන දෙයක් තමයි මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කියන එක. ඒ අය සියලුදෙනාම පාහේ ඉන්නේ මැතිවරණ ව්‍යාපාරවල. දේශපාලනඥයන් දේශපාලනය කරද්දි රාජ්‍ය නිලධාරීන් වන ඔබේ වගකීම සහ යුතුකම ඔබ විසින් කළ යුතු කාර්යයන් ඉටු කිරීම කියලයි මා විශ්වාස කරන්නේ. ඊයේ දවසේ සිදුවූ සිදුවීම් පිළිබඳව කතා කිරීම හෝ හෙට දවසේ සිදුවන දේ පිළිබඳව කතා කිරීම, සිතීමට වඩා අද දවසේ අප විසින් කළ යුතු කාර්යය පිළිබඳව අප වගකීමෙන් කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරන්නේ. මැතිවරණ වර්ෂයක් නිසයි ඔබ ව කැඳෙව්වේ. කවුරුත් දන්නවා. අපේ ආර්ථික සංවර්ධන වේගය ගැන මහාචාර්යතුමාලා කිව්වා ආර්ථික වර්ධනය ගැන එක විදියට ගණන් හදනවා වගේම ජී.ඩී.පී. වගේම අනිත් පැත්තෙන් ජී.එන්.එච්. කියලා. සතුට පිළිබඳව වර්ධනය ගණන් හදන්න භූතානය වගේ කියලා. මම හිතන්නේ ඒ සතුට හදන්න ලංකාවේ ජනතාවට ලොකු බාධාවන් කරන දෙදෙනෙක් ඉන්නවා. ඒ එක් කෙනෙක් දේශපාලනඥයන්. අනිත් එක්කෙනා මාධ්‍ය. ඔය දෙගොල්ලෝ තමයි මම දන්න විදියට සතුට හැදීමේ කාර්යයේදී බාධා කරන අය. සතුටට හානි කරන අය. සතුට ඇති කරන්න නොදී හැමවෙලේම වෙනත් වෙනත් ප්‍රශ්න ඇති කරන අය. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන ලක්ෂණ අතරේ අපිට පාඩුදායක ලක්ෂණයක් විදියට තමයි මම දකින්නේ.

    අපේ රටේ ආර්ථික වර්ධන වේගය මම හිතන්නේ 03% – 04% යි. මම ගිය මාසේ පිලිපීනයට ගියා. එහේ ආර්ථික වර්ධන වේගය 9.5% යි. දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සෑම කෙනෙක්ම තම තම සටන්වලට ප්‍රවේශ වෙන වර්ෂයක ඔබ නිහඬ වුණොත්, ඔබේ කාර්යක්ෂමතාව අඩු වුණොත්, ඔබ දේශපාලනඥයන් කරන කියන දේ පිළිබඳව අවධානය යොමු කරන්න පටන් ගත්තොත්, කවුද ඊළඟ ආණ්ඩුව, කවුද ඊළඟ ජනාධිපති, කවදද මහ මැතිවරණය, කවදද පළාත් සභා මැතිවරණය. කියලා ඔබ ඒ පැත්තට බර වුණොත් ලබන අවුරුද්දේ අපි සෘණ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වර්ෂය මේ රටේ ආර්ථිකය පිළිබඳව හැරවුම් ලක්ෂයක් කියලා මම කියන්නේ.

    මැතිවරණ වර්ෂයක් නිසා අනික් අංශ සංවර්ධන අංශ අඩපණ වෙයිද කියලා ලොකු බයක් මට තිබෙනවා. ඊළඟ ආණ්ඩුව කවුරු ගත්තත්. ඒ ගන්න අයට මේ වර්ෂයේ අපි වැටුණොත් බිංදුවේ ඉඳලා යන්න වෙන්නේ. සමහර විට සෘණ බිංදුවේ ඉඳලා යන්න වෙන්නේ. එහෙම නම් අප සියලුදෙනාට ම වගකීමක් තිබෙනවා. අපේ සාමූහික ප්‍රයත්නයක්. එකට සිට වැඩ කරන ක්‍රමයක් තුළින් අප විසින් කළ යුතු කාර්යය නොපිරිහෙළා කාර්යක්ෂම ව සහ කලට වේලාවට ඉටු කිරීම අවශ්‍ය බව ඔබ දන්නවා.

    අපේ රටේ විරැකියාව 5%ක් 6%ක් පමණ වෙනවා. දුගීභාවය 40%න් එහා. ඒක එක් එක් විදියට වර්ග වෙනවා. ඉතාම අමාරුකම් තිබෙන පීඩනය තිබෙන ඒ විදියට. මම නිදහස් දවසේ කළ කතාවෙදිත් මම මේ පිළිබඳව සඳහන් කළා. සති දෙකක් ඇතුළත මම මේ කාරණාව ගැන කතා කරන මේ තුන්වෙනි අවස්ථාව. ඒ මේ රටේ වගකීම් දරන සියලුදෙනාට මේ තත්ත්වය දැඩි ව අවධාරණය කිරීමට යි. දැඩි ලෙස සිතට ගැනීම සඳහා යි. මගේ දරුවත්, ඔබේ දරුවත්, අනිකුත් රට වැසියන් ගේ සහ පුරවැසියන් ගේ දරුවොත් ඒ සියලුදෙනාම හෙට දවසේ ඉමහත් අභියෝගයකට මුහුණ දෙනවා. මහාචාර්යතුමාලා ගේ දේශනවල දි එතුමන්ලා බොහෝ විස්තර ඇතිව ඒ කරුණු කිව්වා. නවත ම සමාජ සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව 30%යි. ලංකාවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 16 ක් පමණ සිටිනවා. අපේ ග්‍රාම සේවා වසමක් වගේ කුඩා බල ප්‍රදේශයක් ගත්තොත් මේ තරම් ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්න ලෝකයේ වෙනත් රටක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම මේ ගැන දැනුවත් වෙලා නැහැ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව 30% තත්ත්වයේ නම් තිබෙන්නේ අපි යන්න ඕනෑ කොතන්ට ද? ඒකේ අනිත් පැත්තටනේ. අපි කොහොමද කාර්යක්ෂමතාව 70% දක්වා වැඩි කර ගන්නේ. ඒක අභියෝගයක්. එය බරපතළ ගැටලුසහගත තත්ත්වයක්. ඔබේ වැඩමුළුවක දී මේ ගැන සාකච්ඡාවකට ඉඩ දුන්නොත් මේ පැමිණ සිටින අමාත්‍යාංශ ලේකම්වරු, දිසා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු මේ ගැන තිබෙන නොයෙක් ගැටලු සහ ප්‍රශ්න ඉදිරිපත් කරාවි. ඒ ප්‍රශ්නවලට අප විසින් උත්තර සෙවිය යුතු වෙනවා. ඒ උත්තර සෙවීමේ දී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව 70% දක්වා වැඩි කරන්න අසීරු වුවත් අඩු වශයෙන් 50%ට වත් යන්න ඉලක්ක කරන්න ඕනෑ.

    ඒ උත්තර සෙවීමේ දී මූලික වශයෙන්ම 30%, 70% කිරීම අසීරු වුවත්, අඩු වශයෙන් අපි ඉලක්ක කළොත් සමහර විට අපිට අද තියෙන 30%, 40% ක් කරගන්න පුළුවන් වෙයි. එවැනි ප්‍රශ්නවල දී සියයට සියයක් අංග සම්පූර්ණ කිරීමට නොහැකි බව ඔබ දන්නවා. ඒ නිසා මේ කාර්යයයේ දී අප විසින් කළ යුතු කාර්යයන්හි ඒ අවශ්‍ය වෙනස්කම් ඔබ විසින් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින කාර්ය මණ්ඩලයත්, රේඛීය අමාත්‍යාංශයක, පළාත් සභාවල කාර්ය මණ්ඩලයත්, ප්‍රාදේශීය ලේකම්ට කෙලින්ම සම්බන්ධ මේ සියලු දෙනා කාර්යක්ෂම කළොත් අපි බලාපොරොත්තු වන ඉලක්ක යම් ප්‍රමාණයක් හෝ සාර්ථක කර ගන්න පුළුවන්. මෙහි නායකත්වය ඔබ ගන්න. මෙය ඔබට කළ හැකියි. ඔබ මේ තනතුරට තෝරාගෙන තියෙන්නේ ඔබේ උගත්කම, දැනුම, බුද්ධිය, පරිණතභාවය, අත්දැකීම් නිසයි. මේ අතර රාජ්‍ය සේවයේ බහුශ්‍රැතයින් රාශියක් ඉන්නවා. ඔබට මෙය කළ හැකියි. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ගමේ භාෂාවෙන් කියනවා නම්, දෙයියන්ගේ නාමයෙන් රට වෙනුවෙන්, දේශපාලනඥයින් දිහා නොබලා ඔබේ කාර්යය හරියට කරන්න.

    අපි ග්‍රාමශක්ති වැඩසටහන පටන්ගෙන වසර 2 ක් වෙනවා. තිරයේ පෙන්නුවා ප්‍රගතිය. ආචාර්යතුමාලාගේ දේශනවල දී කිව්වා ග්‍රාමශක්ති වැඩසටහනේ නිර්මාණය විය යුත්තේ මොනවාද කියලා. අපි ග්‍රාමශක්ති සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද 11 වෙනිදා. 18 සිට සතියක්. මේ සතියේ දී ග්‍රාමශක්ති වැඩසටහන වගේම අනෙකුත් කාර්යයන් සඳහා ඔබ නායකත්වය ගන්න කියලයි මම ඉල්ලන්නේ. මේ රටේ දුගී භාවය පිළිබඳ ප්‍රශ්නයේ දී මගේ අත්දැකීම් අනුව සංඛ්‍යාලේඛනවලින් තොරව මම කියන්නේ වැඩිපුරම දුගීභාවය තිබෙන්නේ උතුරේ යි. ඊළඟට නැගෙනහිර. යුද්ධය තිබුණු ප්‍රදේශවල. ලංකාවේ පළාත් නවය ගත්විට සංඛ්‍යා ලේඛන අනුව ආර්ථික පසුබිමෙන් නව ආකාරයක්. සංස්කෘතික පසුබිමෙන් නව ආකාරයක්. පුංචි රට වුණාට සමාජ පසුබිමෙන් නව ආකාරයක්. සිංහල භාෂාව කතා කරන අයගේම සිංහල භාෂාවේ වෙනස්කම් කොච්චර තියෙනවා ද. දකුණේ ගාල්ල, මාතර කතාකරන සිංහල, මාතලේ මහනුවර කතාකරන සිංහලවල වෙනස්කම් රාශියක් තිබෙනවා. අපි වාසනාවන්ත රටක්. පිංවන්ත රටක්. අපේ මේ පසුබෑම සිදුවී ඇත්තේ ඇයි. අපේ මේ සියයට තිහ, සියයට හැත්තෑව කෙසේ වෙතත් සියයට පනහටවත් ඉලක්ක කරලා සියයට හතළිහකට යන්න. මේක උඩු යටිකුරු කරන්න නායකත්වය ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

    ග්‍රාමශක්ති වැඩසටහන පෙර සඳහන් කළ පරිදි රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ජනතාව මේ ත්‍රිකෝණය එක්වූ පුළුල් ජාතික අරමුණක් ඉටුකරගන්න කරන පුළුල් වැඩපිළිවෙළක්. ඒ වගේම මේ වැඩසටහනේ ප්‍රමුඛත්වය කාන්තාව සහ තරුණයින්.

    දේශකතුමන්ලා කිව්වා වගේ අපි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපිට තියෙන බරපතළ දේ තමයි දේශීය නිෂ්පාදන පහත වැටීම. ඒ නිසා විදේශ වත්කම් පහත වැටීම සිදුවෙලා. වුවමනාදේට වඩා අනවශ්‍ය දේ වෙළෙඳපොළ බහුලයි. එහෙත් කළ යුතු කාර්යයන් අප විසින් අතපසු කිරීම. මේවා ගත්විට මේ ග්‍රාමශක්ති වැඩපිළිවෙළ ඉතාම පැහැදිලි ලෙස නිෂ්පාදන ක්‍රියාවලියක්. නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ දුගී භාවය අවම කිරීම සඳහා වැඩපිළිවෙළ වගේම පවුල් සංස්ථාව තුළ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම. විදේශ වත්කම් වැඩිකිරීම. අපි රටේ හදන දේවලුත් පිටරටින් ගේනවා. මහාචාර්යතුමාලත් පැවසුවා ඒ බව. අපි පුංචි කාලේ පාසල් ඇරුණහම දුවගෙන වෙළට ගිහින් අයිනේ තියෙන උණ පඳුරකින් බට ටිකක් කපාගෙන අම්මට කරදර කරලා ශත 15 ක් 20 ක් පාට කොළයක් නූල් බෝලයක් ගෙනත් සරුංගල් හදනවා. අද වෙලා තියෙන්නේ සරුංගල් හදන්නවත් ළමයින්ට නිර්මාණශීලී වෙන්න දෙන්නේ නැහැ. සරුංගලේ ගේන්නෙත් පිටරටින් කියලා ඔබ දන්නවා. මේක තමයි යථාර්ථය. අපි කොහොමද එයින් මිදෙන්නේ.

    අපි ආර්ථික සංවර්ධන නිලධාරීන් ග්‍රාමශක්ති නිලධාරීන් විදියට මේ වැඩසටහනේ දී පාවිච්චි කරන බව, ඔවුන්ට විශේෂ වගකීම් දෙන බව ඔබ දන්නවා. නමුත් ඒ තනතුරේ සිටින අය පමණක් නොවේ. අද රටේ තිබෙන ආර්ථික හා සමාජ පසුබිම් ගත්විට උඩට එන්න ඉතාමත් වැදගත් වෙනවා දිසා ලේකම්තුමාගේ නායකත්වයෙන් දිස්ත්‍රික්කයේ වැඩත්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ නායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම ආදී කරුණු. ග්‍රාමශක්ති වැඩසටහන දුගීභාවය සඳහා යි කියන එක ඔබ පැහැදිලිව දන්නවා. මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට මේ දිනවල කෙරෙන වැඩ ඔබ දන්නවා. මම මේක පටන් ගත්තේ සෞඛ්‍ය ඇමති කාලයේ. මේ වසර හතර තුළ එය ශක්තිමත් කළා. පොලීසිය මගේ භාරයට ගත් මේ මාස දෙක තුන තුළ මම සතුටු වෙනවා බොහෝ ප්‍රතිඵල පෙන්නන්න පුළුවන් වීම ගැන.

    මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයේ දී අපි ඔබතුමාලාට පසුගිය වසර කිහිපයේ චක්‍රලේඛ ගණනාවක් එවලා තියෙනවා. ඒ චක්‍රලේඛ දෙකක තිබෙනවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක් අමාත්‍යාංශයේත්, දිසා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දිසා ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක්, සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු. ආයතන සියල්ලෙහි ම ආයතන ප්‍රධානියාගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ආරම්භ කරන ලෙසට. මම දන්නේ නැහැ චක්‍රලේඛයේ තිබෙන විදියට කොතෙක් දුරට ඒ කටයුතු කෙරෙනවාද කියලා. නමුත් මම දන්නවා සමහර ප්‍රදේශවල ඒ චක්‍රලේඛයෙනුත් එහා ගිහින් ප්‍රාදේශීය ලේකම්තුමාලා ක්ෂේත්‍ර නිලධාරීන්, විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාම නිලධාරීන් එකතු වී සමහර ගම්මාන කිසිම මත්ද්‍රව්‍යයක් නැති ගම්මාන බවට පත්කර තිබෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශවල එවැනි වැඩසටහන් කිසිසේත් නොසලකා උතුරායන්න විනාශ කරන්න මත්ද්‍රව්‍ය පැතිරිලා. මගේ අත්දැකීම නම් උතුරට ගිය පහුගිය වසරතුන හමාරේම යාපනය ද මුලතිව් ද කිළිනොච්චි ද වව්නියා ද ගමකට ගියොත් මාව වටකරගත්තේ කවුද. මාව වටකර ගත්තේ අතුරුදහන් දරුවන්ගේ මව්වරුන්. ඔවුන් තමන්ගේ දරුවන් ඉල්ලුවේ.

    දැන් වසර 10 ක් ගතවෙලා ඒවාටත් යම් යම් පිළියම් ලබාදීලා, ඒවාට කොමිෂන් සභා පත්කරලා තිබෙනවා ඔබ දන්නවා. ඒ නිසා යම් ප්‍රමාණයකට ඒ හඬ පාලනය වෙලා තිබෙනවා. නමුත් දැන් මම උතුරේ ගම්වලට ගියාම මොකද්ද මගෙන් ඉල්ලීම් කරන්නේ.

    පසුගිය දිනවල අපි ඉරණමඩු ජලාශය විවෘත කරන්න ගියා. ඔවුන් ඉල්ලුවේ අපේ ගමේ ජීවත් වෙන්න බැහැ. අරක්කු, කසිප්පු, ගංජා මර්දනය කරලා දෙන්න කියලා. දරුවෝ ඉල්ලපු අම්මලා අද ඉල්ලනවා මත්ද්‍රව්‍ය මර්දනය කරලා දෙන්න කියලා. මේක අද මුළු රටේම හඬක් බවට පත්වෙලා තිබෙනවා. එහි වැදගත්කමත්, එහි පසුබිමත් නිසා තමයි අපි මත්ද්‍රව්‍ය නිවාරණය, මර්දනය පටන් ගත්තේ. මම මීට සති තුනකට පමණ කලින් මත්ද්‍රව්‍ය භාවිතා කළ අය පුනරුත්ථාපනය කරන්න අධිකාරියක් පිහිටුවන්න කැබිනට් අනුමැතිය ගත්තා. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම එකඟතාවය ලැබුණා. මොකද මේ රටේ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් ලක්ෂයකට වැඩියි. පුනරුත්ථාපන ආයතන අඩුයි. තිබෙන ඒවා වුණත් කොහොත්ම සෑහිමකට පත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මර්දනයට තද නීති රීති ක්‍රියාත්මක කරනවා වගේම භාවිතා කරන අය, ඇබ්බැහි වී සිටින අය, ඒකෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

    ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අතරින් ඔබ දන්නවා වැඩසටහන් රාශියක් තිබෙනවා. මම පසුගිය දිනවල ගම්මාන කිහිපයකම යම් යම් කටයුතුවලට ගියාම කිහිපදෙනෙක් මගේ ඔළුවට අලුත්ම ප්‍රශ්නයක් දැම්මා. “කොයිතරම් ගස් හිටෙව්වත් අපි හවසට දකින ගහ උදේට නැහැ”. කැලෑව විතරක් නෙමේ මේ ගම්මානවල වැදගත්, තිබිය යුතු ගස්වලට වුණ දෙයක් නැහැ. එක්කෙනෙක් කිව්වා මම එක්තරා කාර්යාලයක වැඩ කරන්නේ. හවසට යනකොට ඒ ගස තිබෙනවා, පසුවදා උදේ වැඩට යනකොට ගහ නැහැ කියලා. මම ඇහුවා ඒකට විසඳුමක් තිබෙනවාද කියලා. ඒ හැමතැනින්ම කියවුණ දේ තමයි චේන්සෝ තහනම් කරන්න කියලා. ඉතාම කුඩා මැෂින් එකේ ඉදලා විශාල මැෂින් රාශියක් තිබෙනවා. පුදුම විදියට ගස් කපනවා. ගස තිබුණ තැනවත් හොයාගන්න නැහැ. ඒ නිසා පරිසර සංරක්ෂණයේ වැදගත් පියවරක් විදියට මම තීන්දු කරලා අදාළ චක්‍රලේඛ මේ සතියේ නිකුත් වෙනවා. හෙට ඉදලා මේ පිළිබඳව ප්‍රචාරාත්මක වැඩසටහන් යනවා මාධ්‍ය වලින්. පෙබරවාරි 15 සිට මාර්තු 01 වනදා සිට තමන් සතු චේන්සෝ ගැන ළඟම ඇති පොලිසියට වාර්තා කළයුතුයි. පොලිසියට ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරනවා. පොලිසිය ඒ පිළිබඳ වාර්තාවක් සකස් කළයුතුයි.

    ඒ වගේම ඒවාට බලපත්‍ර ගන්න ඕන. ඒ සඳහා අපි කාලයක් ලබාදෙනවා. අපි මාර්තු මාසයම දෙනවා චේන්සෝවලට බලපත්‍ර ගන්න. පාරේ ගෙනිච්චත්, ගසක් කපන්න ගියත්, මොනවිදියේ දෙයක් කළත් බලපත්‍රය තිබිය යුතුයි. එහෙම නැත්තම් අත්අඩංගුවට ගන්නවා , නඩු පවරනවා, වන විනාශය කියන නීති යටතේ. ඔබ දන්නවා අද වනවිට වන ගණත්වය සියයට 28 යි. අපි උත්සාහ කරනවා ඒක සියයට 32 දක්වා වැඩි කරන්න. සෑම වර්ෂයකම දැන් අඩුවෙනවා සියයට 1.5 ක්. එතකොට සියයට 28 ඉවර වෙන්න වසර කිහිපයයි යන්නේ. එදාට සිදුවන්නේ රතු ඉන්දියානු නායකයා කිව්ව කතන්දරේ තමයි. වායුත් නැහැ, ජලයත් නැහැ, ගහකොළත් නැහැ.

    ඒ නිසා මූලික වශයෙන් මේ කටයුතුවලදී අපි ගෙනයන වැඩසටහන ශක්තිමත් කළයුතුයි වගේම රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපි ජීවත්වන කාලය ගත්තාම අපෙන් හැදෙන අයට, ඒ කියන්නේ අනාගත දරු පරම්පරාවට. හොඳ රටක් හදන්න අපි මූලික ලෙස අධිෂ්ඨාන කරගත යුතුයි. අපි ජීවත්වන කෙටි කාලය තුළ රටට සේවය කරන්න කොයිතරම් කෙටි කාලයක් ද අපට හිමිවන්නේ. ගස්, කැලෑව, කාලය ඉවර වෙලා වයසට ගිහින් මැරුණාම පොහොරට ගන්නවා, දරට ගන්නවා. සතුන් මියගියාම ඇට කැබලි ප්‍රදර්ශනයට ගන්නවා, භාණ්ඩ නිෂ්පාදනයට ගන්නවා, ඖෂධ සඳහා ගන්නවා. හැබැයි සතුන් අතරින් දියුණුම සතා වන මිනිසා මැරුණාම කිසිම දේකට ගන්නේ නැහැ. නිකම් පොළවට පස්වෙනවා. ගසකොළ, සතා සීපාවා, මානවයා වගේ නෙමේ පැහැදිලි ලෙසම තිරසර සංවර්ධනයට උදව් වෙනවා.

    තිරසර ජාතික ප්‍රතිපත්තිය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නව සංකල්ප මත ක්‍රියාත්මක වුණත් තිරසර සංවර්ධනයේ නියමුවා වන්නේ කවුද? ඒ තමයි බුදුන් වහන්සේ. ඒ වගේම තමයි කිතුණු දර්ශනය, හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය, මේ සෑම දර්ශනයකම ඉතා පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා.

    පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකයේ බිහි වූ ආගමික ශාස්තෘවරු සියල්ලම පරිසරවේදීන්. ඉන් මෙහා බිහි වුණ දාර්ශනිකයින්, පඬිවරුන් ඒ පිළිබඳව බොහෝ දේ කියා තියෙන බව ඔබ දන්නවා.

    ඒ නිසා මේ කරුණුවලදී එකක් තමයි මේ අපි බලාපොරොත්තු වන ඉලක්කයට යන්න රාජ්‍ය සේවයෙන් මේ වැඩසටහන්වල වගේම අනෙක් වැඩසටහන් වලදීත් දිසා ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මේ අවුරුද්දේ අමතක කරන්න එපා මැතිවරණ වර්ෂයක් නිසා. මැති ඇමතිවරු එන්නේ නැත්නම් දිනය දාලා දිසාපතිවරුන් හරි කරගෙන යන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මැතිඇමතිවරුන් එන්නේ නැන්නම් දිනය දාලා දන්වන්න ආවත් නාවත් තමන් ඒක කරන්න.

    දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දැන් සේනා දළඹුවා පිළිබඳ ප්‍රශ්නය වගේම කෘෂි කර්මාන්තයට එල්ල වී තිබෙන අභියෝග. ඔබ දකින්න ඇති පසුගිය දවස්වල නිකුත් වෙච්ච කාලගුණික හා දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර්ජාතික වාර්තාව. 2019 වර්ෂය කාලගුණික දේශගුණික විපර්යාස තුළ බරපතළ අභියෝගවලට දෙන රටවල් නාම ලේඛනයේ ශ්‍රී ලංකා ඉන්නේ අංක දෙකකට. අද පෙබරවාරි මාසයේ 11. ඉදිරි මාස කිහිපය තුළ මොන මොන විදිහේ කාලගුණික දේශගුණික විපර්යාසවලට ඔබේත් මගේත් ආදරණීය රටට මුහුණ දෙන්න වෙයි ද කියලා දන්නේ නැහැ.

    විද්‍යාඥයින් බොහොම පැහැදිලිව කියනවා බරපතළ අභියෝගවලට මුහුණ දෙන මේ වසරේ දෙවෙනි රට ලංකාව කියලා. අපේ ආපදා කළමනාකරණ අංශ, දිසාලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, අනෙක් අමාත්‍යාංශ මට්ටමේ ආපදා අමාත්‍යාංශය විතරක් නොවෙයි ඒ සියල්ල මේ පිළිබඳවත් අවධානයෙන් ඉන්න. යම් යම් හදිසි තත්ත්වයන් ඇති වුණොත් ඒවාට මුහුණ දෙන්න. සුළි සුළං, නාය යාම්, ජල ගැලීම්, නියඟය ද, සුනාමි තත්ත්වයන් වැනි දේ පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඔබ කැඳෙව්වේ.

    ඒ නිසා මම පෙර කී පරිදි ඔබ සෑම කෙනෙක්ම අවශ්‍ය දේවල්වලට රාජ්‍ය නිලධාරීන් විදියට නායකත්වය, වගකීිම, මූලිකත්වය සහ නියමුවන් විදියට මේ කාර්යය නැවත භාර ගන්න කියලා නැවත නැවතත් ඔබට කියනවා. මෙය අප විසින් කළ යුතුම කාර්යයක්.

    දැන් අවුරදු 30 කට වැඩියි පළාත් සභා ආරම්භ කරලා. නමුත් සංවර්ධනයේ තවමත් ගැටුම් බාධාවන් ඉවර නැහැ. ඒ නිසා රේඛීය අමාත්‍යාංශ, පළාත් සභා බොහොම මිත්‍රශිලීව සුහදතාවයෙන් එකට වැඩ කිරීම අවශ්‍යයි.

    මේ කාලය තුළ පොඩි වාසියක් තියෙනවා හුඟාක් පළාත් සභාවල මේ දෙක එකට යන්න වගකීම තියෙන්නේ එක්කෙනෙකුගේ නිසා. ආණ්ඩුකාරවරුන් පළාත් සභා හයක් පාලනය කරන්නේ. දේශපාලන නායකත්වයන් තියෙන කොට තමයි ඔය ගැටුම් වැඩි. ඒ නිසා ආණ්ඩුකාරවරුන් ඉන්න පළාත් සභා හයෙත් මහ ඇමතිතුමාලාත් මෙතන ඉන්නවා. ඒ වගේම රේඛීය අමාත්‍යාංශවල ලේකම්තුමන්ලා, මැතිඇමතිතුමාලා මේ ගැටුම් සහගත තත්ත්වයන් වළක්වාගෙන විසඳන්න තිබෙන ප්‍රශ්න විසඳන්න. මීට අදාළ නැතත් මම කියන්න ඕනි අද දවසේ මේ විෂයට පළාත් සභා හයක වගකීය යුතු මැතිඇමතිවරු නැති නිසා.

    යම් යම් හදිසි තත්ත්වයන්ට විසඳුම් දෙන්න පුළුවන්කමක් නැහැ ඒ අයට පුළුවන් මට්ටමෙන් ඒ අය කරනවා. අවශ්‍ය දේශපාලන නායකත්වය තිබෙනවා නම් තමයි ඒ කටයුතු කෙරෙන්නේ. ඒනිසා විශේෂයෙන් මැති ඇමතිවරුන් නැති පළාත් සභා හයේ මම දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒ සියලුම ආණ්ඩුකාරතුමන්ලා මෙතන ඉන්න නිසා ප්‍රධාන වශයෙන් එතුමන්ලාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ සියලු කටයුතු සම්බන්ධයෙන් ඔබේ වැඩි අවධානය යොමු කරන්න කියලා.

    ඒ නිසා අද මේ සාකච්ජා වූ කරුණු පිළිබඳ ඔබ වඩාත් දැනුවත් වුණා කියලා හිතනවා. මම මුලින්ම කතාව ආරම්භ කළ වෙලාවේ කිව්වා වගේ මේ දේශනවලින්, ඔබ සියයට අනූවක්, අනූපහක් දන්න දේවල්. පොඩි ගාණක් තමයි අලුතින් එකතු වුණේ. රට වෙනුවෙන් කාර්යක්ෂමතාව, ඉලක්ක සහගතව වැඩ කිරීම, අවශ්‍ය ප්‍රතිපාදනවලින් නිසි ප්‍රයෝජන ගැනීම මැතිවරණ වර්ෂය කියන එක ඔබේ ඔළුවෙන් අයින් කරලා, හවසට රූපවාහිනියේ යන නොයෙකුත් වාද විවාද හොඳ නරක හරි වැරදි ඒ ඔකොම ගැන බැලුවට කමක් නැහැ, ඒ ගැන හිතන්නේ නැතුව පසුදා උදේට ඔබ ඔබේ කාර්යය ඉටු කරන්න කියලා කියන්නේ. ඒ නිසා අපි සියලු දෙනා රට වෙනුවෙන් එකට සිටින්න කියලා කියන්නේ.

    දේශපාලනඥයා , රාජ්‍ය නිලධාරියා, මහජනතාව, පෞද්ගලික අංශය ද මේ සියලු දෙනා එකට සිටීමෙන් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය තියෙන තැන එතන නම් අපි තවත් නිහඬ වුණොත් තවත් පහළට ගියොත්, අපේ විදේශ වත්කම් පහළ බැහැලා, දේශීය කර්මාන්ත අපනයන තව තවත් දුර්වල වෙලා, දෛනිකව කරන වෘත්තීන්, කර්මාන්ත ඒවා දුර්වල වෙලා අඩපන වෙලා අපි ඉතාමත් අමාරු තැනකට වැටෙන්නේ. ඇත්ත තිත්තයි. ඇත්ත කතා කරන විට සමහර අය කැමති නැහැ. නමුත් තිත්ත ඇත්ත නිතර නිතර මම කියන්නේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන ඒක දැඩි ලෙස අවධාරණය කරලා අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම අවශ්‍යයි.

    මේ ශාලාවේ සිටින පිරිස කොපමණ ද කියලා ඔබ දන්නවා. දිසා ලේකම්වරුන් 25 යි. ප්‍රාදේශීය ලේකම්වරුන් 332යි. නමුත් මේ රටේ මිලියන 21 ආසන්න ජනතාවගේ වගකීම ඔබ අතේ තියෙන්නේ. කාර්යක්ෂතාව, ප්‍රමිතිය සහ දූෂණයෙන් වංචාවෙන් තොරව සංවර්ධන වැඩ ව්‍යාපෘති කිරීමේ දී මාව හමුවෙන්න ආව බොහෝ අය මගෙන් ඉල්ලන්නේ මොනවද ? සර් අපිට මේ වැඩේ හමුදාව දාලා කරලා දෙන්න කියලා ඇයි ඒ හමුදාව යුද්ධ කරන්න තියෙන විනය වගේම ඒ කාර්යක්ෂමතාව විනයෙන් ඉලක්ක සහගතව ඒ වැඩය කරන නිසා. ඒ නිසා මේ රටේ අලුත් සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා ජනතාව තුළ හැම සංවර්ධන වැඩටේම හමුදාව ඉල්ලන.

    මත්ද්‍රව්‍ය මර්දනයට පොලිස්, යුද, නාවික, ගුවන්, යොදවලා තියෙන්නේ. නමුත් මම සතුටු වෙනවා ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරපු අපේ රණවිරුවෝ උතුරේ ජනතාව මොන මොන විවේචන තිබුණත් ගම්වල සාමාන්‍ය ජනතාව හමුදාවට ඉතාමත් ආදරෙයි. පසුගිය දවස්වල ඇතිවුණ ගංවතුරේ දී හමුදාව කොහොම ද ක්‍රියා කළේ කියලා ඔබ දැක්කා. ඒ වෙලාවේ හමුදාව පිළිබඳ කතා කරපු දේවල් ඔබ මාධ්‍ය තුළ දැක්කා. මම මෙතන දී පෙන්වන්න හදන්නේ වෙනත් දෙයක්.

    ප්‍රමිතියට, කාර්යක්ෂමතාවයෙන්, පිරිසිදුකමින් යුතුව, දූෂණයෙන් වංචාවෙන් තොරව වැඩ කරන්න හමුදාව ඉල්ලනවා නම්, අපේ අනෙක් හමුදාව පරිපාලන සේවය, ගණකාධිකාරි, සැලසුම් සේවය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඒ සියල්ල රෙජිමේන්තු තමයි. හැබැයි මිනිස්සු ඒක අමතක කරලා ඇයි මේ හමුදාව ඉල්ලන්නේ. ඒක ඔබට තේරෙනවා ඇති.

    අද මේ අවස්ථාවට පැමිණි සහයෝගය දුන් සියලු දෙනාටත්,දේශන පැවැත් වූ දේශකතුමන්ලාට ස්තූතිය පළ කරනවා. ඒනිසා ඔබේ අපේ වගකීම එකට සිටිමු. එකට වැඩ කරමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya