කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආධාර මුදල් ලබා ගන්නට අවශ්‍ය පෝරමයත් අරගෙන සයිමන් ගොවි මහත්තයා උදෑසනම පිටත් වුනේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි මහත්තයා සොයාගෙන. ඉන්න තැන හරියට දන්නේ නැති නිසා සයිමන් ගොවි මහත්තයා මුලින්ම ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි. කොහොම හරි කාර්යාලයට ගිහිල්ලා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහත්තයා ගැන විමසුවාම තමයි දැනගත්තේ එයා ඉන්නේ තවත් හැතැප්ම භාගයක් විතර එහායින් තියෙන වෙනම කාර්යාලයක කියලා. කොහොම හරි නිලධාරියා ඉන්න තැන අහගත්ත සයිමන් මහත්තයා තවත් පැයක් විතර ගත කරලා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහත්තයා හොයාගත්තා කියමුකෝ. ඔන්න ටිකක් වෙලා පෝලිමේ ඉදල සයිමන් මහත්තයත් කෘෂිකර්ම නිලධාරි මහත්තයාට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වා.
අනේ ලොකු උන්නැහේ. පෝරමේ නම් දෙන්න පුළුවන්. ඒත් ඒක දෙන්න වෙන්නේ ග්‍රාම නිලධාරි මහත්තයාගේ සහතිකය ගෙනාවට පස්සේ. ඒ නිසා ඉස්සෙල්ලා ඒක ගෙනත් දෙන්න. මගේ වැඩේ ටක් ගාලා මට කරලා දෙන්න පුළුවන්. කෘෂි නිලධාරියා එහෙම කිව්වාම සයිමන් මහත්තයාට හීන් දාඩියකුත් දැම්මා. ඇයි දෙයියනේ දැන් වෙලාව දවල් දොලහටත් ලගයි. කොහොමද ග්‍රාම නිලධාරී මහත්තයා ලගට යන්නේ. ආපහු තවත් හැතැප්ම දෙකක් විතර එහානේ එයා ඉන්නේ "අනේ මහත්තයෝ ඔය පෝරමේ මට දෙන්න. මම පස්සේ ග්‍රාම නිලධාරි මහත්තයාගේ සහතිකය ගෙනත් දෙන්නම්. " සයිමන් ගොවි මහත්තයා කිව්වේ හරිම හිමින්.
"මටත් තේරෙනවා ලොකු උන්නැහේ අපහසුතාවය. ඒත් රජයේ රාජකාරී එහෙම දෙන්නම් කාසි වලට කරන්න බෑනේ. ප්‍රශ්නයක් වුනොත් මගේ ජොබ් එක තමයි ගහලා යන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අදම හරි කමක් නෑ අරගෙන එන්නකෝ." කෘෂි නිලධාරියා කිව්වා.
සයිමන් මහත්තයා එතැනින් පිටත් වෙනකොට වෙලාව දොළහමාරට විතර ඇති. ගමේ ටවුමට ගිය බස් එක ආයේ මේ පැත්තට එන්නේ එකහමාරට. එත් සයිමන් ගොවි මහත්තයා වැඩේ අත ඇරියේ නෑ. එකහමාරේ බස් එකේ නැගලා ආපහු ග්‍රාම නිලධාරි මහත්තයා හොයා ගෙන ගියා. ග්‍රාම නිලධාරී මහත්තයා කාර්යාලේ පවත්වාගෙන ගියේ ගමේ ප්‍රජා ශාලාවේ. එතනට ගිහිල්ලා සයිමන් ගොවි මහත්තායා ග්‍රාම නිලධාරී මහත්තයාව හොයන්න ගත්තා.
"ඇයි ලොකු උන්නැහේ කාවද හොයන්නේ. " ළග හිටපු ඉලන්දාරියෙක් ඇහුවා. "මේ ග්‍රාම සේවක රාලහාමි කොහෙද කියලයි බැලුවේ. " "අයියෝ ලොකු උන්නැහේ දැන් ග්‍රාම සේවක රාලහාමි මෙහෙ නෑනේ. එයාගේ කාර්යාලය අර කඩ මණ්ඩියේ සිරිපාලගේ කඩ කාමරයට අරගෙන ගියානේ. ප්‍රජා ශාලාවේ කාර්යාලය තියෙන කොට මිනිස්සුන්ට දුර වැඩියි කියලා පැමිණිලි ගිහිල්ලා නිසා කඩ මණ්ඩියට අරං ගියා. කාර්යාල දීමනාවකුත් රජයෙන් ගෙවන නිසා බොහොම අමාරුවෙන් තැනක් හොයා ගත්තා කියලා තමයි ආරංචි. එතනට ගිහිල්ලා බැලුවනම් හරි ලොකු උන්නැහේ."
සයිමන් ගොවි මහත්තයාත් වැඩේ අත ඇරියේ නෑ. ග්‍රාම සේවක රාලහාමි හොයාගෙන කඩ මණ්ඩියට ගියේ කොහොම හරි අදම වැඩේ කර ගන්නයි. කොහොමින් හරි ඒ දුර ගෙවා ගෙන යනකොට දෙකහාමාරත් පහුවෙලා.
සිරිපාලගේ කඩකාමරය ලගට ගියත් සයිමන් ගොවි මහත්තයාට ග්‍රාම සේවක රාලහාමි දකින්න ලැබුනේ නෑ. සිරිපාලගේ කඩේට ඔලුව දාලා ග්‍රාම සේවක රාලහාමි ගැන ඇහුවේ ඒ නිසයි.
"අයියෝ සයිමන් අයියේ මේ දැන්නේ ග්‍රාම සේවක මහත්තයා ගියේ. මොකක්දෝ රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා කියලා දැන් පිටත් වුනේ. පුළුවන් නම් එතනට යන්න. එතැනදී ග්‍රාම සේවක මහත්තයා අල්ල ගන්න පුළුවන්."
ඒ පාර නම් සයිමන් ගොවි මහත්තයාට ටිකක් තරහ ගියා.
"ඇයි යකෝ මම එතනට ගිහිල්ලා මෙච්චර රවුම් ගහලා ආවේ ආපහු එතනට යන්නද? හරියට අර සර්කස් වල තියෙන කතුරු මැරිගෝ රවුම් යනවා වගේ එක තැනම කැරකවෙනවා නේ. අපරාදේ මගේ මහන්සියයි කාලයයි. ගොවි ආධාර මුදල දෙන්නේ රුපියල් පන්සියයි. තව දවසක් ගියොත් මට රුපියල් දෙසීයක් විතර නැති වෙනවා. මට ඕන ආධාරයක් නෑ. "
සයිමන් ගොවි මහත්තයාට සිද්ධ වෙච්ච මේ කතාව අපිට අහන්න ලැබුනේ පසුගිය දිනෙක නිල සෙවන කාර්යලයක් විවෘත කරන්න අපි මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට පළාතට ගිය වෙලාවක. කාර්යාලය විවෘත කරපු අවස්ථාවේ නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම ගැන සතුටට පත් වෙච්ච සයිමන් මහත්තයා එයාගේ කතාව හිටපු හැමෝටම ඇහෙන්න ස්පීකරයෙන්ම කිව්වා.
"දැන් නම් ආයේ මට වෙච්ච දේ වෙන අයට වෙන එකක් නෑ. ඒ නිසා මේ වගේ වැඩ කරන රජයට මම අනේක වාරයක් ස්තූති වෙනවා."
සයිමන් මහත්තයාට මුහුණ දෙන්න සිද්ද වුන මේ සිද්ධිය වගේ තවත් කොච්චර සිද්ධි අපිට වෙලා තියෙනවා ඇත්ද? හොයලා බැලුවොත් මේ වගේ අත්දැකීම් කියන්න තවත් ඕනෑ තරම් උදවිය ඉදිරිපත් වෙයි. වත්මන් රජය මගින් නිල සෙවණ කාර්යාලය සංකල්පය හදුන්වලා දුන්නේ මෙන්න මේ කියන අපහසුතා වලින් තොරව ගමේ සේවය ලබා දෙන්නට සිටින අත්‍යාවශ්‍ය රජයේ නිලධාරීන් සිව් දෙනෙක් එකම ස්ථානයකට ගෙනල්ලා එකම වහලක් යටදී ඒ නිලධාරීන් හතර දෙනාගේම සේවය ලබා ගැනීමටයි. ඇත්තටම නිල සෙවණ කාර්යාල සංකල්පය ලංකාව පුරා දියත් කිරීම ආරම්භ කරන්නේ වත්මන් රජයයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම මත ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් තමයි මෙම සංකල්පය ලංකාව පුරා දියත් කිරීමට ඉදිරිපත් වුනේ. මේ එක් නිල සෙවණ කාර්යාලක් හදන්න ආණ්ඩුවෙන් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වෙන් කෙරෙනවා. ඒ මුදලට අමතරව අවශ්‍ය නම් තවත් මුදල් අවශ්‍යතාවය මත ඉල්ලන්නත් පුළුවන්. ඒත් එහෙම වැඩි පුර සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. මේ වැඩේ හොද නිසා ගමේ ඉන්න සමහර ව්‍යාපාරිකයෝ කැමැත්තෙන්ම ඇවිත් කාර්යාලය හදන්න ධනය පරිත්‍යාග කරන්නත් ඉදිරිපත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරනු ලැබූ නිල සෙවණ කාර්යාල බොහොමයකටම පරිත්‍යාගශීලීන් උදව් කරලා තියෙන්නේ ස්වේච්ඡාවෙන්.
මහනුවර දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල දෙකක් ඉදි කරන්න රජයේ ඉඩම් නැතිව ඉන්න කොට එක් කාන්තාවක් තමන්ගේ පුද්ගලික ඉඩම් කැබැල්ලකුත් ඒ සදහා පරිත්‍යාග කරලා තියෙනවා. ඇමතිතුමා ඒ කාන්තාව ගෙන්වලා විශේෂ ඇගයීමකුත් කළා. ඒ විතරක් නෙවෙයි ගමේ මිනිස්සුන්ගේ ශ්‍රම දායකත්වය මේ වැඩේට නොපිරිහෙලා ලබා දෙනවා. ඒ නිසා ලක්ෂ විස්ස නිලධාරීන් හතර දෙනෙකුට ඉන්න පුළුවන් විදිහට කාර්යාලයක් හදන්න හොදටම ඇති.
දැන් ලක්ෂ විස්සෙන් නිල සෙවණ කාර්යාලය හැදුවාම ආයේ ගමේ මිනිස්සුන්ට ගමේ ඉන්න නිලධාරීන් හතර දෙනා හොයාගෙන එක එක තැන්වල රස්තියාදු වෙන්න වෙන්නේ නෑ. එකම වහලක් යටදී නිලධාරීන් හතර දෙනාටම මුන ගැහිලා ඉක්මනින් තමන්ගේ වැඩ කොටස ඉටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. සේවය ලබා ගැනීමට එන ජනතාවට ඉඩකඩ ඇතිව පහසුවෙන් වගේම ගෞරවනීය විදිහට තමන්ගේ වැඩේ ඉටු කර ගන්න පුළුවන්. නිලධාරීන්ටත් ප්‍රමාණවත් පහසුකම් තියෙන ලස්සන පොඩි කාර්යාලයක අභිමානයෙන් තමන්ගේ සේවය ලබා දෙන්න පුළුවන් කම තියෙනවා.
නිල සෙවණ කාර්යාලයක් හදන්න ලක්ෂ විස්සක මුදලක් ආණ්ඩුවෙන් දැරුවත් ඒ මුදල රජයට බරක් නොවන බව තමයි වජිර අබේවර්ධන ඇමතිතුමා කියන්නේ. මොකද දිගු කාලීනව බලන කොට මේක රජයට ආයෝජනයක් කියලත් කිව්වා. ඇමතිතුමා තමන්ගේ මතය තහවුරු කරන්න පොඩි ගණිතමය සූත්‍රයක් එක්ක තර්කයකුත් ඉදිරිපත් කළා. ඇමතිතුමාගේ වචන වලින්ම ඒක කිව්වේ මෙහෙමයි. දැන් ග්‍රාම නිලධාරී මහත්තයෙකුට කාර්යාල දීමනාව විදිහට මාසෙකට රුපියල් 1000 ක් දෙනවා. නිල සෙවණට අයිති අනිත් නිලධාරීන්ටත් අඩු වැඩි විදිහට කාර්යාල දීමනාවක් දෙනවා. අපි හිතමුකෝ ඒ මුදල මාසෙකට තුන්දහසයි කියලා. තුන් දහස ගාණේ අවුරුද්දේ මාස දොළහට රජය රුපියල් තිස් හයදහසක්.
එතකොට අවුරුදු 05 ක් යනකොට ලක්ෂ දෙකක් විතර රජය අනුන්ගේ කඩකාමර වලට නිකං කුලී ගෙවනවා. අවුරුදු 05 ක් විතර යනකොට ලක්ෂ දහටයකට වඩා වැඩි මුදලක් අපේ නොවන තැනකට කුලිය ගෙවනවා. ඒත් අපි ලක්ෂ විස්සක් වියදම් කරලා කාර්යාලයක් හදලා දුන්නාම ඒක අවුරුදු තිහ හතලිහක් විතර යනකම්ම භාවිතයට ගන්න පුළුවන්. මේ කාර්යාල හැදුවාම අපිට ස්ථිර කාර්යාලයකුත් ලැබෙනවා. පරණ කඩ කාමර කුලියට අරගෙන අත්‍යවශ්‍ය පහසුකම් නැති තැනක රාජකාරී කරන්න වෙන්නෙත් නෑ. ඉතිං, ඒක හොද ආයෝජනයක් නෙවෙයිද? ඒ නිසා අපි ලංකාව පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකට මෙම කාර්යාල හදනවා.
අමාත්‍යතුමා පැවසූ කතාව සියයට සියයක්ම නිවැරිදි නේදැයි අපිටත් හිතුනා. මොකද දැන් සමහර ග්‍රාම නිලධාරීන් ඇතුළු මේ නිලධාරීන් ඉන්නේ බොහොම අවම පහසුකම් තියෙන කුලියට ගත්ත ස්ථාන වල. සමහර තැන් වල සේවාලාභීන්ට විතරක්
නෙවෙයි නිලධාරියාට හදිසියකට යන්න වැසිකිලියක්වත් නෑ. එහෙම වුනාම සේව්‍ය සේවක යන පාර්ශව දෙකම ඉන්නේ දැඩි කළකිරීමෙන්. ඒක රජයේ පාර්ශවයෙනුත් අඩුවක්.
අනිත් අතට බැරි වෙලාවත් එක නිලධාරියෙක් නිවාඩු ගත්තත් අනිත් නිලධාරීන් තුන් දෙනා කාර්යාලයේ ඉන්නවා. ඒ නිසා තමන් ආපු වැඩේ ගැන ඒ නිලධාරිවරයෙකුගෙන් විමසා සුදුසු උපදෙසක් වුනත් ගන්න බැරි කමක් නෑ. අඩුම ගානේ නිවාඩු ගත්ත නිලධාරියා ආපහු කවදද එන්නේ කියන එකවත් දැනගන්න පුළුවන් නේ. ඒ නිසා ආයේ ඡන්ද නාමලේඛනය උනත් පුරවලා තැන් තැන්වල තියන්න ඕන නෑ. විශ්වාසයෙන් යුතුව ඒ පෝරමය ග්‍රාම නිලධාරි මහතාට දෙන්න කියලා අනිත් නිලධාරියෙකුට දීලා එන්න පුළුවන්.
ඇමතිතුමා කියන විදිහට ලංකාවේ ග්‍රාම නිලධාරි වසම් 14000 ක් පමණ තිබෙනවා. අඩුම ගානේ මේ වසර ඉවර වෙනකොට එයින් භාගයකටවත් මේ වගේ කාර්යාලයක් ලබලා දෙන්න ඉදිරි වසර තුළ වත්මන් රජය කටයුතු යොදනවා කියලත් කිව්වා. නිවැරදි වැඩපිළිවෙලක් දියත් කරලා තියෙන නිසා ඒ ඉලක්කයට යන්න බැරි වෙන එකක් නැහැ. මොකද මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළත් ග්‍රාම නිලධාරි වසම් 70 ක නිල සෙවණ කාර්යාල ඉදිවෙනවා.
සංවර්ධනය ගැන කතා කරනකොට මේවා තමයි හැබෑම සංවර්ධන වැඩ. මොකද, රටක් දියුණු වෙනකොට ගම් මට්ටමින් සිදු වන සංවර්ධනය තමයි වඩාත් වැදගත්. චීනය අද ඉන්න තත්වයට දියුණු වුනෙත් මේ වටේ ගම් මට්ටමින් ගෙන ගිය සංවර්ධන වැඩසටහන් තුළින් කියලා අපි අහලා තියෙනවා. එහෙම නම් වත්මන් රජය ගෙන යන මෙම නිල සෙවණ කාර්යාල වැඩසටහන දිනෙන් දින සාර්ථකත්වයට පත් වනු දැකීම රටේ ජනයාගේ පැතුමයි.
මනෝෂිකා හේරත්,