මාර්තු 19, 2019

tami eng youtube google twitter facebook

    මව්බස දන්නෝ - මව් හඳුනන්නෝ- ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි

    පෙබරවාරි 21, 2019

    භාෂාමය හා සංස්කෘතික විවිධත්වය, බහු භාෂා භාවිතය, භාෂා සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස සැම‍රේ.

    රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.

    මව් භාෂාව, තමන්ට උපතින් හිමි වන භාෂාව, එ‍සේත් නැතිනම් උප‍තේ සිට තීරණාත්මක කාලයක් තුළ මුලින්ම ඉගෙනගන්නා භාෂාව වශ‍යෙන් සරලව අර්ථ දැක්විය හැකි ය. යු‍නෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර දින සහ වර්ෂ නම් කිරී‍මේ දී මානව ක්‍රියාකාරීත්වය අහිතකර ලෙස බලපා කිසියම් අර්බුදයකට ලක්ව ඇති ක්‍ෂේත්‍රයන්පිළිබඳව වැඩි අවධානයක්යොමු කරයි. එබැවින්පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු පවතී. ඒ අතර බංග්ලා‍දේශය, ‍බෙංගාලයහෙවත් නැගෙනහිර පාකිස්ථානය නමින් වර්තමාන පාකිස්ථානය යට‍තේ පාලනය වූ සම‍යේ තම රටේ ජාතික භාෂාව තම මව් භාෂාව වනබෙංගාලි භාෂාව විය යුතු යයිබෙංගාල ජාතිකයින් සටනක් ඇරඹීය.

    පාකිස්ථානු රජය තම මව් භාෂාව වන උර්දු භාෂාවබෙංගාලයේ ද ජාතික බස විය යුතු බව යෝජනා කිරීමට එ‍රෙහිව බෙංගාල ජාතිකයන් වි‍රෝධතා එල්ල කරන්නට විය. එම වි‍රෝධතා උද්ඝෝෂණයක දීබෙංගාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතර දෙනෙකුවර්තමාන ඩකා අගනුවර ප්‍ර‍දී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. එම විශ්වවිද්‍යාලශිෂ්‍යයින් ඝාතනය වූ 1952 පෙබරවාරි 21 දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයක් පාසා එම දිනය ජාතන්තර මව් භාෂා දිනය වශයෙන් යුනෙස්කෝ සංවිධානය සැමරීමට සැලැස් වීය.

    මරියා ස්මිත් ජෝන්ස් ඇමෙරිකාවේ ජීවත් වූ ආදිවාසි ගෝත්‍රයකට අයත් කාන්තාවක් වන අතර වසර 89 ජීවත් වූ ඇය 2008 වර්ෂයේ ජනවාරී 21 මරණයට පතවීමත් සමඟ “එයික්” නැමති භාෂාව මළ භාෂා ලැයිස්තුවට එක් වූ‍යේ එ‍තෙක් ලොව ජීවත් වූ එයික් භාෂාව ව්‍යවහාර කළ අවසාන පුද්ගලයා ඇය වූ නිසා‍වෙනි. ඇයගේ අවසාන කාලයේ දී ඇය ස්වෝත්සාහයෙන් එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කළාය. එහෙත් අවාසනාව වන්නේ එහි ඇති වදන් සහ අර්ථය දන්නෝ ලොව කිසිවෙකු නොමැති වීමය. 2008 වර්ෂය ජාත්‍යන්තර භාෂා වර්ෂය ලෙස නම් කිරීම ඇය‍ගේ මහඟු කාර්යයට කරන ලද ගෞරව දැක්වීමක් මෙන් විය.

    යුනෙස්කෝ සංවිධානය විසින් 1999නොවැම්බර් මස 17 වැනිදා නිල වශ‍යෙන් ජාත්‍යන්තර භාෂා දිනය ප්‍රකාශයට පත්කිරී‍මෙන් අනතුරුව 2000 වර්ෂ‍යේ සිට රටවල් 188 ක් ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරති. ලෝක‍යේ ව්‍යවහාරිත භාෂා පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයක දී දැනටලෝක‍යේ පිළිගත් භාෂා 6912ක් ව්‍යවහාර වන බව හඳුනා‍ගෙන තිබේ. එයින් භාෂා දහයක් පමණ වචන නොමැතිව සංඥා භාෂාවන් ය. දැනට ව්‍යවහාර වන භාෂා අතුරින් 50%කට වඩා වැඩි භාෂා ගණනක් ව්‍යවහාර‍යෙන් ඉවත්ව මළ භාෂා ලැයිස්තුවට එක්වීමේ අවදානමක් පවතී. වඩාත් භයානකම කරුණ වන්නේමෙම භාෂා අතුරින් එක් භාෂාවක් සෑම සතිදෙකක් තුළම ලොවට අහිමි වීමයි.

    ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව "චීන භාෂාව (මැන්ඩරින්)" බව දන්නෝ අතලොස්සකි.දෙවන ස්ථානය ස්පාඤ්ඤ භාෂාවට හිමි වන අතර ඉංග්‍රීසි භාෂාව තුන්වැනි ස්ථානයේ පසුවෙයි. දෙමළ භාෂාව විසිවෙනි ස්ථානයේ පසුවන අතර සිංහල භාෂාවට හිමි වන්නේ 62 ස්ථානයයි.

    දේව භාෂාව වශයෙන් සැලකීමට පටන් ගැනීම සංස්කෘත භාෂාවේ විනාශයට හේතු වූ බව ඉන්දියානු භාෂා විශාරදයන් පෙන්වා දෙයි. භාෂාවක වර්ධනයලේඛනයට වඩා කථනයේ රැඳී පවතී. කථා නොකරන භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ලොව ව්‍යවහාර වන භාෂා අතරින් 90%ක් තරම් අති බහුතර භාෂා ප්‍රමාණයක් ව්‍යවහාර කරන්නේ සමස්ථ ලෝක ජනගහනයෙන් 4%ක් තරම් වූ ඉතා සුළු ප්‍රතිශතයකි. ජාත්‍යන්තර භාෂා දිනය සැම‍රෙනු‍‍යේ විශ්ව භාෂාවන් අද මුහුණ පා ඇති අභියෝග හදුනා‍ගෙන ඊට විසදුම් සැපයීමේ අරමුණිනි.

    භාෂාවන් මිහිපිටින් තුරන් වීමේ අවදානම මූලික වශයෙන් ගෝලීයකරණයේ අනිසි ප්‍රතිඵලයකි. ගෝලීයකරණය තුළ සිංහල භාෂාව ද අභියෝගයට ලක්වීමනොරහසකි. සිංහල භාෂාව වඳ වී යන භාෂාවක් බවට පත් වී ඇති බව මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය වරක් ප්‍රකාශ කළා ය. අද ශ්‍රී ලංකාවේ කුඩා ළමයාගේ සිට ඉංග්‍රීසි සඳහා සිදුවන සීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩාල කරමින් ති‍බේ. මෙරට අධ්‍යාපනය සීඝ්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යකරණය වීම විශ්වවිද්‍යාලවල සිට පෙර පාසැලට ද
     න්තර්ගහණය වී ඇත්‍‍තේ ළමයෙකුට මූලික අධ්‍යාපනය තම මව් බසින් ලබා දිය යුතුය යන මනෝවිද්‍යාත්මක සංකල්පය ද බැහැර කරමිනි.මේ ඔස්සේ සිංහල භාෂාව දිනෙන් දින අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් බැහැරවෙමින් පවතී.

    සිංහල සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වන බවපෙනී යයි. සිංහල භාෂාව සතුව විශාල වචන මාලාවක් පැවතිය ද දිනෙන් දිනබොහෝ වචන භාවිතයෙන් ඉවත් වෙයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%කි. එම පිරිස මෙරට බුද්ධිමතුන් හා උගතුන් බහුතරයයි. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන, නව දැනුම සමග ගනුදෙනු කරනමේ පිරිස් එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොකිරීම නිසා සිංහල භාෂාවේ උපයෝගීතාව හීන වෙමින් පවතී. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන විට නව වදන් බිහි නොවීම තුළ භාෂා‍‍වේ වර්ධනය ද පසු බසී. අතීතයේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තත්ත්වයෙහිලා සලකනු ලැබු භාෂාවක් නොවීය.

    මෙම තත්ත්වය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ මුද්‍රණ කලාව හා කථන කලාව දියුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කරන ලදී. විලියම් ෂෙක්ෂ්පියර් (1564-1616) රචනා කළ නවකථා හා නාට්‍යවල නව ආරයේ වදන් පෙළක් භාවිතා විය. එහි ආකර්ෂණය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයේ ඉහළ නැංවීමට එය ඛෙහෙවින් උදව වී ඇති බව මේ වන විට පැහැදිලිය. එංගලන්ත කිරීටය විසින් පෙරදිග රටවල් යටත් කර ගැනීමෙන් ඉංග්‍රීසි බස පුලුල් ලෙස ව්‍යප්ත කර ගනු ලැබීය. අනෙකුත් භාෂාවල වචන ආදරයෙන් වැළඳ ගැනී‍මෙන් ඉංග්‍රීසි භාෂාව වේගයෙන් පෝෂණය විය. ලොව පුරා මිලියන 400ක් පමණ ජනතාවගේ මව් බස වශයෙන් සැලකෙන ඉංග්‍රීසි භාෂා‍වේවෙනත් භාෂා 146 කින් ලබාගත් වචන මිලියනයකට වඩා පවතී. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආධිපත්‍යය තනිව බුක්ති විදීමට ඉංග්‍රීසි භාෂාවට හැකි වී නැති අතර රුසියාව, චීනය, සහ ස්පාඥ්ඥය සිය මව් භාෂා අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂාකර ගැනීමට සමත් වී ඇත.

    ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ. ඉංග්‍රීසි භාෂාව කථාකරන ජනසංඛ්‍යාව ලෝකයේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ වැඩියෙන්ම ජනතාවක් කථා කරන භාෂාව චීන භාෂාවයි(මැනඩරීන්).නීතිමය අධිකාරයක් නැති භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ඉන්පසු එය මල භාෂා ලැයිස්තුවට එකතු වෙයි. දරුවෙකුගේ භාෂා කුසලතා වර්ධනය වයස අවුරුදු හතේ දී සම්පූර්ණවන බව වාග් විද්‍යාඥයෝ පවසති.

    ආසියාවේ ඉහළ සාක්ෂරතා ප්‍රතිශතයක් අපට හිමි බව නොයෙක් වාර්තාවලින් කියවේ. එහෙත් එකී සාක්ෂරතා නිර්ණායකයේ පදනම කුමක් ද? යාන්තමට සිය අත්සන තැබිය හැකි පුද්ගලයා ද ඊට අයත් ය. අනෙක් අතට සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වෙයි. භාෂාව සතුව විශාල වචන මාලාවක් තිබුණ ද දිනෙන් දින එම වචන භාවිතයෙන් ඉවත් වෙයි. සිතීමේ උපකරණය භාෂාව යයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළේ ය. යමෙක් සිතන්නේ ද සිය සංස්කෘතිය අවශෝෂණය කර ගන්නේ ද මව් බසින් බව පැවසෙයි. මේ අනුව යමෙකුට සිය මව් භාෂාව අහිමි වීම සමග සංස්කෘතිය ද අහිමි වෙයි. සිතීමේ උපකරණය ද අහිමි වෙයි. එවිට බිහි වන්නේ මිනිස් යන්ත්‍ර මිස මිනිසුන් නොවේ.

     

    මව්බස වැරදි ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව්බසින් ඉගෙනීම අත් හැරීම ද ජාතියේ ඉදිරි ගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසි කලකත් ලොව ඉහළට යන්නේ නැත. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසුවේ ද එයයි. අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට නම් මව්බස ප්‍රගුණ කළ යුතුමය. යොදා ගත යුතුමය. විදේශයක ඉපදී එම දේශය තුළ හැදුණු වැඩුණු සිංහල මවුපියන්ගේ දරුවකුට මව්බස වන්නේ එම දේශයේ භාෂාවයි. එය ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හෝ වෙනත් භාෂාවක්‌ විය හැකියි. එම දරුවා හැදෙන වැඩෙන විට ඔහුගේ මනසෙහි නව නිර්මාණ බිහි වන්නේ එම භාෂාවත් සමඟයි. එහෙත් සිංහල මවුපියන්ගේ දරුවෙක්‌ මෙරට හෝ පිටරට බිහි වී සිංහලය මව්බස ලෙස කුඩා කල සිට යොදා ගන්නේ නම් ඔහුට නව නිර්මාණ බිහිකළ හැක්‌කේ සිංහල මව්බස තුළින්ය. සිංහලය මව්බස කර ගත් අයට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් කොතරම් දුරට ප්‍රගුණ කළත් එම භාෂා අධ්‍යයනය තුළින් ඔහුට සාර්ථක නව නිර්මාණ බිහි කළ නොහැක.

    තම අදහස්‌ අන් අයට වචනයෙන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා උපකරණය භාෂාවයි. මිනිස්‌ ලොවේ විවිධ ජන කොටස්‌ ජීවත් වන අතර ඒ හැම කොටසකටම තමන්ටම සුවිශේෂ වූ භාෂාවක්‌ ඇත. එය මව්බස නමින් හැඳින්වේ. මව් යන විශේෂණය යොදා ගැනෙණුයේ මොළය හා හදවත යන අංශ දෙකටම බැඳුණු යම් අදහසක්‌ පැවසීමටයි. ඒ අනුව මවගෙන් වියුක්‌තව භාවිත වන වචන කිහිපයක්‌ ඇත. වෙනත් භාෂා වල ද එවැනි යෙදුම් තිබෙන අතර සිංහල භාෂාවේ මව්බිම, මව්බස යන වචන දෙක විශේෂිතයි. තමා උපන් බිම මව්බිම වන අතර මවගෙන් උරුම වූ බස මව්බසයි. මව්බිමට මෙන්ම මව්බසට ද මවට හා සමානව සැලකීමේ හා පිළිගැනීමේ පිළිවෙතක්‌ මිනිස්‌ සමාජය තුළ විශේෂයෙන් ආසියාතික සමාජය තුළ පවතී. ඒ නිසාම "ජනනී ජන්මභූමිශ්ච ස්‌වර්ගාදපි ගරීයසි" යනුවෙන් වැදූ මවත් උපන් බිමත් ස්‌වර්ගයටත් වඩා උතුම්ය යන පැරණි කියමනක්‌ ද ඇත. මව්බස ද එවන් ගෞරවාන්විත බවකින් යුතු වන්නකි.

    සිංහලයාගේ මව්බස සිංහල බස ලෙස සැලකේ. එය හෙළබස යනුවෙන් ද සමහරු හඳුන්වති. සිංහල භාෂාව සිංහල රට තුළ සිංහලයන් විසින්ම සකස්‌ කරගනු ලැබූවකි. වෙනත් බොහෝ භාෂාවලට වඩා සිංහල භාෂාවේ ඇති සුවිශේෂ වැදගත් කම නම් එම බසට පමණක්‌ සුවිශේෂ වූ සංකේත හෙවත් අකුරු තිබීමයි. දෙමළ බසක්‌ තිබුණ ද එය ලියන්නේ ද්‍රවිඩ අක්‌ෂර වලිනි. සංස්‌කෘත හා හින්දි උර්දු ආදී භාෂාවන් ලියන්නේ දේවනාගරී අක්‌ෂර වලිනි. ඉංග්‍රීසි ඇමරිකන්, රුසියන්, ප්‍රංශ, ඉතාලි, ජර්මන් ආදී යුරෝපීය භාෂාවන් ලියන වෙන වෙනම අක්‌ෂර නොමැත. ඒ සියලු භාෂාවන් ලියන්නේ රෝම අකුරු වලිනි. එහෙත් රෝම භාෂාවක්‌ අද වනවිට නොමැත. මේ නිසා සිංහලය මව්බස ලෙස උරුම කර ගත් සිංහලයන් මෙන්ම සිංහල බසට ද ලොව සුවිශේෂී තැනක්‌ හිමිවිය යුතුය. අදහසක්‌ නිවැරදිව පැවසීමට නම් මව්බස නිවැරදිව ලිවිය යුතුය. නණ ලළ හේදය ද නොතකා බොහෝ දෙනා වැරදි ලෙස ලියති. මව්බස යොදා ගනිමින් උගන්වන ඉගෙන ගන්නා හා පොත් පත් ලියන බොහෝ දෙනා මේ ආකාරයේ වැරදි බොහෝ සිදු කරති. දිනපතා පුවත්පත් වල ද එවැනි වැරදි බොහොමයක්‌ දක්‌නට ලැබේ. මෙසේ
    මව්බස වරද්දා ගැනීම මුල වරද්දා ගැනීමකි. ඉතා ශ්‍රේෂ්ඨ බසක්‌ හිමිකරගෙන ඇති සිංහලයන් එම බස නිසි ලෙස භාවිත නොකිරීම නිසා ජාතියක්‌ වශයෙන් හිමි අනන්‍යතාව මෙන්ම අනාගත දියුණුව ද ඇනහිට ඇත.

    භාෂාව, අපගේ ස්පර්ශීය සහ අස්පර්ශීය උරුමය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ඉතා බලගතු උපකරණයයි.ලෝකයම සිය මව් භාෂාව සමරන අද දිනහෝ සිංහලයා, සිංහල භාෂාවේ පරිහානියට එ‍රෙහිව

    ක්‍රියාත්මක වන්නේ නම් අප‍ගේ අනාගත පරපුර ද සිංහල භාෂා‍වේ ඔද තෙද විඳීමට තරම් භාග්‍යවන්ත වනු ඇත. ජාත්‍යන්තර මව්භාෂා දිනයට සමගාමීව සිංහල මව්බස රැක ගැනීම මෙන්ම ප්‍රවර්ධනය කිරීම ද මෙරට ජාතික හිමිකම් සුරක්‌ෂිත කිරීමක්‌ ලෙස ද සැලකිය යුතු ය.

    ඩබ්.එම්.ටී.ඉන්දික
    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu