අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 19 කට පසු නැවත බලගැන්වූ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක

    පෙබරවාරි 23, 2019

     පෙබරවාරි මාසය දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට විශේෂ මාසයක්. ඒකට හේතුව තමයි මීට වසර 19 කට පෙර 2000 වසරේ පෙබරවාරී මාසයේදී තමයි මුල් වරට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරලා දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටවලා හා හා පුරා කියලා අපි වැඩ ආරම්භ  කළා.

    එදා මගේ වයස අවුරුදු 27 යි. මාත් සමග එදා තවත් ප්‍රවෘත්ති නිලධාරීන් 24 දෙනෙක් මාධ්‍ය ඒකක රාජකාරි වලට එක් වුනා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ 23 වැනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ ආරිය රූබසිංහ මහතායි.

    2000 වසරේ පෙබරවාරී මාසයේ අපි දිස්ත්‍රික් මට්ටමින් රාජකාරී භාර ගත්තත් අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරීන් විදිහට පත්වීම් ලබා ගත්තේ 1999 දෙසැම්බර් පළමුවැනිදායි. එදා අපි පත්වීම් ලබා ගත්තේ නිදහසින් පසු ජනමාධ්‍ය විෂය භාරව කටයුතු කළ 16 වැනි අමාත්‍යතුමාගේ සුරතිනුයි. (ඒ වෙනකොට ජනමාධ්‍ය විෂය භාරව වරින් වර අමාත්‍යවරු 15 දෙනෙක් සේවය කොට තිබුනා.)

    මේ සිදුවීම හා බැදුන තවත් සිද්ධියක් තියෙනවා. එදා 1999 වසරේ දෙසැම්බර් පළමුවැනිදා අපිට පත්වීම් දෙනකොට ලංකාවේ ජනමාධ්‍ය විෂය භාරව කටයුතු කළ 16 වැනි ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ මංගල සමරවීර අමාත්‍යතුමාම නැවත වරක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය හොබවමින් මාධ්‍ය ඒකක බලගන්වන්න වැඩසටහනක් දියත් කරලා තිබීම. ඒ අනුව ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති මාධ්‍ය ඒකක සදහා රුපියල් මිලියන 12 කට වැඩි මුදලක් යොදවා අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමට කටයුතු කළා.

    1948 ජූලි මස 31 වැනි දින සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් හා නිර්දේශ මත කොළඹ ගාලු මුවදොර මහලේකම් කාර්යාලීය සංකීර්ණයේ තමයි මුල් වතාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබෙන්නේ. ඊට පස්සේ කොළඹ විවිධ ස්ථානවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගොස් තිබුනා. එහෙම පිහිටවූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කොළඹින් පිටට යන්න හිතන්නේ තවත් අවුරුදු 50 ක් ගත වුනාට පස්සෙයි. එහි ගෞරවය හිමිවිය යුත්තේ එදා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශ භාරව කටයුතු කළ අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය උසුලන මංගල සමරවීර මහතාටයි.

    හැමදාම වෙනස් දෙයක් කරන්න, වෙනස් විදිහට හිතපු ලංකාවේ බිහි වූ 16 වැනි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ඒ වෙනකොටත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලකිය යුතු වැඩ කොටසක් ආරම්භ කරලයි තිබ්බේ. ජනමාධ්‍යවේදීන් උදෙසා ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම නිවාස යෝජනා ක්‍රමය ඒ අතරින් කැපී පෙනුන වැඩක්. "රිචඩ් ද සොයිසා නිවාස යෝජනා ක්‍රමය" යනුවෙන් නම් කළ මාධ්‍යවේදීන් සදහා ඉදි කළ එම නිවාස ව්‍යාපෘතිය තුළින් මාධ්‍යකරුවන් 44 දෙනෙකුට නිවාස පිරි නමන්නට එදා මංගල සමරවීර මහතා කටයුතු කළ බව ඒ වෙනකොට අංකුර ජනමාධ්‍යකරුවන් විදිහට සේවය කරපු අපි දැක්කා. (මේ වනවිට වත්මන් රජයත් එවැනි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරලා ක්‍රියාත්මක කරමින් යනවා. ඉදිරියේදී එය ක්‍රියාත්මක වෙයි.)

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටුවීමට ගත් තීරණයත් ඒ වගේ අලුත් අත්දැකීමක් වුනා. එදා අමාත්‍යවරයාට අවශ්‍ය වුනේ රජය මගින් දිස්ත්‍රික් මට්ටමින් දියත් කරන සංවර්ධන වැඩසටහන් පිළිබද නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදීමටයි. ඒ සදහා විධිමත් සහ වගකිව යුතු යාන්ත්‍රනයක් සකස් කරන්නට වුනා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් සිටින වාර්තාකරුවන්ව රජය වෙනුවෙන් නිසි පරිදි සම්බන්ධීකරණය කරන්නට ඒ වන විට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරීයෙක් හිටියේ නෑ. ඒ සම්බන්ධීකරණය ගොඩ නැගීමත් මාධ්‍ය ඒකක සංකල්පයේ අරමුණක් වුනා.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටවීම තුළින් බලාපොරොන්තු වූ තවත් අරමුණක් වුනේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට අවශ්‍ය පහසුකම් රජය වෙනුවෙන් ලබාදිය හැකි දිස්ත්‍රික් මට්ටමේ පහසුකම් සලසන්නෙක් යෙදවීමයි. ඊට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල් කිරීම, ප්‍රාදේශීය වශයෙන් වැදගත් සංවර්ධන තොරතුරු වඩාත් නිවැරදිව රජය වෙනුවෙන් මාධ්‍ය වෙත ලබා දෙන සම්බන්ධීකාරකයෙක්ගේ භූමිකාවත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සදහා පැවරීමට සැලසුම් කොට තිබුනා.

    මෙම වැඩසටහන යටතේ මුලින්ම සැලසුම් කළේ අංග සම්පූර්ණ මාධ්‍ය ඒකකයක් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමටයි. ප්‍රවෘත්ති නිලධාරියාට අමතරව, කැමරා ශිල්පියෙක්, වීඩියෝ කැමරා ශිල්පියෙක් සහ කාර්යාල කාර්ය සහායකයෙක් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යෙදවීමට සැලසුම් කරලා තිබ්බා. ඒත් ඇති වූ විවිධ ගැටළු නිසා එකවර ඒ සියල්ල සපුරා ගන්න බැරි වුනා. ඒ නිසා මාධ්‍ය ඒකක පිහිටුවීමේ ආරම්භක පියවර විදිහට ප්‍රවෘත්ති නිලධාරියෙක් පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික්ක සියල්ලටම පත් කළා. ඉදිරි කාලයේදී මාධ්‍ය ඒකක තව දුරටත් ශක්තිමත් කරමින් පුළුල් කිරීමේ අදහසක් ඒ මොහොතේ තිබුනා. තවත් දෙයක් සදහන් කළ යුතුමයි.

    අපිව සේවයට බදවා ගන්නකොටත් අමාත්‍යවරයාට අවශ්‍ය වුනේ සැබෑම දක්ෂයන් පිරිසකට ඒ අවස්ථාව ලබා දෙන්නටයි. ඉතාම පහසුවෙන් දේශපාලන හිතවත්කම මත මේ පත්වීම් සියල්ල ලබා දෙන්නට පුළුවන් වුනත් එහෙම කළේ නෑ. විශ්ව විද්‍යාලයකින් ජනසන්නිවේදනය විෂය හදාරපු හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති පිරිසක් අතරින් විවෘත තරග විභාගයක් තියලා, ඒ විභාගයෙන් සමත් වූ පිරිසක් නැවත සම්මුඛ පරීක්ෂණයකටත් ලක් කරලා, ප්‍රායෝගික පරීක්ෂණයකුත් තියලා තමා අපේ පිරිස සේවය එක් කර ගත්තේ.

    කොහොම වුනත් එදා අපිව දිස්ත්‍රික්ක මට්ටමට යවනකොට අපි ගියේ අවම පහසුකම් යටතේයි. ඉන්න මේසයකුයි, පුටුවකුයි, කබඩ් එකකුයි ලැබුනා. පරිගණකයක් සහ ෆැක්ස් යන්ත්‍රයකුත් ටික දවසකට පස්සේ ලබා දුන්නා. එදා අපි තනි නිලධාරියෙක් වුනත් තරුණ ජවයත් එක්ක ඉතාම ජව සම්පන්නව වැඩ කළා. නමුත් කාලයත් සමග සිදුවූ වෙනස්කම් සහ පෙරළි නිසා මාධ්‍ය ඒකක දියුණු කිරීම ගැන කතාව ඇහෙන්නනේ නැති වුනා. ඒත් අපි පුළුවන් උපරිමයෙන් වැඩ කළා. දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කටයුතු සම්බන්ධීකරණ දිසාපති කාර්යාලයේ දිසාපතිවරයාට නැතුවම බැරි අංශයක් බවට අද වන විට දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පත් වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ සම්බන්ධීකාරයකයෙක් විතරක් නෙවෙයි රජය වෙනුවෙන් ඔවුන්ගේ දුක්ගන්නාරාල කෙනෙක් වෙන්නටත් මාධ්‍ය ඒකකවල නිලධාරීන්ට හැකියාව ලැබිලා තියෙනවා.

    කොහොම වුනත් අපි ලැබුනු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්තා. මාධ්‍ය ඒකක සදහා කැමරා ශිල්පීන් නොහිටියත්, කැමරා නොතිබුනත් අපි ලග තියෙන පුද්ගලික කැමරා ආම්පන්න යොදා ගෙන වැඩ කරපු වාර අනන්තයි. ඊයේ වෙනකම්ම අපි කැමරා විදිහට පාවිච්චි කරන්නේ අපේ ජංගම දුරකතනයි. තනි පුද්ගලයෙක් විදිහට මාධ්‍ය ඒකකයක වැඩ කොහොම හරි කරගෙන ගියා. වසර කිහිපයකට පසුව තමයි උපාධීධාරී පදනමෙන් ගත්ත නිලධාරියෙක් මාධ්‍ය ඒකක සදහා යෙදවූවේ. ඒ අනුව අපි මේ වන විට එම නිලධාරීන් ද එක්කර ගෙන දිස්ත්‍රික්කය පුරා සැලකිය යුතු කාර්යභාරයක් කරනවා.

    කොහොමින් කොහොම හරි වසර 19 කට පස්සේ ආපහු වතාවක් එදා අපිට පත්වීම් ලබා දුන් මංගල සමරවීර අමාත්‍යතුමාම නැවත වතාවක් අපිව කැදවලා මාධ්‍ය ඒකක ශක්තිමත් කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්. 2000 වසරින් පසු මෙතරම් උපකරණ ප්‍රමාණයක් මාධ්‍ය ඒකකයට ලැබුනු ප්‍රථම අවස්ථාව මෙයයි. ඉතිං අපි පුළුවන් උපරිමයෙන් අපේ සේවය ලබා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරියටත් ලබා දෙනවා.

    කොහොම වුනත් වසර 19 කට පස්සේ අද නැවත වරක් මංගල සමරවීර අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මාධ්‍ය ඒකකය වෙත යොමුවීම පිළිබද අපගේ බලවත් ප්‍රසාදය ඉදිරිපත් කරනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි, මාධ්‍ය ඒකක වසා දැමිය යුතුයි කියලා කියලා ඇතැම් උදවිය හඩ නගද්දි මාධ්‍ය ඒකක නැවත බලගැන්වීම ගැන අපට ඇත්තේ දැඩි සතුටක්. ඒ නිසා මේ ලැබුනු සම්පත් ප්‍රයෝජනයට ගෙන ඉදිරියටත් අපගේ සේවය කාර්යක්ෂම ඉටු කිරීමට අපට හැකියාව මේ තුලින් ලැබෙනු ඇතැයි අපි හිතනවා.

    ඒ වගේම අපේ මාධ්‍ය ඒකක පිහිටුවලා මේ අවුරුදදේ දෙසැම්බර් වලට හරියටම වසර 20 යි. එදා ලංකාවේ තිබුනු මාධ්‍ය සංස්කෘතියට වඩා වෙනස් මාධ්‍ය සංස්කෘතියක් තමයි අද තියෙන්නේ. සෑම දේම ඩිජිටල්කරණයට ලක් වෙනවා. එදාට වඩා ජනමාධ්‍ය භාවිතයත්, ග්‍රාහකයාගේ රසඥතාවයක් වෙනස් වෙලා. ජන මාධ්‍ය අභිබවමින් සමාජ මාධ්‍ය පෙරට එන යුගයක්. එහෙම පසුබිමක් තුළ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල සේවය කරන අපේ අභියෝගත් වෙනස් විය යුතුයි. ඒක අපිට විතරක් නෙවෙයි සමස්ථ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පොදු සිද්ධාන්තයක්. ඒ අභියෝග හදුනා ගෙන නිවැරදිව, අවබෝධයෙන් කටයුතු කළොත් තව අවුරුදු 29 කින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියවැනි සමරුව අභිමානයෙන් පවත්වන්නට පුළුවන් වෙයි.

    එහෙම නැති වුනොත් අපිත් සුදු අලියෙක් බවට පත්වීමට තිබෙන හැකියාව සහ ඉඩකඩ වැඩියි කියන එක තමයි අපේ හැගීම.එහෙම වුනොත් නම් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඈවර විය යුතුයි කියන තර්කය නැවරදි වෙයි. ඒ නිසා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රැක ගත යුත්තේ එහි සේවය කරන අපිම තමයි.

     

    මාධ්‍ය ඒකකයේ අපි
    මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya