මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනයේ නව මං විවර කරන '' ළඟම පාසල ' හොඳම පාසල '

    පෙබරවාරි 26, 2019

    මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇති කිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි.

    ජන සමාජය තුළ වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කරගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසුදරුවන්ට ඉඩ අවකාශ සැලසිණි.

    එහි ප්‍රතිඵලය වූයේ එතෙක් රට තුළ පැවති සාක්ෂරතා මට්ටමේ වේගවත් වර්ධනයක් සිදුවීමයි. එමෙන් ම කාන්තාවන්ගේ සාක්ෂරතාව ද එතෙක් ආසියාවේ අනෙක් රටවල පැවති තත්වයට වඩා කැපී පෙනෙන වර්ධනීය අගයක් ගැනීමට එම තත්වය හේතුවිය. රැකියා අවස්ථා බොහෝ දෙනෙකුට ලැබිණි. සමාජ සාධාරණීකරණයට ඇති හොඳම යාන්ත්‍රණය අධ්‍යාපනය බවට පත්විය.

    එහෙත් පසුකාලීන ව, විවිධ හේතු ගණනාවක් මත රටේ සියලු දරුවන්ට අයිතිව පැවති අධ්‍යාපන පහසුකම් හා වරප්‍රසාද නගරාශ්‍රිත පාසල් කිහිපයක් වටා පමණක් කේන්ද්‍රගත වීම මඟින් සිදුවූයේ සමාන ව පැවැත්වෙන ජාතික විභාග සඳහා අසාධාරණ හා අසමාන පහසුකම් යටතේ තරගකිරීමට එම පහසුකම් නැති දරුවන්ට සිදුවීමයි.

    තම දරුවන්ට ඉහළ ගුණාත්මකබවින් යුත් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේ ම හැම පියෙකුගේම බලාපොරොත්තුවයි. පහසුකම් සහිත, ජනප්‍රිය යැයි සම්මත පාසල් ප්‍රමාණය අතළොස්සක් බවට පත්ව තිබූ අතර එම පාසල් කිහිපයට කෙසේ හෝ තම දරුවා ඇතුළත් කරගැනීමේ අරගලයක යෙදෙන්නට මේ නිසා දෙමව්පියන්ට සිදුවිය.

    සම්මත නීති රීති යටතේ විධිමත්ව, නීත්‍යානුකූල ව ඇතුළත් කිරීමේ කටයුතු කළ නොහැකි වූ විට ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් හෝ, අල්ලස් දෙමින් හෝ මේ තරගකාරී අරගලයට එක්වන්නට දෙමව්පියන්ට සිදුවිය. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටිනවිට දරුවන්ට පවා බොරු උගන්වන්නට තරම් දෙමව්පියන්ගේ මානසික මට්ටම පිරිහී ගිය අතර, අවසානයේ එහි ප්‍රතිඵලය ලෙස දිගුකාලීන ව නොවිසඳුණු අර්බුදයක් අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය විය. විවිධ රජයන් යටතේ විවිධ අධ්‍යාපන අමාත්‍යවරුන් යටතේ විවිධාකාර විසඳුම් සහ ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ක්‍රියාවට නැංවූ නමුත්, සැලකිය යුතු ප්‍රතිඵලයක් ඒවායින් නොලැබී තිබුණි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරනවිට ද තත්වය එසේ ම පැවතිණි. සෑම මහජන දිනයක් ම ජනප්‍රිය පාසලකට දරුවන් ඇතුළත් කිරීමට අමාත්‍යවරයාගෙන් හෝ ලේකම්වරයාගෙන් ලිපි ලබාගැනීමට සිව්දිගින් පැමිණෙන දෙමව්පියන්ගෙන් ම පිරී ඉතිරිණි. අධ්‍යාපන පද්ධතිය තුළ කාලාන්තරයක් තිස්සේ ඔඩුදුවමින් පැවති මෙම අර්බුදයට එක රැයින් සෙවිය හැකි විසඳුමක් නොවිණි.

    එහෙත් ඉදිරි වසර 20ක් 30ක් එපිට ඇති අනාගතය අනුමාන කරමින්, ඒ වනවිට රටක් වශයෙන් අප සිටිය යුතු තැන, අපේ දරුවන් අත්පත්කරගත යුතු දේ, සහ මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් ආදී සියල්ල කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේ අවශ්‍යතාව කෙරෙහි අමාත්‍යවරයාගේ පූර්ණ අවධානය යොමු කෙරිණි.

    නගරාසන්නව පවතින පාසල් අතළොස්සකට පමණක් දරුවන් ඇතුළත් කිරීමට දෙමව්පියන් දරන පරිශ්‍රමය නතර කරන්නට හෝ එය ප්‍රතික්ෂේප කරන්නට හැකිවන්නේ ඊට සාධාරණ හේතු පාසල් පද්ධතිය තුළ ගොඩනැංවීමෙන් පමණි. කවර හෝ පාසලක් ජනප්‍රිය පාසලක් බවට පත්වන්නේ සෑම විෂයයකට ම ගුරුවරුන්, ක්‍රීඩාගාර, විද්‍යාගාර, රසායනාගාර, පුස්තකාල, සෞන්දර්ය ඒකක ඇතුළු පහසුකම් සහ දක්ෂ විදුහල්පතිවරයෙක් සිටීමෙනි. සිසුන්ගේ කාර්යසාධන මට්ටම ඉහළින් පවත්වාගැනීමෙනි. ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පාසලට අත්පත් කරදෙන දරුවන් පාසලක සිටීමෙනි. මේ තත්වය ඇතිකිරීමට සමත් වටපිටාව පාසලක ගොඩනැංවීමේ දී ඕනෑම පාසලක් ජනප්‍රිය වෙයි.

    දවසේ පැය ගණනින් සැලකිය යුත් ප්‍රමාණයක් මගතොටට වැය කරමින්, දරුවන්ගේ පාසල් ගමන විඩාබර එකක් බවට පත්කරමින් ජනප්‍රිය පාසල් වෙනුවෙන් නගර කරා යාමේ ප්‍රවණතාව ඉවත් කරලීමට හොද ම පිළිතුර පහසුකම් සහිත ජනප්‍රිය පාසල් බවට ගමේ පාසල් පත්කිරීමම පමණි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ළගම පාසල -හොදම පාසල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබුවේ ඒ වෙනුවෙනි.

    පාසල් ඉදිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් එකවර සිදුකළ විශාලත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් සෑම දරුවෙකුට ම තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම පාසල දරුවාට ඇතුළත් විය හැකි හොඳම පාසල බවට පත්කිරීමේ දැවැන්ත වැඩසටහන ඒ අනුව ආරම්භ කෙරිණි. රුපියල් මිලියන 64950 මූල්‍ය ආයෝජනයෙන් ප්‍රධාන ව්‍යාපෘති 18000කින් සමන්විත ව ඒ අනුව 2016 වසරේ සිට 2020 වසර තෙක් වසර හතරක කාලසීමාව තුළ ඉදිකිරීම් අවසන් වන පරිදි ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කෙරිණි.

    දිවයින පුරා පාසල් 9063ක් එකවර සංවර්ධනය කිරීම ඉතිහාසයේ එදාමෙදාතුර එකවර සිදුවන පළමු අවස්ථාව මෙයයි. පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් එකවර ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන කාර්යය ද මෙයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya