අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පැවැත්වුණ වැඩසටහනට එක්වෙමින් මහරගම අපේක්ෂා රෝහලේ දී ජනාධිපතිතුමා කළ කතාව

    මාර්තු 02, 2019

      ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පැවැත්වුණ වැඩසටහනට එක්වෙමින් මහරගම අපේක්ෂා රෝහලේ දී ජනාධිපතිතුමා කළ කතාව

    ලෝක මුඛ පිළිකා දිනය මුල්කර ගෙන පණිවුඩයක් දෙමින් ජනතාව දැනුවත් කරන මෙවැනි වැඩසටහනක් පවත්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබදව මා සතුටට පත් වෙනවා.

    මහාචාර්යතුමා මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. ඒ පිළිබඳ මම එතුමාට ස්තූති කරනවා. අපේක්ෂා රෝහල මට නුපුරුදු තැනක් නෙවෙයි. මා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි කාලයේ මගේ විශේෂ අවධානයට යොමු වූ තැනක් තමයි මේ රෝහල. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ඉතිහාසය ගොඩක් කටුකයි. මේ නව ගොඩනැඟිල්ල නිසා මම බොහෝ බැණුම් අහපු කෙනෙක්. මේ ගොඩනැඟිල්ල හදන්න ලොකු යුද්ධයක් කරන්නත් සිදුවුණා. කෙසේ වෙතත් මම සතුටු වෙනවා මේ නව ගොඩනැගිල්ල රෝගීන්ට පරිහරණය කරන්න අවස්ථාව ලැබීම ගැන. මෙය නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිපලයක්.

    පිළිගැනීමේ කතාව කරමින් රෝහල් අධ්‍යක්ෂතුමා ප‍්‍රාර්ථනාවක් කළා. එතුමා කිව්වා කවදාවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න එපා කියලා. ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට දන්නවා ඕක මනෝ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්. රෝහලක විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම ආයතනයක ඕනෑම ක්ෂේත‍්‍රයක පළමුවෙනියට දෙවැනියා ප‍්‍රශ්නයක්. දෙවැනියාට පළමුවෙනියා ප‍්‍රශ්නයක්. ඕක පරිපාලන හෝ කළමනාකරණ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඕක මනෝ විද්‍යාත්මක ප‍්‍රශ්නයක් කියලායි මම හිතන්නේ.

    ලෝක මුඛ පිළිකා දිනයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන්නේ මුඛ පිළිකා මුළු මහත් මානව සමාජයට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ දී ප‍්‍රමුඛ අභියෝගයක් වී තිබෙන නිසා. ඒ නිසා අපි පාසල් දරුවන් ප‍්‍රමුඛ සියලු දෙනා දැනුවත් කරමින් මුඛ පිළිකා නැතිකර ගැනීමේ කාර්යය සඳහා ප‍්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. දැහැත් වට්ටියේ ඉතිහාසයත්, බෞද්ධ සංස්කෘතියේ ඉතිහාසයත්, පරිත්‍යාගශීලී භාවය, දානය, පූජාකිරීම් ගත්විට දැහැත් වට්ටිය බෞද්ධ සංස්කෘතියේ ඉතා වැදගත් තැනක් උසුලනවා. නමුත් සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාත්මකව දැහැත් වට්ටිය පිළිබ`දව වෛද්‍යවරුන් දෙන උපදෙස් පිළිපැදිය යුතු වෙනවා. මේ පිළිබඳව අපි මීට වසර 7 කට පෙර දැනුවත් වී තිබූ නිසා තමයි මා සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට දැහැත් වට්ටිය හදලා හුණු, දුම්කොළ, පුවක් නොමැතිව අපේ ගෞරවනීය මහනායක ස්වාමීන් වහන්සේලාට එදා පිළිගන්වනු ලැබුවේ.

    මේ දැහැත් වට්ටියේ තිබෙන විශේෂත්වය තමයි හුණු නැහැ. දුම්කොළ නැහැ, පුවක් නැහැ. ඒ නිසා 2012 දී මහනායක ස්වාමීන් වහන්සේලාට එදා සෞඛ්‍ය උපදෙස් අනුව ඒ දැහැත් වට්ටිය පූජා කරලා උන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයෙන් එදා කරපු ඉල්ලීම අදත් මේ අපේක්ෂා රෝහලේ දී ගෞරවනීය මහා සංඝරත්නයෙන් වැඳ නමස්කාර කරමින් මම ඉල්ලීමක් කරනවා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සකස් කර තිබෙන දැහැත් වට්ටිය දායක සභා සාමාජිකයන් දැනුවත් කිරීමේ කරන ලෙස. මෙහිදී මහාසංඝරත්නයට වඩා වැඩි වගකීමක් තිබෙන්නේ දායක සභාවටයි. මහාසංඝරත්නයට වන්දනා කිරීමේ දී පූජා කිරීමේ දී විශේෂයෙන් බෞද්ධ ජනතාව තමයි දැනගන්නට ඕනෑ හුණු, දුමිකොළ, පුවක් නොමැති දැහැත් වට්ටියක් ගෞරවනීය මහාසංඝරත්නයට පූජා කිරීම පිළිබඳව. ඒ දෙන පණිවිඩය මගින් රටේ සාමාන්‍ය ජනතාවට ඒ පණිවුඩය හො`දින් ගලා යනවා.

    අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නයේ දී ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා එය අපේ රටට මොනතරම් අභියෝගයක් වී තිබෙනවාද කියන කාරණය. අද පොලීසියේ නිලධාරී මහත්වරු මා සමග කියන්නේ පාසල් දරුවන් භාවිත කරන මත්ද්‍රව්‍ය ඒ දරුවෝ ගෙදර දී හදාගෙන කලිසමේ සාක්කුවේ දාගෙන ඇවිත් පාසලට ඇවිත් කටට දාගෙන ගුලි හපන්න පටන් අරගෙන කියලා. ඒ වගේම පාසල් දරුවන් භාවිත කරන මේ මත්ද්‍රව්‍ය අල්ලලා නීතිය ඉදිරියට ගෙන යෑමේදී බොහෝ වේලාවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන විද්‍යාත්මක පදනම මත වෛද්‍ය වාර්තා, පර්යේෂණ වාර්තා මේ අලුත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නැහැයි කියන එකත් ඔවුන් සඳහන් කරනවා. අපි කතා කරන සිගරට්, අරක්කු අනෙකුත් නීතීවිරෝධී මත්ද්‍රව්‍ය අතර දරුවෝ හදාගන්න මත්ද්‍රව්‍යවලට දරුවන් ඇබ්බැහි වෙලා තියෙන්නේ. අද විශ්වවිද්‍යාලවල ඉතාම බරපතළ ප‍්‍රශ්නයක් වී තිබෙනවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නොමිලේ විශ්වවිද්‍යාල දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙනවා. මේ පිළිබඳ පැමිණිලි විශාල ප‍්‍රමාණයක් ලැබෙනවා. දෙමව්පියන් මට පුද්ගලිකවත් දන්වලා තියෙනවා ජනාධිපතිතුමනි අපේ දරුවාගේ පාසලේ මෙවැනි ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ උවදුරෙන් අපේ දරුවන් බේරලා දෙන්න කියලා. පාසල්වල උසස් පෙළ ශිෂ්‍යයෝ විදුහල්පතිතුමා සහ ගුරු මහත්වරුන් කියන දේ අහන්නේ නැතිව බොහෝ දඩබ්බර විදියට හැසිරෙන පුවත් අප අසා තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදුහල්පතිතුමා සහ ගුරු මහත්වරු දරුවන්ට අවවාද කළාම සුළු දඬුවම් දුන්නහම ඇතැම් විදුහල්වල දරුවෝ විදුහල්පතිතුමාට සහ ගුරුවරුන්ට තර්ජනය කළ අවස්ථා වාර්තා වෙනවා. ඒ නිසා මේක ඉතාම බරපතළ සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

    මේ සෑම කාර්යයක් තුළ ම මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕනෑ මේ මාර්තු මාසයේ 20 වෙනි දිනට යෙදිලා තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය මුල්කරගෙන මේ වැඩසටහන්වලට ප‍්‍රමුඛත්වයක් දෙනවා වගේ ම පසුගිය අවුරුදු ගණනාවක් අපේ සෞඛ්‍ය අමාත්‍යංශය, රෝහල්වල වෛද්‍යවරු මේ සදහා අපේ ජනතාවට ලබා දුන් මග පෙන්වීම්, උපදෙස් පිළිපදිමින් මේ ඉතාම භයානක තත්ත්වයෙන් පාසල් දරුවන් ඇතුලු සෑම කෙනෙක් ම බේරා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේ ම මත්ද්‍රව්‍ය පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බලකායේ අපි පේරාදණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට සහ වෛද්‍ය සංගමය ඒකාබද්ධව මේ මුඛ පිළිකා වැළැක්වීමේ වැඩසටහන අපි කරගෙන යන්නේ. මේක සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලූ ඒ සියලු ආයතන මෙහි දී දෙන සහයෝගය අපි ඉතාමත් අගය කරන්නට ඕනෑ. ඒ වගේ ම ප‍්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වෙලා තිබෙන මේ කාර්යයේ දී ඔවුන් සෑම කෙනෙක් ම දන්නවා මුඛ පිළිකා වර්ධනය වන්නේ කාන්තාවට වඩා පිරිමින් අතරේ කියන එක. දැන් අපි මේ වැඩසටහනට එන්න කලින් වාට්ටුවලට ගිහිල්ලා රෝගීන් කිහිප දෙනෙක් හමුවුණා බුලත් විටක් කෑම නිසා පිළිකා හැදිලා තියෙන. ඒ වගේ ම ඒ රෝගීන්ගෙන් සමහර අය කියපු දේ තමයි. බුලත් විටක් කනවා වගේ ම බුලත් විට එක්කම සිගරට් එකක් බොන එක ඒක ඒ ගොල්ලන් සම්ප‍්‍රදායක් විදියට පුරුද්දක් විදියට, අත්හරින්න බැරි දෙයක් විදියට කරගෙන ගොස් තිබෙනවා. කවුරුත් දන්නවා පිටිසර, ගම්බද බොහෝ වෙලාවට, අපි පාසල් යන කාලේ දන්නවා ඇතැම් වේලාවට ගම්වල ඉන්න අය කියනවා විටක් කාලා සිගරට් එකක් ගත්තහම තමයි ඒකේ නියම තෘප්තිය ඒගොල්ලන්ට එන්නේ කියලා. ඉතින් ඒ තෘප්තිය තුළ තිබෙන භයානකකම කොතෙක් ද කියන එක මම හිතන්නේ අපි ඉතාමත් ම පැහැදිලිව තේරුම්ගත යුතුව තිබෙනවා.
    ඒ වගේ ම අපේ රටේ මුඛ පිළිකා පිළිබදව ප‍්‍රශ්නයේ දී ප‍්‍රධාන වශයෙන් ම මධ්‍යම කදුකරය තමයි ප‍්‍රධාන වශයෙන් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙන්නේ. අපේ කදුකරය මුඛ පිළිකා පිළිබදව විතරක් නෙවෙයි. නීති විරෝධී අනෙකුත් මත්ද්‍රව්‍යවලින් ඒ ජනතාව බේරා ගැනීම පිළිබදව ඉතාමත් බරපතළ අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. ප‍්‍රධාන වශයෙන් ම වතුකරයේ වැඩ කරන ජනතාව, කම්කරු ජනතාව ඉතාමත්ම බරපතළ විදියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇබ්බැහි වෙලා තිබෙනවා. මේ කරුණු මූලික වශයෙන්ම ගැනීමේ දී අපි කතා කරගෙන ආපු ඒ වගේ ම බීඩි මේ ප‍්‍රශ්නයට බරපතළ ගැටලූවක්. බොහෝ වේලාවට මං කලින් කිව්ව පාසල් දරුවන් පාසලේ දී තමයි හුගක් දුරට පෙළඹෙන්නට පටන් ගත්තේ නමුත් දරුවෝ විසින් ම ඒවා ගෙදර හදන්න පටන් අරගෙන තිබෙනවා.

    මම දන්නවා අපේ රටේ තිබෙන නොයෙකුත් ¥ෂිත ව්‍යාපාර අතරින්, පුවක් ජාවාරම, කරුංකා ජවාරම ඉතාමත් දූෂිත ව්‍යාපාර අතිවිශාල වශයෙන් ලාබ ලබනවා. ඒවා අපේ රටේ නවත්වන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඉතින් මේ සියල්ල පිටුපස ව්‍යාපාර මගින් ජාවාරම්කරුවන් විශාල වශයෙන් ම කටයුතු කළ යතු බව පැහැදිලිවම කියන්නට ඕනෑ. මේ නිසා මේ මුඛ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය නිවාරණය කිරීම ප‍්‍රධාන වශයෙන් ම ප‍්‍රතිපත්තිමය කාර්යයක් ලෙසින් අපි අවධානය යොමු කරලා ඒ කටයුතුවලට ප‍්‍රමුඛත්වයක් දීමේ වැදගත්කම ඔබ සෑම කෙනෙක් ම දන්නවා. ඒ වගේ ම අපි පැහැදිලිව මෙහි දී සදහන් කළ කරුණු අතර සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ ඔවුන්ගේ අයවැය වියදම් පිළිබද ප‍්‍රශ්නයේ දී අද සාමාන්‍යයෙන් බුලත් විටක් රු.30 ක් රු 40 ක් පමණ වෙනවා. සමහර විට ඊටත් වැඩි වන අවස්ථාවන් තිබෙනවා. දැන් මේ විදියේ වියදමක් දරලා දවසකට විටක් නෙවෙයි විට ගණනාවක් කන අය දන්නවා අපි දන්නවා සමහර අයට බත් නොකා ඉන්න පුලූවන් විටක් නැතුව ඉන්න බෑ.

    අනෙකුත් මත්ද්‍රව්‍යයත්, සිගරට් ද, අරක්කු ද, නීති විරෝධී මත්ද්‍රව්‍ය ද මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි අපි රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය,ක‍්‍රීඩා අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පොලිස්, ත‍්‍රිවිධ හමුදා මේ සියල්ල එක් ව මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් මේ පුලුල් වැඩපිළිවෙළ ආරම්භ කළේ. මම ඊයේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් පැවති වැඩසටහනක දී ප‍්‍රකාශ කළා ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, අධ්‍යාපන අමාත්‍යංශය, ක‍්‍රීඩා අමාත්‍යංශය ඒකාබද්ධ වූ අලුත් වැඩසටහනක් අපි තව සති දෙකකින් ආරම්භ කරනවා කියා. මේ රටේ පාසල් දරුවන් හා විශේෂයෙන් ම නව තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සදහා සුජාත දරුවෝ කියන වැඩසටහන, ඒ වැඩසටහන තුළ පාසල් දරුවන් වගේ ම රටේ සෑම ප‍්‍රදේශයකදී ම තරුණ පිරිස් මේ වැඩසටහන්වලට එකතු කරලා මත්ද්‍රව්‍ය, පරිසර සංරක්ෂණය ඒ වගේ ම වකුගඩු රෝග වැනි සමාජයට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් කරලා ඔවුන් එය පිළිපදිනවා වගේ ඔවුන් පණිවිඩකරුවන් විදියට සමාජයට යැවීමට. ඒ නිසා රජයේ වැඩපිළිවෙල තුළ මේ සදහා ප‍්‍රමුඛත්වයත් ලබා තිබෙනවා සේ ම සෞඛ්‍ය අමාත්‍යංශය, මේ අපේක්ෂා රෝහල, අපේ විශ්වවිද්‍යාලවල ආවාර්ය මහාචාර්යවරු, වෛද්‍ය, හෙද සේවා සහ අනෙක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙක් ම මේ සදහා දක්වන උනන්දුව , කැපවීම, ඔවුන්ගේ තිබෙන ඕනෑකම මම ඉතාමත් අගය කරනවා. අපේ ආචාර්ය තුමන්ලා කිව්වා වගේ හොද සෞඛ්‍ය සේවයක් තිබෙනවා කියන එක අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය, උසස් ප‍්‍රමිතිය නිසයි. සම්පූර්ණයෙන් ම එහි ගෞරවය මේ වෛද්‍යවරුන්ට, මේ රටේ හෙද සේවයට, මේ රටේ පරිපූරක හා සුළු වෛද්‍ය සේවාවල සිටින ඒ අයටයි. ආණ්ඩුවක් විදියට කරන්න පුළුවන් ප‍්‍රතිපත්තියක් තමයි සම්පත් ලබා දීම, මානව සම්පත් හා භෞතික සම්පත්, ප‍්‍රතිපත්ති හැදීම හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීම රටක සංවර්ධනය,සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ සෑම කෙනෙක් ම මේ රටේ අසරණ රෝගී ජනතාවට වගේ ම සාමාන්‍ය ගොවි ජනතාවට මේ සෑම කෙනෙක් ම කරන්නා වූ ඒ ඉතාමත් ම විශිෂ්ට මෙහෙවර ඔබේ කැපවීම මා ඉතාමත් අගය කරමින් අද අපේක්ෂා රෝහල තුළින් අද දෙන මේ පණිවිඩය අපි හදුන්වා දුන් නව දැහැත් වට්ටිය ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේ ම මේ රටේ බුලත් විට පාවිච්චි කරන අනෙක් සෑම කෙනෙක්ම එය ආදර්ශයට ගන්න ඒ තුළ කටයුතු කරන්න කියමින් මේ වැඩසටහන සාර්ථක කරගන්න රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුලූ කාර්ය මණ්ඩලය, මේ රෝහලේ වෛද්‍ය නිලධාරීන් සෑම කෙනෙක් ම පැමිණි ආරාධිත අමුත්තන්, විශේෂ දේශන පැවැත් වූ මහාචාර්යතුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ලේකම්තුමිය හා අමාත්‍යංශ ලේකම් සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.


    ස්තූතියි!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya