මාර්තු 19, 2019

tami eng youtube google twitter facebook

    ගම්පහ සොඳුරු වන අරණ - හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    මාර්තු 07, 2019
    ගම්පහ නගරයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත දිවෙන මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත පිහිටා තිබේ.
    19 වන සියවස වන විට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතුවීමත් සමඟ අප රටේ දේශගුණය කෘෂිකර්මාන්තයට හා සෙසු වගාවන්ට වඩාත් යෝග්‍ය බව බ්‍රිතාන්‍ය පාලකයෝ තේරුම් ගත්හ. ඒ අනුව ඔවුන් විවිධ රටවල විවිධ වෘක්ෂලතා ඇතුළු ශාක වර්ග මෙරටට ආනයනය කොට පර්යේෂණ මට්ටමින් සිටුවීම සඳහා උද්භිද උද්‍යාන කිහිපයක් පිහිටුවීය. මහනුවර පේරාදෙණිය උද්භිද උද්‍යානය, නුවරඑළිය හග්ගල උද්භිද උද්‍යානය හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ඒ අතර ප්‍රධානය. 
     
    වසර 1876දී ආරම්භ කරන ලද හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය මෙම උද්භිද උද්‍යාන අතරින් වඩාත් වැදගත් වන්නේ එය ලංකාවේ මුල්ම රබර් වගාව පර්යේෂණාත්මකව සිදු කළ භූමි භාගය නිසාය. එපමණක් නොව ගම්පහ පුරවරය සංවර්ධනය වීමට බලපෑ ප්‍රබල සාධකයක් ලෙස ද හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන සැලකිය හැකිය. 
     
    ඊට හොඳම උදාහරණයක් වන්නේ අදටත් ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සංරක්ෂණය කොට ඇති පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානය එදා බිහිකර ඇත්තේ රබර් පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන විදේශීය විද්‍යාඥයන්ට දුම්රියෙන් පැමිණීම උදෙසාය. එසේම ගම්පහ තානායම ඉදිකර ඇත්තේ ද එසේ පැමිණෙන විද්‍යාඥයන්ට ලැඟුම් ගැනීම උදෙසා බව පැරණි ලිපි ලේඛනවල සඳහන්ව තිබේ.
     
    එදා යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට ආදායම් මාර්ගයක් ලෙස මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම අවශ්‍ය විය. එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී.එච්.කේ. ත්වේයිට්ස් මහතා ඊට සුදුසු බිමක් පිළිබඳව බොහෝ සේ විමසිලිමත් වී ඇත. දකුණු ඇමරිකාව නිජබිම කර ගත් රබර් ශාකය පර්යේෂණ මට්ටමින් ආරම්භ කිරීම උදෙසා සුදුසු ම ස්ථානය හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන යැයි ත්වේයිට්ස් මහතා තීරණය කළේය. මේ අනුව මුල්ම රබර් බීජය රෝපණය කිරීම සිදු විය.
     
    අද ගම්පහ මල්වත්ත ලෙස ප්‍රකට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය අක්කර 36කින් සමන්විත භූමි භාගයක පිහිටා තිබේ. අදටත් දේශීය සංචාරකයින්ගේ නිබඳ ආදරයට පාත්‍රව පවතින ගම්පහ මල්වත්ත එවකට අයිතිව තිබුණේ, ඒ. ද සොයිසා මුහන්දිරම් නම් ප්‍රභූවරයාටය. පසුව මෙම ඉඩම රජයට පවරා ගැනීමෙන් පසු මුල්ම භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ද ඔහුය.
     
    එදා ගම්පහ මල්වත්තේ සිටුවන ලද මුල්ම රබර් ශාකය මුල් කාලයේ ම මිය ගොස් ඇත. දෙවන රබර් ශාකය විනාශ වී ඇත්තේ 1988 වසරේදීය. ඒ සුළි සුළඟ නිසාය. එහෙත් අදටත් ලංකාවේ විශාලතම රබර් ශාකය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළ විරාජමානව පවතී. එහි උස මීටර් 40කි. වට ප්‍රමාණය මීටර් 5.7කි.
     
    අද දවස වන විට දුර්ලභ ශාක සහ සොඳුරු පුෂ්පයන්ගෙන් සමන්විත මෙම උද්‍යානයේ පහස ලබන්නට දේශීය හා විදේශිය සංචාරකයෝ බොහෝ දෙනෙක් පැමිණෙති. ඒ විඩාබර දිවියේ ඒකාකාරී බවින් මිදී සොබාදහමේ අසිරිය විදීමටය. එසේම සොබාදහම පිළිබඳ ව සහ තුරුලතා පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ද සිය පර්යේෂණ කටයුතු උදෙසා මේ බිමට පැමිණෙති.
     
    ගම්පහ උද්භිද උද්‍යානය විවිධ අංශ කිහිපයකින් සමන්විතය. එනම් වනෝද්‍යානය, ශිෂ්‍ය උයන, ඖෂධ උයන, ජපන් ගොමුව, මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන, පැළ විකුණුම් හල ඒ අතර වේ. මෙහි ඇති සමහර ශාක ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. විශේෂයෙන් සිංහරාජ ඇතුළු වනාන්තරවල දැකිය හැකි දුර්ලභ ශාක හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දැකිය හැකි වේ. මෙහි ඇති ශාක විශේෂ 450ක් පමණ වේ. මීට අමතරව මෙහි පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාව ද දේශීය සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රියය.  
     
    ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ශාක පිළිබඳ අධ්‍යපන කටයුතු, මල් වගා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙනු ඇත. උද්භිද උද්‍යානයේ භෞතික සංවර්ධනය උදෙසා රජය මගින් දැඩි අවධානයක් යොමු කොට තිබේ. වර්තමානය වන විට වඩාත් හිතකර ලෙස සංවර්ධනය කිරීම උදෙසා පියවර ගෙන ඇති මෙම උද්භිද උද්‍යානයේ බොහෝ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන ද තම ආයතනයන්ට අදාළ විවිධ වැඩසටහන් පැවැත්වීම සඳහා  උද්භිද උද්‍යානය යොදා ගැනීමට පියවර ගෙන තිබේ. සැබවින් ම මෙම උද්භිද උද්‍යානය සියනෑ පුරවරයට ඓතිහාසික වැදගත්කමක් එක් කළ සාඩම්බර උරුමයක් බව ද සඳහන් කළ යුතුය.
     
    DMU - Gampaha

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu