අගෝස්තු 18, 2019
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය

    මාර්තු 22, 2018

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ජිනීවා, 2018 මාර්තු 21

     

    ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට අද දින සහභාගීවීමට ලැබීම ගෞරවයක් කොට සලකමි. මගේ අමාත්‍ය මණ්ඩලීය සගයන් වන විශේෂ කාර්යභාර අමාත්‍ය ගරු ආචාර්ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා යන මහත්වරු අද දින මා සමග මෙම සැසිවාරයට සහභාගී වෙති. මගේ අමාත්‍ය මණ්ඩලීය සගයන් සහ මම සම්මුතිවාදී රජයේ ප්‍රධාන
    දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන්නෙමු. 2015 ජනවාරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරී පත්වූ දින සියයේ වැඩසටහන මත පදනම්ව, සංහිඳියාව, නීතියේ ආධිපත්‍යය, යහපාලනය, මානව හිමිකම්, යුක්තිය, සමානාත්මතාව සහ අපගේ සියලු පුරවැසියන්ගේ අභිමානය අභිවර්ධනය කිරීමට රජයේ ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් එකම හඬකින් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කතා කිරීමට අපි මෙහි පැමිණ සිටින්නෙමු.

    සභාපතිතුමනි,

    ශ්‍රී ලංකාව සමඟ ස්ථාවර සහ ඵලදායි ලෙස අන්තර්ක්‍රියා කිරීම සම්බන්ධයෙනුත්, අපට ලබාදුන් මිල කළ නොහැකි තාක්ෂණික සහය වෙනුවෙනුත්, සෑම විටෙකම අප වෙත ලබා දෙන්නා වූ සහයෝගය සහ දිරිය වෙනුවෙනුත්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට, නියෝජ්‍ය මහකොමසාරිස්වරියට, සහ මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අපගේ අවංක ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමු.

    සභාපතිතුමනි, 

    අප රටෙහි සංහිඳියා ක්‍රියාවලිය නොසැලකිල්ලෙන් කරන හුදු නිල ක්‍රියාවලියක් ලෙස අපි නොසලකමු. නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති පරිදි කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව සෑම පුද්ගලයකුටම නීතියේ සමාන ආරක්ෂාව ලැබෙන බවට වග බලාගැනීමටත් අපි දැඩි ලෙස කැප වී සිටින්නෙමු. දිගුකල් පවත්නා සාමයෙන් සහ සංහිඳියාවෙන් පමණක් උදාකර ගත හැකි සාධාරණ සමාජ-ආර්ථික සංවර්ධනයක් අපගේ පුරවැසියන්ට ලබාදීමට අප බැඳී සිටින බවද අපි දනිමු. සභාපතිතුමනි, එබැවින්, අප මුහුණ දෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අසීරුතා මධ්‍යයේ වුව, අපගේ පුරවැසියන් සියලු දෙනා වෙත සංහිඳියාවෙන් සැනහුණු, සාමකාමී, ස්ථාවර සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳ අපගේ දැක්ම යථාර්ථයක් කරගැනීම උදෙසා අපි සියලුම ප්‍රයත්න දරන්නෙමු. මේ සන්දර්භය තුළත්, මෙතෙක් කල් ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා විසින් කරන ලද නිරීක්ෂණවලට ප්‍රතිචාර වශයෙනුත්, ශ්‍රී ලංකාව 2017 පෙබරවාරි 28 වැනිදා මෙම කවුන්සිලයේ 34 වැනි සැසිවාරය ඇමතූ තැන් පටන් අප විසින් අත්කරගෙන ඇති සුවිශේෂීම ජයග්‍රහණ මෙහිලා දැක්වීමට කැමැත්තෙමු. සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ ගැටුම් යළි ඇති නොවීම ගැන සහතික වීම ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකාව තුළ ඇති තිර කැපවීම, කැමැත්ත සහ හැකියාව ප්‍රදර්ශනය කරමින් පසුගිය වසර තුළත්, ඊට පෙරත් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. 

    සංහිඳියා, අධිකරණ සහ හානිපූරණ ක්‍රියාදාමයන් ජාති, ආගම් හෝ පුමතිරි භේදයකින් තොරව ගැටුම්වලින් හානියට පත් සියලු ජනකොටස් වෙනුවෙන් බවත්, අතුරුදන් වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයද ඊට ඇතුළත් බවත් අපි හොඳාකාරවම දනිමු.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරීපත් වී සති කිහිපයකට පසු 2015 පෙබරවාරි මාසයේදී පැවැති නිදහස් දින සමරුවේදී රජය විසින් විධිමත් සාම ප්‍රකාශනයක් කරන ලදී. “ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය අවසන් වී ඇත. සුවපත්වීමටත් තිරසර සාමය හා සියලු දෙනාගේ ආරක්ෂාව ගොඩනැංවීමටත් අවශ්‍ය කරන කාලය හා අවකාශය අප වෙත පැමිණ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයේ ඵල සියලු දෙනාම සමාන ලෙස භුක්ති විඳීම සහතික වනු වස් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම දැන් අප කළ යුතු” යැයි එහි සඳහන් විය. සභාපතිතුමනි, අපගේ සියලු පුරවැසියන් එක්සත්ව, ජාති සහ ආගම් භේදවලින් තොරව, දුක්ඛදායක ගැටුම්වල උරුමය මැඬලා අපගේ ජාතිය තිරසර සාමය සහ සෞභාග්‍යය කරා කැඳවාගෙන යන මේ දැක්ම අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නෙමු.

    සභාපතිතුමනි, 

    ඔබ දන්නා පරිදි, ගැටුම් අතරතුරදී ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග, අපගේ රටෙහි සිටින කිසියම් හෝ ජනකොටසකට එරෙහිව නොව රටවල් රාශියක් විසින් ත්‍රස්තවාදී සංවිධානයකැයි නම් කරනු ලැබූ කණ්ඩායමකට එරෙහිව ගත් ඒවා විය. මෑත ඉතිහාසයේදී පළමු වරට සිතා මතාම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගත් එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ක්‍රියා පිළිවෙත දැන් ලොව පුරා සෙසු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින්ද භාවිතයට ගෙන තිබේ. අපගේ රටෙහි වූ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස් ඒකරාශී වූ අතර, දැන් ත්‍රස්තවාදය පරාජය කොට ඇති බැවින්, ඒ සියලු ජනකොටස් සංහිඳියාව සහ රටේ ආර්ථික ප්‍රගතිය උදෙසා ඒකාත්මිකව කටයුතු කරති.

     

    සභාපතිතුමනි, 
    2015 ජනවාරි සිට මේ දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සංහිඳියාව සහ යහපාලනය විෂයෙහි ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගනු ලැබූ ප්‍රගතිය විදහා පෙන්වන විස්තරාත්මක ලැයිස්තුවක් කවුන්සිලයේ සියලුම සාමාජිකයක් අතර බෙදා හැර තිබේ. එබැවින්, අප විසින් ගනු ලැබූ ඉතාම වැදගත් පියවර කිහිපයක් මෙහිලා දක්වමි.

     2016 අගෝස්තු මාසයේදී බලාත්මක කරනු ලැබ 2017 ජූලි මාසයේදී සංශෝධනයට ලක් කෙරුණු අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත ප්‍රකාර, 2017 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද නාමයෝජනා මත පදනම්ව 2018 පෙබරවාරි 28 වැනි දින ජනාධිපතිවරයා විසින් එම කාර්යාලයේ සභාපතිවරයා සහ සාමාජිකයන් පත් කරනු ලැබිණි.

    පෙබරවාරි මස 28 වැනි දින සභාපතිවරයා සහ සාමාජිකයන් සමඟ පැවැති රැස්වීමකදී, එම කාර්යාලයේ සාධනීය ක්‍රියාකාරීත්වය සහතික වනු පිණිස රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජනාධිපතිවරයා ඔවුන්ට සහතික විය. මෙම කාර්යාලය සඳහා 2018 ජාතික අයවැයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.4 ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ක් පමණ වෙන් කර තිබේ. පනතේ විධිවිධාන ප්‍රකාර තෝරාගනු ලැබූ කාර්යාලයේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජය නියෝජනය කරති. එසේ පත් කරනු ලැබූ සාමාජිකයෝ තමාට පැවරී ඇති කාර්යය ඵලදායි ලෙස ඉටු කරනු වස් දැනට පුහුණුව ලබමින් සිටින අතර ලොව අන් රටවල ඇති මීට සමාන වෙනත්
    යාන්ත්‍රණ පිළිබඳව අධ්‍යයනය කරති.

     ගැටුම් පැවති සමයේදී ආරක්ෂක හමුදා සතුව තිබූ පෞද්ගලික ඉඩම්වලින් 70 % කටත් වඩා ඒවායේ මුල් සහ නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත යළි පවරා දීම සඳහා මුදා හැර තිබේ. ඉඩම් මුදාහැරීමේ, වන්දි ගෙවීමේ සහ ඊට අදාල වෙනත් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම සහ නිරීක්ෂණය කිරීම පිණිස සියලු අදාල දේශීය පාර්ශ්වකරුවන් සමග අඛණ්ඩව හමුවී සාකච්ඡා කරන, ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් 2018 ජනවාරි මාසයේදී ස්ථාපනය කරන ලදී.

     2017 පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන් මහජනතාව දැනටමත් ප්‍රතිලාභ ලබති. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම දැනට සාධනීය ලෙස ක්‍රියාත්මක වන අතර එය අභියාචනා විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

      වධහිංසා බිඳකුදු හෝ නොඉවසීමේ ප්‍රතිපත්තියට ඇති සිය තිර කැපවීම විදහා දක්වමින් 2017 දෙසැම්බරයේදී  ශ්‍රී ලංකාව වධහිංසාවලට එරෙහි සම්මුතියේ වෛකල්පික මූලලේඛයට එක් විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජාතික නිවාරණ යාන්ත්‍රණය වශයෙන් නම් කරන ලදී.

      හානිපූරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති පද්ධතිය නීති කෙටුම්පත් සම්පාදකවරයා ලවා සකස් කරවීමේ කාර්යයට අමාත්‍ය මණ්ඩලය 2018 මාර්තු 06 වැනි දින සිය අනුමතිය ලබා දුන්නේය. එකී නීති පද්ධතිය කෙටුම්පත් කිරීමේ සහ එය දේශීය භාෂාවලට පරිවර්තනය කිරීමේ කාර්යය අවසන් වූ විට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

     
     සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පද්ධතිය මාර්තු 07 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
    විශේෂ කාර්යපරිපාටි හා සමඟ සිය සක්‍රීය කාර්යභාරය ඉදිරියට ගෙනයමින්, ''මානව හිමිකම් ප්‍රවර්ධනය හා සුරක්ෂිත කිරීම සිදු කරන අතරම ත්‍රස්තවාදය මැඩපැවැත්වීම'' පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු 2017 ජූලි මස ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. 2017 ඔක්තෝබර් මාසයේදී සත්‍යය, යුක්තිය, හානිපූරණය හා නැවත ගැටුම් ඇති නොවීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එම මාසයේදීම අත්තනෝමතිකව රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවේ
    සංචාරය කළේය.

    සංහිඳියාව හා ගැටුම් නැවත ඇති නොවීම සහතික කරලීම සඳහා වන අපගේ දැඩි කැපවීම විදහා පෙන්වමින්, ඔටාවා හා ඔස්ලෝ සම්මුතිවලට (පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය හා පොකුරු අවි පිළිබඳ සම්මුතිය) පිළිවෙලින් 2017 දෙසැම්බර් මස 13 වැනි දින හා 2018 මාර්තු මස 01 වැනි දින ශ්‍රී ලංකාව එක් විය. තවද, මෙම මස මුලදී ඔටාවා සම්මුතියේ  විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

     2017 පෙබරවාරි මාසයේදී, කාන්තාවන් වෙනස්කොට සැළකීම මුලිනුපුටා දැමීම සඳහා වන කමිටුවේත්, 2017 ජූනි මාසයේදී ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේත්, 2018 ජනවාරි මාසයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේත් සිය කාලාන්තර වාර්තා සමාලෝචනවලට ශ්‍රී ලංකාව සහභාගී විය.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ඒ වෙනුවට මානව අයිතිවාසිකම් ආරක්ෂණ හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන ත්‍රස්ත විරෝධී නීතියක් රැගෙන ඒමට යෝජිතය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නෛතික ක්‍රියාදාමවලට අනුකූලව, නියමිත පාර්ලිමේන්තු ක්‍රියාපරිපාටි අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම නීති පද්ධතිය පරිසමාප්තියට පත්වනු ඇත.

    බිම් මට්ටමේ වැදගත් තීරණ ගැනීමේ ආයතන වන පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට තේරී පත්වන කාන්තා නියෝජිතයන්ගේ කෝටාවක් ඇති කරනු වස් පළාත් පාලන මැතිවරණ පනතට සහ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන සිදු කරන ලදී. 2018 පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට 25% ක කෝටාවක් ලබාදෙන නීතිය ක්‍රියාත්මක වූ අතර පළමු වරට වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක් තේරී පත් විය.
     2017-2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාල සියලුම රේඛීය අමාත්‍යාංශ සහ නියෝජිතායතන විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කොට ඒවාට අවශ්‍ය මඟපෙන්වීම සහ උපදෙස් ලබාදීම පිණිස ස්ථර තුනකින් යුත් යාන්ත්‍රණයක් 2017 දෙසැම්බර් මාසයේදී ස්ථාපනය කරන ලදී.


    2017 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචනයේ තෙවැනි චක්‍රයට සහභාගී වූ අතර එහි වාර්තාව මාර්තු 19 වැනි දින සම්මත විය. උපදේශන කාර්ය බලකාය මගින් ඉදිරිපත් කරන ලද අදාළ නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් කෙටුම්පත් කරන ලද සත්‍ය හා සංහිඳියා කොමිසම පිළිබඳ කෙටුම්පත් නීතිය, දැනට තවදුරටත් ඉහළ මට්ටමෙන් අදහස් විමසීමකට ලක්ව පවතින අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය සඳහා
    නොබෝ කලකින් ඉදිරිපත් කෙරෙනු ඇත.මේ වැදගත් නමුදු අභියෝගාත්මක ගමනෙහි ඉදිරියට යන අපි, නෛතික සහ පරිපාලනමය මාර්ගවලින් ගනු ලබන මෙම වැදගත් විපරිණාමීය පියවර මනා ලෙස ආරක්ෂා කරගැනීම සඳහාත් සංස්ථාපනයකිරීම සඳහාත් අප සමාජයේ සියලු කොටස් සහභාගීවීමේ අවශ්‍යතාව ගැන දැනුවත්ව සිටින්නෙමු.තිරසර පදනමක් මත එකඟතාවකට එළැඹීම පිණිස අපි අපගේ කැපවීම සියලු පාර්ශ්වකරුවන් වෙතයළි අවධාරණය කරන්නෙමු.

    ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා අප තුළ ඇති තිර අදිටන හරහා සංහිඳියා න්‍යාය පත්‍රය පූරණය කරන්නට අපි ඇපකැප වී සිටිමු. මේ න්‍යාය පත්‍රය පෙර කිසි කලෙක නුවූ විරූ එකකි. ඉතා කෙටි කලක් තුළ සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන්නට අප භාරගෙන ඇත. එවැනි පියවරක්‍රියාත්මක කරන්නට අනෙක් බොහෝ රටවල්වලට දශක ගණනාවක් ගත වී තිබේ. අභියෝග මධ්‍යයේ වුව අපගේ කැපවීම ස්ථිරසාර ය. මක්නිසාද යත්, සෑම පාර්ශ්වයකම සියලුමවින්දිතයන්ටත්, සෑම ජන කොටසකටමත්, සැමටත් වැඩියෙන් අපගේ අනාගත පරම්පරාවලටත් ස්ථාවර, සාමකාමී, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් සමාජයක පදනම සකස් කිරීමට වගබලා ගැනීම රාජ්‍යයේ වගකීම බව අප සම්පූර්ණයෙන්ම වටහාගෙන ඇති බැවිනි. අපගේ අතීතයේ අසීරු උරුමය සමග කටයුතු කිරීමේ බර අපගේ අනාගත පරම්පරාවල කර මත නොපැටවිය යුතු යැයි අපි දන්නෙමු.
     
    සභාපතිතුමනි, 
    ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජයේ අවියෝජනීය කොටසක් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන රටේ ප්‍රදේශ කිහිපයක මෑතදී සිදුවූ සිදුවීම් පිළිබඳව ජාතියක් වශයෙන් අපි වේදනාවට පත් වී සිටිමු. සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ පොදු දැක්මට විරුද්ධ එවැනි ක්‍රියාවලට ප්‍රජාතන්ත්‍රවාදී, බහුවිධ සමාජයක තැනක් නැත. මේ සිද්ධීන්වලට වගකිවයුත්තන්ට එරෙහිව රජය කඩිනම් පියවර රැගෙන ඇති අතර සිදුවන්නට ඇති යම් ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. යළි එවැනි සිදුවීම් ඇති නොවීම සඳහා දැඩි පියවර ගැනෙනු ඇත. වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ වී තිබේ. මෙම කවුන්සිලය සිය සැසිවාර පවත්වන සමයේදී අපගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කටයුතු කරන යම් පාර්ශ්ව මෙම සිදුවීම පිටුපස සිටි බව
    විශ්වාස කිරීමට අපට හේතු ඇත. ජනතාව උසිගන්වා වෛරී සහ සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට පමණක් නොව ප්‍රහාර සංවිධානය කිරීමටද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පණිවිඩ සේවා ප්‍රයෝජනයට ගන්නා බව පරීක්ෂණවලින් හෙළිදරව්වීමෙන් ඉක්බිති සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තාවකාලික සීමාවන් පනවන්නට රජයට සිදු විය. ඒ සියලු සීමාවන් දැන් ඉවත් කර තිබේ. මෙම අත්දැකීමෙහි ප්‍රතිඵලයක් ලෙස, වෛරී භාෂණය වැලැක්වීමේ අරමුණෙන් රජය සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් සමග ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටියි. ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් 2018 මාර්තු 06 වැනි දින රජයට පනවන්නට සිදුවූ හදිසි අවස්ථා රෙගුලාසි 2018 මාර්තු 17 වැනි දින ඉවත් කරන ලදී.

    සභාපතිතුමනි,
    සංහිඳියා සහ සංවර්ධන න්‍යාය පත්‍රය රජයට පමණක් තනිව වැඩ කිරීමෙන් සාක්ෂාත් කරගත නොහැකිය. දේශපාලන පක්ෂවල, සිවිල් සමාජයේ, විද්වතුන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවෙහි, ජනමාධ්‍යවල මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවෙහිද සහභාගීත්වය මෙම වැදගත් ජාතික කර්තව්‍යයෙහිලා අත්‍යවශ්‍ය වෙයි.

    සභාපතිතුමනි,
    අපගේ සියලු පුරවැසියන්ට සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් කරා මාවත සකසන, අප විසින් අපගේ ජනතාවට දෙන ලද ප්‍රතිඥාවන් ඉටුකිරීමෙන් අප වලකාලන්නට කිසිවකුට නුපුළුවන් බව අවංකභාවයෙන් සහ අවබෝධයෙන් යුතුව අවධාරණය කරන්නට අපි කැමැත්තෙමු.

    ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණවලට අදාල සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමේ පූර්ණ හැකියාව තිබෙන අතර ඒවා ඒ වෙනුවෙන් ඇපකැප වී සිටියි. එම යාන්ත්‍රණ සතුව අවංකභාවයේ සහ වෘත්තීයභාවයේ දිගු ඉතිහාසයක් තිබෙන අතර 2015 ජනවාරියේ සිට ඒවායේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගෙන තිබේ. එමෙන්ම, සභාපතිතුමනි, සියලු සංහිඳියා යාන්ත්‍රණ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන බවද මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

    සභාපතිතුමනි,

     ශ්‍රී ලංකාවේ ගැටුමෙන් ඉතිරි වූ උරුමය අති දුෂ්කර එකක් වනවා මෙන්ම එය අද දක්වාම අප සමාජය වසා පැතිර තිබේ. දේශපාලන වාසි ලබාගැනීම සඳහා මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ලැබීමට අන්තවාදීහූ නිරතුරු ප්‍රයත්න දරති. එය වටහා ගැනීමෙන් සිදුවන්නේ අතීතයේ ප්‍රචණ්ඩකාරී දින වෙත යළි කිසි දිනෙක පෙරළා නොයන බවට වගබලා ගැනීමේ අපගේ තිර අදිටන තවතවත් ශක්තිමත් වීම පමණකි. අප අරමුණ වන්නේ අපගේ සියලු ජනතාවට දී ඇති ප්‍රතිඥා පූරණය කෙරෙන බවට වග බලා ගැනීමත් අපගේ මෑත ඉතිහාසයේ හටගත් ශෝකජනක සහ කම්කටොලු පිරි කාලපරිච්ඡේදයකට අවසානයක් ළඟා කරදීමත්ය.


    ස්තුතියි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya