අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් ප්‍රමිතියේ මුද්‍රණ පාසලක් ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා - අග්‍රාමාත්‍ය

    මාර්තු 21, 2018

    උසස් ප්‍රමිතියේ මුද්‍රණ පාසලක් ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බවත් අමුද්‍රව්‍යමය භාණ්ඩ අපනයනයෙන් ඔබ්බට ගොස් කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ හා සේවා වෙත අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලංකා මුද්‍රණ විශිෂ්ඨතා සම්මාන උළෙලට එක්වෙමින් අග්‍රාමත්‍යවරයා පසුගිය දා මේ බව පැවසීය.

    මුද්‍රණයත්, නීතිය හා දේශපාලනයත් යන කරුණු මාගේ පෞද්ගලික ජීවිතය හා සමීපව බැඳී තිබෙනවා. මා නීතිවේදය හැදෑරීමටත්, දේශපාලනයට අවතීර්ණ වීමටත් පෙර මුද්‍රණ ශිල්පිය අධ්‍යයනය කළා. වයස අවුරුදු 5 – 6 සිටත්, සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට පෙර සිටත්, පුවත්පත් සහ වාණිජ මුද්‍රණ කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න වගේම ඡායාරූප මුද්‍රණය පිළිබදවත් දැන සිටියා. මා දේශපාලනයටත්, නීති වේදයටත් පිවිසියේ ඉන් පසුවයි. 1970 සිටම මම මුද්‍රණය ඇසුරු කළා. ඉන් පසුව නීතිය. ඊටත් පසුවයි දේශපාලනයට පිවිසියේ.


    මට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳ මා සතුටු වෙන අතරම ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය පිළිබඳව සැළකීමේදී අපි අද ඉන්නේ ඉතා තීරණාත්මක අවදියක බව ද මා කියන්න සතුටුයි. අපි ක්‍රම ක්‍රමයෙන් ගෝලීය ප්‍රජාව වෙත ප්‍රවේශ වෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් මාගේ සුභාශිංසන පිරිනමනවා. ඒ සබඳතා සමඟ දිගුකාලීන ප්‍රතිලාභ අත්කර ගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුයි. අපගේ මුද්‍රණ කර්මාන්තය ලෝකය වෙත යා යුතුයි. මේ ගැන නොතකන තාක් අපට එක තැන පල්වීමට සිදුවෙනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමටත්, ජනතාව දිළිඳු බවෙන් නිදහස් කිරීමටත්, කාන්තාවට හිමි තැන ලබාදීමටත් අපට හැකිවන්නේ ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී අපගේ අපනයන සහ සේවාවන් වැඩි කිරීමෙන් සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුලින් පමණයි. අපට එය කළ හැකිනම් සංවර්ධනය කරා ළඟා වීම
    තවදුරටත් සිහිනයක් නොවෙයි.

    1979 චීනය සහ අද අපි දකින චීනය ගෙන බලන්න. ඔවුන් විදේශීය නිෂ්පාදකයින්ට තම රටට ඇතුළුවීමට ඉඩ දෙමින් එම රටවල වෙළඳපොළ වෙත තම නිෂ්පාදන යැවීමට කටයුතු කරනවා. අද චීනය ලෝකයේ වැඩිම ජනගහනය සහිත රටයි. 1992 දී මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ වියට්නාමය දරුණු යුද්ධයකින් බැට කා සිටි යුගයක්. එරට කර්මාන්ත ආරම්භ කොට විදෙස් ආයෝජන තම රටට ආකර්ශණය
    කරගන්නා ආකාරය පිළිබදව කර්මාන්ත අමාත්‍යවරයා කල්පනා කළා. ගෝලීය වෙළඳපොළ වෙත පිවිසෙන්නේ කොහොම කියා අද අපිට ඔවුන්ගෙන් ඉගෙන ගන්න සිදුව තිබෙනවා.

    අපගේ අරමුණ වන්නේ රටේ සියලූ දෙනාට යහපත් ජීවන තත්වයක් උදාකර දීමයි. රැකියා අවස්ථා උදාකර දීමෙන් නොනැවතී වැඩි වැටුපක් සහිත රැකියා අවස්ථා ජනතාවට ලබා දීමට අප කැපවී සිටිනවා. අද රටේ බොහෝමයක් තරුණයින් ත්‍රිරෝද රථ ආශ්‍රිතව රැකියා කිරීමට නැඹුරු වී සිටිනවා. ඉන් ලැබෙන ආදායම වගේම නිදහසත් ඔවුන්ට වටිනවා. වැඩි ප්‍රතිලාභ සහිත රැකියාවලට තරුණයින්ගේ නැඹුරුව වැඩියි. අද අපි ඉන්නේ
    සංක්‍රාන්තික අවධියක. අඩු ආදායම් ලැබූ රටක සිට මැදි ආදායම් ලබන තත්වයට අප පැමිණ සිටිනවා.

    නමුත් 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම, රටේ ආර්ථිකය ඉහළ ගියේ කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ අපනයනයෙන් නොවෙයි. රජයේ ආධාර මත පමණක් අවශ්‍ය සියලූ යටිතල පහසුකම්සැපයීම අසීරු කාරණයක්. ඒ කාලයේ අපගේ කිසිම කර්මාන්තයක් ක්‍රියාත්මක වුයේ නැහැ. අද පළමුව කළයුත්තේ අපගේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. අප මත පැටවී තිබූ ණය බර අති විශාලයි. ඒවා ගෙවා ගත නොහැකිවයි සිටියේ. අද අසීරුවෙන් වුවත් අපට ඒ ණය ගෙවාගන්න හැකිවෙලා තිබෙනවා. ඒ සඳහා අපි අමුද්‍රව්‍යමය භාණ්ඩ අපනයනයෙන් ඔබ්බට ගොස් කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ හා සේවා වෙත අවධානය යොමු කළ යුතුයි. ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය, සිංගප්පූරුව සහ චීනය සමග ඇතිකරගත් නිදහස් වෙළඳ ගිවිසුම් මෙන්ම ඉන්දියාව සමග පවතින නිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීම මේ සඳහා ගන්නා ලද උත්සාහයක්. ඒ වගේම
    ආසියා පැසිෆික් විස්තීරණ හවුල්කාරිත්වය ඇතිකරගත් වහාම අපි එයට සම්බන්ධ වෙනවා. එය විශාලතම ආසියානු වෙළඳපොළයි. එමගින් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව හරහා ජපානය දක්වා අපගේ භාණ්ඩ වෙළඳපොළ පුළුල් කරගැනීමට හැකි වෙනවා.


    දැන් අපට කර්මාන්ත සහ සේවාවන් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවෙනවා. ඇඟළුම් කර්මාන්තය දියුණු කළ යුතුයි. එයට අගය එකතු කිරීම කළ යුතුයි. අපි ගුණාත්මක බවෙන් ඉහළ තේ නිෂ්පාදනය කළ යුතුයි. සංචාරක
    කර්මාන්තය දියුණු කළ යුතුයි. රටට වාර්ෂිකව සංචාරකයින් මිලියන 4-5 ක් පමණ පැමිණෙනවා. මේ සමඟ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු විය යුතුයි. කර්මාන්ත විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මුද්‍රණ කර්මාන්තය ඒ අතර අනිවාර්යය වෙනවා. මුද්‍රණ කර්මාන්තයට අපගේ තේ කර්මාන්තයටත් වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. රජයේ ගැසට් පත්‍රය මීට වසර 200 කට පමණ පෙර සිටම අපි මුද්‍රණය කරනවා. බලන්න එය කෙතරම් පැරණි කර්මාන්තයක්ද? පළමුව ඔබ අපගේ දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගන්න. දෙවනුව, ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වැනි විශාල වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙන්න. අපගේ රට ක්‍රමයෙන් සංවර්ධනය වන විට, මහනුවර සිට හම්බන්තොට දක්වා මාර්ග පහසුකම් දියුණුවන විට, වරාය සහ ගුවන් තොටුපොළ ද්විත්වය බැගින් ක්‍රියාත්මක වන විට, අපි ඉන්දියානු සාගරයේ සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් රට හරහා තව තවත් නැව් ගමනාගමනය ඉහළ යාමට පටන් ගන්නවා. 

    එමගින් අපි එකිනෙකා අතර පවතින සබඳතා වඩාත් වර්ධනය වෙනවා. අපනයන වෙළඳපොළ සඳහා අවශ්‍ය වන්නේ එයයි. මුද්‍රණ කර්මාන්තයත් අනාගතය ඉලක්ක කරගත යුතුයි. දිගු කාලයක් මුළුල්ලේ එය විකාශනය වෙමින්
    පවතිනවා. මීට දශක දෙකකට පමණ පෙර එය ඩිජිටල්කරණය වුණා. මුද්‍රණ අමුද්‍රව්‍ය පවා වෙනස් වෙමින් පවතිනවා. අද වන විට පරිසර හිතකාමී දිරාපත්වන අමුද්‍රව්‍ය වෙත මාරුවෙමින් සිටිනවා. මුද්‍රණ යන්ත්‍ර පවා අලූත් වෙනවා. විශේෂයෙන් චීනය සහ ජපානය මේ ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන රටවල් බවට පත් වෙලා තියෙන්නේ ඔවුන් සතු උසස් තාක්‍ෂණික මෙවලම් නිසයි. ත්‍රීමාන තාක්‍ෂණයෙන් යුතු මුද්‍රණය තවමත් ආරම්භක අවධියේ පසුවන නවතම ක්ෂේත්‍රයක්. ඔබගේ ක්ෂේත්‍රය නිරන්තරයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක්. 2025 හා ඉන් ඉදිරි කාලය තුළ දකුණු ආසියාව, ඉන්දුනීසියාව, ඉරානය ඇතුළු බටහිර ආසියාව හා ඒ හරහා සෞදි අරාබියාව මෙන්ම අප්‍රිකාව යන රටවල ජනගහනය සේම ආර්ථික ශක්තියත් වර්ධනය වෙනවා.

    එවිට පුළුල් වෙන වෙළඳපොළ වෙත ඔබ සූදානම් විය යුතුයි. මුද්‍රණ කර්මාන්තය පුළුල් හා වර්ධනය වන විට අපි ගෝලීය මිශ්‍ර වෙළෙඳපොළ හවුල්කරුවෙක් බවට පත් වෙනවා. නිශ්චිත ක්ෂේත්‍රයක විශේෂීකරණයක් දැක්වීම මිශ්‍ර වෙළෙඳපොළට අවතීරණ වීමේ එක් මාර්ගයක්. අපි විශේෂීකරණය දක්වන්නේ මොන ක්ෂේත්‍රයේ ද? මුද්‍රණ කර්මාන්තය තුළින් ඉදිරියට යාමෙන් තව බොහෝ කර්මාන්තයන්ට අපනයන වෙළඳපොළ මග විවර වෙනවා. බදු දිරි දීමනාවක් වශයෙන් 200% ක ප්‍රාග්ධන දීමනාවක් සමග ඔබට කර්මාන්තයක් ආරම්භ කළ හැකියි. පසුව 14% ක පොලියක් පමණයි අයකරන්නේ. අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් කර්මාන්ත සහ සේවාවන් සඳහා එය අප ලබාදෙන දිරි දීමනාවක් වෙනවා.

    අපි තවදුරටත් ඔබට අතහිත දීමක් වශයෙන් උසස් ප්‍රමිතියේ මුද්‍රණ පාසලක් ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. තවද, තායිලන්තයේ වැනි මුද්‍රණ කර්මාන්ත ආශ්‍රිත සැපයුම් ජාලය ද වැදගත් වෙනවා. මොකද ඒ සියල්ල නව ප්‍රවණතා සහ නව චින්තනයන්. මුද්‍රණ කර්මාන්තය මානව ජීවිතයේ වැදගත් අංගයක්. ඇසුරුම්කරණය, ලේඛන කටයුතු, පොත්පත් ආදිය සඳහා මුද්‍රණය ඉවහල් වෙනවා. ඒ අවශ්‍යතා වර්ධනය වෙනවා මිසක් අඩුවීමක් සිදුවන්නේ නැහැ. තාක්‍ෂණික දියුණුවත් සමග මේ කර්මාන්තය අපට ඉදිරියට ගෙන යා හැකියි. සියලූ දෙනා එක් වී ඒ සඳහා සැලසුම් සකස් කළ යුතුයි. අපනයන වැඩිකර ගැනීමට වගේම විදෙස් ආයෝජන තර කිරීමටත් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අප රජයේ අභිප්‍රාය යථාවක් කිරීමට ගුණාත්මක මුද්‍රණ කර්මාන්තයක් බිහි කිරීම හරහා ඔබට කළ හැකියි.

    සියලූම ජයග්‍රාහකයින් හට මාගේ සුභ පැතුම් පිරිනමන අතරම අප සතු අපනයන ආර්ථිකය වඩා වර්ධනය කර ගැනීමට ඔබ සංගමයේ සහයෝගය ලබාදෙනමෙන් ඉල්ලා සිටිනවා. එයට අවශ්‍ය පුහුණුව, යටිතල පහසුකම් ලබා දීමට අප කටයුතු කරගෙන යන අතරතුර රාජ්‍ය බැංකුවලින් ඔබ වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය සංවර්ධන ආධාර ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අප ඉල්ලා තිබෙනවා. චීනය වැනි රටවල් අදටත් වෙළෙඳපොළේ තරඟ කරනවා. අපිත් තරඟයට එළැඹිය යුතුයි. හොඳ තරඟයක් එල්ල කරන්නට අප සතු හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. නැවතත් ඔබට සුභ පතමින් මුද්‍රණ කර්මාන්තයක් බවට පත් කිරීමට සියලූ දෙනා එක්වෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya