ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර ගැටුම් ඇති කළ දේශපාලනඥයන් වෙනුවට සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහි වෙලා

    පෙබරවාරි 22, 2018

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


    ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවමින් සංහිඳියාව යථාර්ථයක් බවට පත් කිරීමේ කාර්යයට ආණ්ඩුව උර දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ නේත්‍රා නාලිකාව සංහිඳියාවේ නාලිකාව ලෙස ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දී මෙම නාලිකාව ආරම්භ කෙරිණි.

    වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
    “අපේ රට නිදහස ලබල අවුරුදු 70ක් ලබන මේ මාසයේ දී ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංහිඳියාව මුල් කර ගත්, ඒ වගේ ම දෙමළ භාෂාවෙන් දින හත පුරා ම පැය 24 පුරාම විකාශනය වෙන නව නේත්‍රා නාලිකාව විවෘත කරන මේ මොහොතේ මාධ්‍ය ඇමැතිවරයා ලෙස වචනයක් කතා කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලාංකිකයන් විදියට අපි දන්නවා මීට අවුරුදු 70කට ඉස්සෙල්ලා 1948 පෙබරවාරි මාසෙ 04 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නකොට අපේ රට අපේ කලාපයේ පමණක් නෙවෙයි ආසියාවේම ඉතාමත් ද දියුණු රටක්. ආර්ථික වශයෙන් අපට ඉදිරියෙන් හිටියෙ ජපානය විතරයි. කොරියාව, තායිලන්තය, මැලේසියාව සංවර්ධනයෙන් අපිට පිටපස්සෙ හිටියා.

    සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ඔහුගෙ සටහන්වල ලියල තියෙනවා 1948 දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ආදර්ශමත්ම රට ලෙස. අපේ රටේ ආසියාවේ තිබුණ හොඳම විශ්ව විද්‍යාල තිබුණ, උසස් රාජ්‍ය සේවයක් තිබුණ, ඉතාමත් ම හොඳ පොලිස් සේවයක් තිබුණ. මේ වගේ ඉදිරියට යමින් තිබූ රටක් නිසා වෙන්න ඇති නිදහස දීපු දවසේ එංගලන්තයේ ටයිම්ස් පුවත්පතේ කතුවැකියෙන් පවා කිවුවා දක්ෂ මිනිස් සම්පත් තියෙන, ස්වභාවික සම්පත් තියෙන ශ්‍රී ලංකාව, අද අපෙන් නිදහස ලබන සිලෝන් කියන රට වැඩි කල් නොගොස් ආසියාවේ ස්වීට්සර්ලන්තය බවට පත් වෙන්නට පුළුවන් කියන අනාවැකි පවා එදා පළ කළා.

    නිදහස ලබා ගැනීම සඳහා ලාංකිකයන් හැටියට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන සියලු ජාතීන් සහ ඔවුන්ගේ නායකයන් සටන් කළත් අපේ අවසනාවට අපි ජාතින්, ආගම්, කුල, දේශපාලන වශයෙන් වෙන් වෙලා කුළල් කා ගත්තා. අවසානයේ අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය යුද්ධයකට මූණ පෑවා. තරුණ කැරලි දෙකකට මුහණ පෑවා. ඒ නිසා ස්වීට්සර්ලන්තයක් බවට පත්වීමේ හැකියාව තිබුණ අපේ පුංචි රට ආසියාවේ ආපස්සට යන රටක් බවට පත් වෙමින් තිබුණ මොහොතක තමයි 2015 ජනවාරි මාසෙ 08 වෙනිද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් රට අලුත් දිශාවකට යොමු වුණේ.

    නිදහස ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙවෙයි, එතුමා තේරුම් ගත්ත මේ රට පසු බෑමට තිබූ ප්‍රධානතම හේතුව නැති වුණ සංහිඳියාවයි කියල. තාවකාලික අවස්ථාවාදී ප්‍රයෝජන සඳහා දේශපාලනඥයන් විසින් නැති කරන ලද සංහිඳියාවයි කියල. ජාතීන් ජාතීන් හප්පපු දේශපාලනය වෙනුවට අද අපේ ජනාධිපතිතුමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සංහිඳියාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් පිහිටුවලා ඒ අමාත්‍යාංශයත් තමන්ගෙ යටතේ තබා ගැනීම මම හිතන්නෙ ලෝකයට ප්‍රභල පණිවිඩයක් වුණා.

    මම දන්න විදියට අපේ ජනාධිපතිතුමා මේ ගෙවුණු කාලෙට 17වතාවක් උතුර නැගෙනහිර සංචාරය කරල තියෙනවා. අගමැතිතුමා 9 වතාවක් ඒ ප්‍රදේශවලට ගිහින් තියෙනවා. මීට පෙර කිසිම රාජ්‍ය නායකයෙක් මේ ගැටලුව විසඳන්න මේ තරම් උනන්දු වෙලා නෑ. මේ අද ආරම්භවන නාලිකාවත් සංහිඳියා විෂය භාර ජනාධිපතිතුමාගේ ම අදහසක් බවත් අපි මතක් කරන්න ඕනෙ.

    උතුරේ සිටින දෙමළ ජනතාව අදටත් නරඹන්නේ දකුණු ඉන්දියාවේ නාලිකා. නමුත් මේ අලුත් නාලිකාව ආරම්භ කිරීමත් සමග ඒ තත්ත්තවය වෙනස් කරල සංහිඳියාව කරා යන ගමනට විශාල පදනමක් මේ නාලිකාවට දමන්නට පුළුවන් වෙයි කියල මං හිතනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ සහ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක්එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya