මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා නියෝජිතයින් 8325ක් පත් කර ගැනීමේ ඡන්දය ලකුණු කිරීම

    පෙබරවාරි 08, 2018

     

    මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී


    පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374දී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.


    මෙවර මැතිවරණ සූදානම හා එහි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේදී හෙළ කළ කරුණු අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම, ඡන්දය දීමට රැගෙන යා යුතු දේවල්, ඡන්දය ලකුණු කිරීම, ඡන්දය ගණන් කිරීම, නිල ඡන්ද ප්‍ර‍තිඵල නිකුත් කිරීම යනාදීය වේ.

     

    ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වන්න


    දිවයිනේ එක් කෝටි පනස් හත් ලක්ෂයක් ඉක්මවන සියලුම ලියාපදිංචි ඡන්දහිමියන් වෙත ඡන්ද හිමියාගේ නම, පිළිවෙළ අංකය, ජාතික හැඳුනම්පත් අංකය හා අදාළ ඡන්ද මධ්‍යස්ථානය සඳහන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් යවා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන් අතර  බෙදාහැරීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ඡන්ද හිමියන්ට ස්වකීය අනන්‍යතාවය සනාථ කිරීමෙන් පසු තැපැල් කාර්යාවලින් ලබා ගත හැකි බව ද සඳහන් කළේය.
    එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂභාවය යනාදියෙහි මුද්‍ර‍ණ දෝෂයක් ඇත්නම් ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සමඟ නොපමාව අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැන්වීමට කටයුතු කරන ලෙස අදාළ ඡන්ද  හිමියන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.

    මෙවැනි මුද්‍ර‍ණදෝෂයක් කල්වේලා ඇතිව නිවැරදි කිරීමක් කර ගත නොහැකි වූ විටදී වුවද ඡන්ද මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් කරුණු විමසා අවශ්‍ය වෙතොත් ප්‍ර‍කාශයක් සටහන් කරවාගෙන ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    ඡන්දය දීමට යන විට මේවා රැගෙන යන්න


    ඡන්දය දීම සඳහා යනවිට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු  රියදුරු බලපත්‍ර‍ය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත්  අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.


    එසේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාම වඩාත් යෝග්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි.
    මෙම ඡන්ද විමසීම සමානුපාතික නියෝජනය හා කොට්ඨාස නියෝජනය යන ක්‍ර‍ම දෙකෙහිම ගුණාංගවලින් සමන්විත මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මයකට පැවැත්වේ.

     

    ඡන්දය ලකුණු කිරීම


    ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරේ. මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණී. කොට්ඨාසවල නම්  හා අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවේ.


    ඔබ කැමැති පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ සඳහන් තීරුවේ ඡන්ද සලකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සලකුණු කළ යුතුය.

    ඡන්දය ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානයේදීම


    ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරේ.

    සියලුම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන් කර ඇති අතර කොට්ඨාසයක්, ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කිරීම සිදු කරන නමුත් ආරක්ෂක හේතු මත හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත හෝ බොහෝ අවස්ථාවලදී ඒ ඒ කොට්ඨාසවල ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේදී එකී කොට්ඨාසයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලැබේ. එවැනි විටකදී වුවද ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ පක්ෂය/ ස්වාධීන කණ්ඩායම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව ප්‍ර‍කාශ කළ හැකි වන පරිදි ඡන්ද ගණන් කිරීම වෙන වෙනම සිදු කරනු ලැබේ.


    තැපැල් ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලබන්නේ කොට්ඨාස මුලස්ථානය වූ ඡන්ද මධ්‍යස්ථානයේදීය. තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව  50කට අඩු අගයක් ගනී නම් තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දයේ රාහස්‍යභාවය සුරැකීම සඳහා එම ඡන්ද ගණන් කරනු ලබන්නේ එම ඡන්ද මධ්‍යස්ථානයේ සාමාන්‍ය ඡන්ද හිමියන්ගේ ඡන්ද සමඟ මිශ්‍ර‍ කිරීමෙනි. එනම් එවැනි විටෙක තැපැල් ඡන්ද ප්‍ර‍තිඵලය නිකුත් නොකෙරේ.


    තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට වඩා වැඩිනම් එම තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ගණන් කරන පරිදි වෙනම ගණන් කරනු ලැබේ.

     

    ප්‍ර‍තිඵල නිකුත් කිරීම


    ඒ ඒ කොට්ඨාසයේ ඡන්ද ප්‍ර‍තිඵලය එනම් ඒ ඒ කොට්ඨාසයට අදාළව ඒ ඒ පක්ෂය හා ඒ ඒ ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව, එම කොට්ඨාසයට අදාළ සියලුම  ඡන්ද මධ්‍යස්ථානවල ප්‍ර‍තිඵල වාර්තා, කොට්ඨාසයේ ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානයේදී වගුගත කිරීමෙන් සකස් කරනු ලැබේ.


    එම ප්‍ර‍තිඵල කොට්ඨාසයේ ඡන්ද ප්‍ර‍තිඵලය වේ. කේවල කොට්ඨාසයේ හෙවත් එක් සභිකයකු තෝරා ගන්නා කොට්ඨාසයක් නම් එම කොට්ඨාසයට තරග කළ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ/ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයා එම කොට්ඨාසයේ නියෝජිතයා ලෙස කොට්ඨාස මූලස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදීම ප්‍ර‍කාශයට පත් කෙරේ.


    බහු සභික කොට්ඨාසයක් වන විටදී අවස්ථාවෝචිතව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ/ කණ්ඩායමේ අපේක්ෂකයන් දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ නියෝජිතයා ලෙස පෙර සේ ප්‍ර‍කාශයට පත් කරනු ලැබේ.
    ඒ ඒ කෝට්ඨාසයේ ප්‍ර‍තිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කාර්යාලවට එවනු ලැබීමට හා රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.

    ඒ ඒ පළාත් පාලන ආයතනයේ සියලුම කෝට්ඨාසවල ප්‍ර‍තිඵල තේරීම් භාර නිලධාරී කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍ර‍තිඵල වගු ගතකිරීමේ මධ්‍යස්ථානයේදී වගුගත කිරීමෙන් අනතුරුව ඒ ඒ පළාත් පාලන ආයතනය සඳහා ඒ ඒ පක්ෂය/ කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාවගණනය කරනු ලැබේ.  එම ඡන්ද සංඛ්‍යාව මුළු එකතුව සභාවේ මුළු සභික සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන තීරක අගය අනුසාරයෙන් කණ්ඩායමට හිමි වන සභික සංඛ්‍යාව ගණනය කරනු ලැබේ. එහි ප්‍ර‍තිඵලය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍ර‍කාශයට පත් කෙරෙන අතර එසැණින් ප්‍ර‍තිඵල මාධ්‍යයට නිකුත් කිරීම ද සිදු කෙරේ.

     

    යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍ර‍ණය කරන කොට්ඨාසය සංඛ්‍යාවට වඩා වැඩි සභික සංඛ්‍යාවකට හිමිකම් ලබා ඇත්නම් එම අතිරේක සභික ධුර සඳහා අතිරේක ලැයිස්තුවෙන් හෝ කෝට්ඨාස සඳහා තරග කර ජය නොලැබූ අපේකෂකයන් අතුරින් සුදුසු අපේක්ෂකයන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිද් තේරීම් භාර නිලධාරින් විසින් දන්වනු ලැබේ.


    මෙහිදී ඒ ඒ පළාත් පාලන ආයනතනයේ කාන්තා නියෝජනය 25%ක අවමයවත් තිබිය යුතු යන නියමය සාක්ෂාත් කර ගැනීම සඳහා පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරනු ඇත.
    ඔබ ඡන්දය දුන්නේ කුමන පක්ෂයටද/ස්වාධීන කණ්ඩායමටද යන්න කිසිවෙකුට සොයාගත නොහැකිය බවත් ඔබේ ඡන්දයේ රාහස්‍ය බව සුරැකීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටි.
    ඔබේ ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයට ද/ කණ්ඩායමටද යන්න පිළිබඳ ව බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

     

    ආරක්ෂාව


    ඡන්දය විමසීම් දිනයේදී ඡන්ද ගණන්කිරීමේදී හා ඡන්දය විමසීම් දිනයට පසුව ද ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලීසිය හා අවස්ථාවෝචිතව ත්‍රිවිධ හමුදාව ද ක්‍රියා කරනු ඇත.
    එබැවින් නොබියව ඔබේ අයිතිය ඔබේ බලය භාවිතා කිරීම සඳහා නියමිත වේලාව ඉක්මවීමට පෙර ඡන්ද මධ්‍යස්ථානය යන්න.


    ඔබේ ඡන්දය දිය යුත්තේ ඔබගේ අදහස්වලට එකඟව මිස යම් අයෙකු විසින් ලබාදෙන මුදල හෝ ද්‍ර‍ව්‍ය පරිත්‍යාග මත නොවේ.

    ඔබේ ඡන්දය ඔබ කැමැති අයුරින් ඔබ කැමති පක්ෂයට/ ඔබ කැමැති කණ්ඩායමට දෙන්න. ඒ සඳහා එකම එක කතියක් පමණක් භාවිතා කරන්න


    ඡන්දය ඔබේ අයිතියයි.... ඔබේ හඩයි.. ඔබේ බලයයි... ඔබේ අනාගතයි....

     

    සකස් කළේ - ප්‍ර‍දීපා දිසානායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya