අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යවරයාගේ පිළිතුරු කතාව

    දෙසැම්බර් 03, 2015

     

    2016 අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කළ පිළිතුරු කතාව පහත සඳහන් වේ.

    ගරු කතානායක තුමනි,

    2016 අයවැය දෙවන වර කියවීමේදී ගරු අමාත්යීවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ කෘතඥතාවය පුද කරමි. එම සාකච්ඡාවේදී පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන දැනටමත් සමහර සංශෝධනයන් ක්‍රීයාවට නංවා ඇත. එසේම, අපගේ රජය විසින් ඔබතුමන්ලාගේ වටිනා අදහස් සැලකිල්ලට ගෙන අවශ්ය වන පරිදි නම්ය්ශීලීව කටයුතු කරන බව ප්‍රථමයෙන්ම මා මෙම ගරු සභාවට දැන්වීමට කැමැත්තෙමි. මෑත දශක කීපයක ඉදිරිපත් කරන ලද අයවැය කතාවලින් පසුව මෙතරම් දීර්ඝව අයවැය පිළිබඳව සාකච්ඡා සිදු වූ අවස්ථාවක් ඇතැයි නොදනිමි. එය ඉතා සාධනීය තත්වයකි. එසේම, අයවැය විවාදය පැවති කාලය තුල ගරු මන්ත්‍රී තුමන්ලා දැක්වූ අදහස් වලින් පැන නගින ලද ඇතැම් කරුණු පිළිබඳව මා මෙම ගරු සභාවට පැහැදිලි කිරීමට අදහස් කරමි.

     

    පොහොර සහනාධාරය

    පොහොර සහනාධාරය සඳහා 2015 වසරේදී වෙන් කල රුපියල් බිලියන තිස් පහක මුදල (රුපියල් බිලියන 35) රුපියල් බිලියන තිස් හතයි දශම පහක් (රුපියල් බිලියන 37.5ක්) දක්වා වැඩි කරන බව මාගේ අයවැය කතාවේදී සඳහන් කළෙමි. ඒ අනුව දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශයට 2016 අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලියන තිස් පහක් (රුපියල් බිලියන 35ක්) වෙන් කර ඇත. අයවැය දෙපාර්තමේන්තුවේ පරිපූරක සහය සේවා යටතේ තවත් රුපියල් බිලියන දෙකයි දශම පහක් (රුපියල් බිලියන 2.5ක්) වෙන් කර ඇත. ඒ අනුව පොහොර සහනාධාරය සඳහා වෙන් කළ මුදල අඩු කිරීමක් සිදු කර නොමැත.


    අයවැය කතාවේදී පොහොර සහනාධාරය ලැබිය යුතු, වී ගොවීන් නිශ්චිතව හඳුනාගෙන ඵලදායීතාවය වැඩි වන පරිදි මෙම සහනාධාරය ලබා දීමට යෝජනා කරන ලදී. ගරු මන්ත්‍රී තුමන්ලාගේ සහ ගරු අමාත්‍ය වරුන්ගේද අදහස් සැලකිල්ලට ගෙන පොහොර සහනාධාරය ලබා දෙන සංඛ්‍යාව වැඩි වන සේ හෙක්ටයාර් එකක උපරිම සීමාව හෙක්ටයාර් දෙක දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරමි. මේ පිළිබඳව මා කෘෂිකර්ම අමාත්යාතුමා හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟද දීර්ඝව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, පොහොර සහනාධාරය ඉලක්කගත කණඩායමකට හිමි වන සේ සහ නිෂ්පාදනය වැඩි වීම පදනම් කොට ගෙන ලබා දීමට අපේක්ෂා කරමි. මෙහිදී සුළු ගොවීන් සියලු දෙනා ආවරණය වනු ඇත. එසේම, මෙය වී ගොවීන් හට පමණක් නොව තෝරාගත් පලතුරු වගාවන් සහ එළවලු වගාකරුවන්ටත්, අල, ලූණු, බඩඉරිඟු, මිරිස්, සෝයා වැනි ආහාර භෝග සඳහාද ලබා දීමට අදහස් කරමි. මෙම පොහොර සහනාධාරය, මුදලින් ලබා දීමට ක්‍රියා කිරීම මගින් සහනාධාරය ලැබිය යුතු ගොවීන්ව ඉලක්කගත කිරීමටත්, ගොවීන් රසායනික පොහොර භාවිතයෙන් කාබනික පොහොර භාවිතයට යොමු කරවීම ධෛර්යමත් කිරීමටත්, ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් අපේක්ෂා කරමි.

     

    කිසිඳු සුළු පරිමාණ ගොවියකු අප අතහරින්නේ නැහැ. මෙහි සඳහන් පරිදි සැමට මෙම සහනාධාරය මුදල් වශයෙන් ලබා දෙනවා.

     

    අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන

     

    ගරු කතානායකතුමනි,

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදන පිළිබඳව මහජනතාව නොමග යවන ආකාරයට අප රජය කටයුතු කර ඇති බවට අදහස් දක්වා ඇත. මේ පිළිබඳව මා විසින් මේ සභාවට කරුණු පැහැදිලි කළ යුතු යැයි අදහස් කරමි.

     

    2015 නොවැම්බර් මස 26 වන දින මා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළද, මෙම කරුණ තවදුරටත් පැහැදිලි කිරීම උචිත බව පෙනේ.

     

    ගරු කථානායක තුමනි,

     

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් 2016 වසරේ පුනරාවර්තන වියදමෙහි රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමෙහි පිරිවැය (ඉඩම් හා ගොඩනැගිලි) ලෙස රුපියල් බිලියන එකසිය විසි එකයි දශම හතරක් (රුපියල් බිලියන 121.4ක්) ඇතුලත් කිරීමෙන් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බව සඳහන් කර ඇත. මෙම ගණනය කිරීම ඇතුලත් කරනු ලැබුවේ ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව දළ දේශිය අදායමට (GDP) අධ්‍යාපනය සඳහා වැය කරන මුදල නිවැරදිව ඇතුලත් කිරීමට හැකි වන පරිදිය. එහෙත් මේ පිළිබඳව වැරදි මතයක් සමාජගත කිරිමට උත්සහ කිරීම පිළිබදව මා කණගාටු වෙමි. අධ්යාළපන අමාත්‍යාංශයට 2016 වසර සදහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළඳ ගරු මන්ත්‍රීතුමන්ලාගේ අවධානය යොමු කරමි. 2016 වසරේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන එකසිය හැට හතයි දශම හයක් (රුපියල් බිලියන 167.6ක්) වෙන් කර ඇති අතර එයින් ප්‍රශ්නගත කරුණ වශයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා සඳහන් කරන රුපියල් බිලියන එකසිය විසි එකයි දශම හතරක (රුපියල් බිලියන 121.4ක ) මුදල මුළු පුනරාවර්තන වියදමින් අඩු කල විට රුපියල් බිලියන හතලිස් හයයි දශම දෙකක් (රුපියල් බිලියන 46.2ක් ) වෙන් කර ඇත. මෙය 2014 වසරේ පුනරාවර්තන වියදම් හා සැසඳු විට රුපියල් බිලියන අටයි දශම නවයක (රුපියල් බිලියන 8.9ක) වැඩිවීමකි. එසේම, 2016 වර්ෂය සඳහා මූලධන වියදම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන දහඅටයි දශම හතරක් (රුපියල් බිලියන 18.4ක්) අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ඇත. මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලධන වියදම් සදහා තවත් රුපියල් බිලියන හැට තුනයි දශම නවයයි පහක් (රුපියල් බිලියන 63.95ක්) සහ පුනරාවර්තන වියදම් ලෙස තවත් රුපියල් බිලියනයක් (රුපියල් බිලියන 1ක්) අතිරේකව ලබා දී ඇත.

     

    ඒ අනුව 2016 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නගත ප්‍රතිපාදනය ඇතුලත් නොකරද වෙන් කල මුළු ප්‍රතිපාදනය රුපියල් බිලියන එකසිය විසි නවයයි දශම හයකි (රුපියල් බිලියන 129.6කි). මෙය 2014 වසරේ වෙන් කල ප්‍රතිපාදන හා සැසඳු විට රුපියල් බිලියන හැත්තෑ හයයි දශම හතක (රුපියල් බිලියන 76.7ක) වැඩිවීමකි. ඒ අනුව මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට දෙසිය හතලිස් පහක (245%) වැඩිවීමකි. ඉතිහාසයේ කවර දිනක වත් නොවූ පරිදි මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කර තිබියදීත්, අපගේ රජය අපහසුතාවයට පත් වන ආකාරයෙන් අදහස් දැක්වීම පිළිබඳව මා කණගාටු වෙමි.

     

    2016 අධ්‍යාපනය සඳහා මෙතරම් මුදලක් වෙන් කරනු ලැබීමට හේතු වූ කරුණු රැසකි. ගම්බද පාසල් පිළිබඳව පසුගිය කාලයේදී දැක්වූ අඩු සැලකිල්ල හේතුවෙන් දැයේ දූ දරුවන්ට අහිමි කරනු ලැබූ මූලික අයිතිවාසිකමක් වූ පානීය ජල පහසුව සහ සනීපාරක්ෂක පහසුකම් නැවත ලබාදීමේ දැඩි උවමනාව ප්රසධාන කාරණයකි. මේ යටතේ සියළු පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක ගැටලු විසඳෙනු ඇත. මෙය කෙතරම් දුෂ්කර වුවද අනාගත පරපුර වෙනුවෙන් අප විසින් ඉටු කල යුතුම ආයෝජනයකි. මෙයට අමතරව ගුරු නිවාස ඉදිකිරිම, රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරිම, මානව සම්පත් සංවර්ධනය යන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම අංශ ආවරණය වන පරිදි සමස්ත ගුණාත්මක සංවර්ධනයක් අපේක්ෂා කර විශාල ප්‍රමාණයක ප්‍රතිපාදන වෙන් කර දී ඇත.

     


    දායකත්ව විශ්‍රම වැටුප් ක්‍රමය

     

    ගරු කතානායක තුමනි,

     

    මේ වන විට පලාත් රාජ්‍ය සේවයද ඇතුළුව රාජ්‍ය සේවයේ මුළු රාජ්‍ය සේවකයින් ගණන දොලොස් ලක්ෂ හැට එක් දහසක් (1,261,000ක්) පමණ සිටිනවා. විශ්‍රාමිකයින් සංඛ්‍යාව පන් ලක්ෂ ‍පනස් එක් දාහක් (551,000ක්) පමණ වේ. රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක සේවයෙන් පසුව විශ්‍රාම යන රාජ්‍ය සේවකයාට සුරක්ෂිත විශ්‍රා වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම අප සියලු දෙනාගේම වගකීමකි. විශ්‍රාම වැටුප් සඳහා 2015 වසර වෙනුවෙන් රජය විසින් දැරීමට නියමිත මුදල රුපියල් බිලියන එකසිය හැට හතක් (රුපියල් බිලියන 167ක්) පමණ වේ. මෙය ඉතා විශාල මුදලක් වන අතර ජනගහනයේ වයස්ගතවීමේ අනුපාතය සැලකිල්ලට ගත්විට ඉදිරි වසර කීපය තුලදී විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව බව විශාල අගයක් ගනු ඇත. දැනට ඇති ක්‍රමවේදය අනුව ඒකාබද්ධ අරමුදලින් වාර්ෂිකව මේ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කෙරේ.

    ඒ අනුව විශ්‍රාමිකයින් සඳහා අරමුදලක් නොමැති වීම අප ඉදිරියේ ඇති විශාල අවදානමකි. රාජ්‍ය සේවයේ නිරත වීමෙන් පසුව විශ්‍රාමිකයා අපේක්ෂා කරන විශ්‍රාම කාලය සුවසේ ගත කිරීමට අවශ්යේ ඉඩ ප්‍රස්ථාව අප විසින් ලබා දිය යුතුය. ඒ සඳහා සුරක්ෂිත ක්‍රමවේදයක් නොපමාව ඇති කළ යුතුය. එබැවින් ඉදිරියේදී රාජ්‍ය සේවයට ඇතුලත් වන තැනැත්තන් සඳහා දායකත්ව ක්‍රමය යටතේ විශ්‍රාම වැටුපක් ගෙවීමට කටයුතු කිරීමට යෝජනා කර ඇත. එහි ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් රුපියල් බිලියන එකක් (රුපියල් බිලියන 1ක්) යොදා රජය විසින් විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටවනු ඇත. එමඟින් අපගේ විශ්‍රාමිකයින් සඳහා සුරක්ෂිත විශ්‍රාම දිවියක් උරුම කෙරෙනු ඇත. මෙම අරමුදල කළමනාකරණය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්, මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, විශ්‍රාමික අභියාචනාධිකරණ හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු, ගණකාධිකරණ වෘත්තිකයෙකු හා ආයෝජන විශ්ලේශකයෙක්ද ඇතුලත් වන පරිදි මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කෙරේ.

    උතුරු නැගෙනහිර සංවර්ධනය

    උතුරු නැගෙනහිර නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා විසින් යටිතල පහසුකම් වලට අමතරව එහි ජීවත්වන මහජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා කටයුතු කල යුතු බවට නිරතුරුව අදහස් දක්වන ලදී.


    ගරු කතානායක තුමනි,

    උතුරු නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීම සදහා නිවාස ලබාදීම ඇතුළු ජීවන උපාය (Livelihood) සංවර්ධන කාර්යයන් සදහා රුපියල් බිලියන දාහතරක් (රුපියල් බිලියන 14ක්) අතිරේක වශයෙන් මෙම අයවැය මඟින් ලබා දීමට තීරණය කර ඇත. ඒ තුළින් ඔවුන්ට සුරක්ෂිත පරිසරයක් ඇති කරනු ඇත.

    වතු යටිතල පහසුකම්

     

    උඩරට ප්‍රදේශ වල වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ පහසුකම් වැඩිදියුණු කිරිම සඳහා විශේෂ අවධානයක් යොමු කොට වතු නිවාස සකස් කිරීම, තෝරාගත් පාසල් 25ක් ද්විතියික මට්ටමට (Secondary Level) උසස් කර සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදී කටයුතු සදහා මුදල් වෙන් කිරීම තුළින් එම ජනතාවද අප අමතක කර නොමැති බවත්, ඔවුනටත් සමාන සංවර්ධන අවස්ථා ලබා දීමට මෙම රජය ක්‍රියාකර ඇති බවත් තහවුරු කර තිබේ.

     

    ගරු කථානායක තුමනි,

     

    දුම් පරීක්ෂණ ගාස්තු

     

    ආදායම් ප්‍රභවයක් වශයෙන් දුම් පරීක්ෂණ ගාස්තු ඉහල නැංවීමට යෝජනා කර තිබුනද එය යතුරුපැදි සහ ත්‍රීවිල් සඳහා අදාළ නොවේ. වැඩිකරන ලද මුදල රජයේ ආදායමක් ලෙස ඒකාබද්ධ අරමුදලට බැර කරනු ඇත. දුම් පරීක්ෂණ වලට අදාල නියාමන කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇත.

    පෞද්ගලික සමාගම් සම්බන්ධ පැහැදිලි කිරීම්


    1. කොටස් ගණුදෙනු බද්ද අහෝසි කිරීම තුලින් කොටස් ගණුදෙනු වලින් ලබන ලාභය නැවත බද්දට යටත් කිරීමක් සිදු නොවන අතර මෙහි අපේක්ෂාව වන්නේ කොටස් වෙළදපල ආයෝජන දිරි ගැන්වීමයි.

     

    2. සමාගම් ස්වේච්ඡාවෙන් ඈවර කිරීම සඳහා අය කිරිමට යෝජිත ගාස්තුව රුපියල් පනස් දාහක් (රු. 50,000ක්) ලෙස සංශෝධනය වනු ඇත.

     

    3. තවද සමාගමක සියයට පහලවක (15% ක) හෝ ඊට වඩා වැඩි කොටස් හිමිකාරත්වයක් දරන තැනැත්තෙකුට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුනක් හිමි විය යුතු බවට මා විසින් යෝජනා කර ඇති බවද ඔබගේ දැන ගැනීමට සඳහන් කරමි. බැංකුවක් සම්බන්ධයෙන් මෙම සීමාව සියයට දහයකි (10% කි).

    4. බැංකු සහ මූල්යෙ සමාගම් ඒකාබද්ධ කිරිමට අදාළ වන බදු නීති සංශෝධන 2016/17 තක්සේරු වර්ෂයේ සිට ඉදිරියට අදාල වන පරිදි ක්‍රියාත්මක වන බව දන්වමි.


    විදේශ ආයෝජන දිරිගැන්වීම

     

    5. නාවික භාණ්ඩ ප්ර්වාහනය (Freight Forwarding)

     

    ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය (Freight Forwarding) සඳහා විදේශීය සහභාගීත්වය සඳහා අවශ්‍ය අවම ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් මිලියන පහකි (US$ 5 Mnකි).

     

    6. බහාලුම් වාහන සඳහා යෝජිත ලියාපදිංචි ගාස්තු


    වරාය භූමියට ඇතුළුවන බහාලුම් වාහන (Container carries) සඳහා යෝජිත රුපියල් ලක්ෂයක (රුපියල් 100,000 ක) ගාස්තුව, ඒ සඳහා අලුතින් ලියාපදිංචි වන තැනැත්තන් සඳහා අදාළ වන එක් වරක් පමණක් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුවක් ලෙස සංශෝධනය කරමි.

     

    7. විදේශිකයන්ට ඉඩම් පැවරීම


    විදේශිකයන්ට ඉඩම් පැවරීමේදී දැනට ඇති විධිවිධාන කිසිවක් ඉවත් කර නොමැති අතර කල්බදු ක්‍රමය යටතේ විදේශිකයන්ට ඉඩම් ලබා දීමේදී අය කල බද්ද ඉවත් කර ඇත. එසේ කරනු ලැබුවේ, මෙම බද්ද ආයෝජන අධෛර්යමත් කිරීමට හේතු වී ඇති බව අනාවරණය වීම නිසාය. විදේශිකයන්ට සින්නක්කර ඉඩම් පැවරීමක් සිදු නොවන අතර අනූ නව (99) අවුරුදු බදු ක්‍රමය යටතේ ආයෝජකයන්ට පහසුකම් සලසනු ඇත. මෙම ක්‍රමවේදය වරාය නගර ව්‍යාපෘතියටද අදාළ කර ගනු ලැබේ.

    8. නේවාසික වීසා


    ව්‍යාපාර අරමුණු වෙනුවෙන් පැමිණෙන විදේශිකයන් දිරි ගැන්වීම සදහා නේවාසික වීසා ලබා දීමේදී අවුරුදු තුනක කාලයට අදාළව ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දාහකද (US$ 250,000ක්), අවුරුදු පහක් සඳහා ඩොලර් පන් ලක්ෂයකද (US$ 500,000ක), ප්‍රේෂණ (Remittances) තිබිය යුතුය. එසේම මෙම මුදල් මෙරට ආයෝජනය කල යුතුය. ස්ථිර නේවාසික වීසා සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පහක (US$ 5 Mn) ප්‍රේෂණ තිබිය යුතුය.

     

    බදු කොමිසමක් පිහිටුවීම

     

    රාජ්‍ය ආදායම පූර්ණ විමර්ෂණයකට ලක් කොට රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ ක්‍රවේදයක් සකස් කිරිමට පූර්ණ බලැති බදු කොමිෂන් සභාවක් ලබන වසරේ පිහිටුවීමට අපේක්ෂා කරමි.

     

    වාහන බලපත්‍ර

     

    රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍රයක ලබා දීමට විකල්ප වැඩපිළිවෙළක් ලෙස යෝජනා කරනු ලැබුවේ මුදල් ප්‍රදානයක් ලබා දීමටය. එම විකල්පයට අමතරව බදු සහන යටතේ වාහනයක් ආනයනය කර ගැනිමේ විකල්ප ක්‍රවේදයද ක්‍රියාත්මත කිරීමට අපේක්ෂා කරමි. ඒ සඳහා යෝජිත වැඩපිළිවෙළ ඉදිරියේදී ඉදිරිපත් කරමි.

     

    ද්විත්ව පුරවැසි භාවය

     

    ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. එනිසා අයවැය යෝජනාව ඉතා ඉක්මනින් හා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

     

    කොටස් වෙළඳපලින් ඉවත් වීම හා පසු විපරම

     

    සමාගමක් කොටස් වෙළඳපලින් ඉවත් වී යාමට අපේක්ෂා කරන්නේ නම් රුපියල් මිලියන පනහක් (රුපියල් මිලියන 50ක්) ගෙවීමට යෝජනා කරමි. එමෙන්ම එසේ ඉවත්ව ගියද එතැන් සිට ඉදිරි වසර තුනක් දක්වා අදාල තොරතුරු ලබා දීමට එම සමාගම් බැඳී සිටී.

     

    කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ කාර්යය සාධනය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ පසු විපරම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya