නොවැම්බර් 29, 2021
tami eng youtube  twitter facebook

    සංවර්ධිත රටවල් ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය අඩු කිරීම අවශ්‍යයි – ජනපති

    දෙසැම්බර් 01, 2015

    ඓතිහාසික වගකීම සැළකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍යය බව ඊයේ (නොවැම්බර් 30) පැරිස් නුවරදී පැවැති 2015 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය.

    පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැළඳගැනීම අපට අවශ්‍යය වුවද මෙම සියවස තුළ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකට පහළින් තැබීම සඳහා අපට විවිධ වගකීම් ඇති අතර ඒ සඳහා අදාළ හැකියාවන් ද තිබිය යුතුයයි සඳහන් කළ ජනධිපතිවරයා ගෝලීය අර්ථයෙන් ගත් කළ අපේ ඒක පුද්ගල විමෝචනය පහත මට්ටමක පැවතිය ද දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් කෙරෙන වෑයම්වලට අපි ද දායක වී ඇති අතර ඉදිරියටත්, එසේ දායක වන බවත් පැවසී ය.

     

    දේශීය වශයෙන් ගත් කළ, ශ්‍රී ලංකාව දේශගුණයට හිතැති වැඩසටහන් දියත් කොට ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සතුටු වන බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

    2015 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් පැරිස් නුවරදී ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව : –

     

    ‘සංවර්ධනය වෙමින් පවතින රටක් හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත.

     

    උෂ්ණත්වයේ වෙනස්වීම්, වර්ෂාපතනයේ වෙනස්කම් හා මුහුදු මට්ටම ඉහළ යාම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත, ජලය, ජෛව විවිධත්වය, සෞඛ්‍යය, මානව පදිංචිකිරීම්, සංචාරක කර්මාන්තය හා ප්‍රවාහනය ඇතුළු අපේ රටේ ආර්ථිකයේ සියලුම අංශයන්ට පාහේ සෘජුවම බලපෑම් කරයි.

     

    නියඟය, ගංවතුර හා නායයෑම් වැනි සීමාන්තික කාලගුණික තත්ත්වයන් නිසාවෙන් හටගන්නා ස්වභාවික ව්‍යසනයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා ජීවන වෘත්තීන් නිරන්තරයෙන් අහිමි කරවයි.

     

    තාක්ෂණය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතට ගෙනයාම තුළින් එම රටවල ජනතාවට එම කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේත්, ඒවා අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය වූ ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමේත්, හැකියාව තහවුරු වනු ඇත.

     

    ගෝලීය අර්ථයෙන් ගත් කළ අපේ ඒක පුද්ගල විමෝචනය පහත මට්ටමක පැවතිය ද දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් කෙරෙන වෑයම්වලට අපි ද දායක වී ඇති අතර ඉදිරියට ද එසේ දායක වන්නෙමු. අපේ රට ගැන කතා කළහොත් ශ්‍රී ලංකාව දේශගුණයට හිතැති වැඩසටහන් දියත් කොට ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි.

     

    1988 දී මෝල්ටාවේදී කාලගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය දියත් කිරීමට මඟ පෙන්වූ ඓතිහාසික මුල පිරුම අපි හඳුනාගෙන ඇත්තෙමු.

     

    දේශගුණය පිළිබඳ එළඹීමට නියමිත එකඟතාවෙහි කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ජාතික වශයෙන් සිදු කිරීමට අදහස් කොටගෙන සිටින දායකත්වයන් ශ්‍රී ලංකාව දැනටමත් සන්නිවේදනය කොට තිබේ.

     

    මෙම ඓතිහාසික වගකීම සැලකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍ය වේ.

     

    පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැලඳගැනීම අපට අවශ්‍යය වුවද මෙම සියවස තුළ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකට පහළින් තැබීම සඳහා අපට විවිධ වගකීම් ඇති අතර ඒ සඳහා අදාළ හැකියාවන් ද තිබිය යුතුය.

     

    පැරිසියේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේ සාර්ථකත්වය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් පහත හෙළීම, ගෝලීය උෂ්ණත්වය හා පෙර නොවූ විරූ දේශගුණික විපර්යාසවල බලපෑම් අඩු කිරීමට නීතිමය වශයෙන් වූ එකඟතාවකට බැඳීමට මඟ බලා හිඳියි.

     

    අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, වත්මන් හා අනාගත පරම්පරාවන්හි නාමයෙන් වූ ශ්‍රී ලංකාවේ හෘදයාංගම අපේක්ෂාව නම් පොදු රාජ්‍ය මණ්ඩලයීය දේශගුණික ක්‍රියාමාර්ගය මේ මොහොතේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා පාලමක් සකසනු ඇති බවයි.

     

    මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියාණන් වන්නේ අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ බව බෞද්ධයෙකු ලෙස මා දැඩිව විශ්වාස කරමි. තිරසර සංවර්ධන සංකල්පය පිළිබඳ දේශනා කළ පළමු දාර්ශනිකයා වන්නේද උන්වහන්සේයි.

     

    අපට ආගන්තුක සත්කාර දැක්වූ මෙන්ම මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මහෝපකාරී වූ මෙහි සංවිධායක – සංවිධායිකාවන්ට ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙමි.‘

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya