අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය රාජිතගේ දේශපාලන දිවියට වසර 41ක්

    මැයි 27, 2014

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදාට තම දේශපාලන දිවියේ වසර 41ක් සපුරයි.


    අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් මූලික හා ද්විතීයක අධ්‍යාපනය ලැබීය. වර්ෂ 1971දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය විද්‍යායතනයට ඇතුළත් වී වර්ෂ 1974දී දන්ත ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීය.


    වර්ෂ 1971-1973 දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සම්මේලනයේ මහ ලේකම්වරයා වූ සේනාරත්න මහතා එම වකවානුවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජිතවරයෙකුද විය. ඔහු 1975 සිට 1989 දක්වා රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම්වරයා හා ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්වරයාද ලෙස කටයුතු කර ඇත.


    මේ වකවානුව තුළ වෛද්‍ය අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍යවරුන්ගේ පුරෝගාමී නායකයා බවට පත් වූ සේනාරත්න මහතා සටන්කාමී දේශපාලනයටද පිවිසුණි. සමසමාජ පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සටන්කාමී දේශපාලන තරුණ නායකයෙකු වූ මොහු 1982දී විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග හා ටී.බී. ඉලංගරත්න ඇතුළු වාමාංශික නායකයන් සමඟ එක්ව ශ‍්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් බහුජන නිදහස් පෙරමුණේ මහ ලේකම්වරයා බවට ද පත්විය.


    1994 පැවති මහ මැතිවරණයේදී පළමුවරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජිත සේනාරත්න මහතා දැනට දශක දෙකක පමණ කාලයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.


    2001 මහ මැතිවරණයෙන් කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඔහු 2001-2004 වකවානුව තුළ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විය.


    2004 මහ මැතිවරණයෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් යළිත් පාර්ලිමේන්තුවට පත් වූ සේනාරත්න මහතා තමාට පෙර රට ගැන සිතා රටට සදාකාලික සාමයක් උදාකරලීමේ උදාරතර කාර්යභාරයට උරදීමට පෙරමුණ ගෙන 2007 වර්ෂයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට එක්විය. ඉන්පසු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස පත්විය. ඉන් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් ඔහු වර්තමානයේදී බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයා ලෙසද කටයුතු කරයි.


    නරේන්ද්‍ර රාජපක්ෂ
    මාධ්‍ය ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය


    (ලබන 29 වැනි දාට යෙදෙන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ජන්ම දින සමරුව නිමිත්තෙනි.)

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya