මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග‍්‍රහණයේ පස්වැනි සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිතුමා පවත්වන ලද කතාව

    මැයි 19, 2014

    අප ලැබුවේ යුද ජයග්‍රහණයක් නො ව සාමයේ විජයග්‍රහණයක් - ජනපති

     

    අප ලැබුවේ යුධ ජයග්‍රහණයක් නො ව සාමයේ විජයහ‍්‍රහණයක් බවත් එම විජයග‍්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් යුද විරුවන්ට ලබා දිය හැකි ඉහළම උපහාරය වන්නේ ඔවුන් දිවි පුදා රැකගත් දේශය නොබෙදුණු දේශයක් ලෙස රැක ගැනීම බවත් ජනාධිපති මහින්ද රාජජපක්ෂ මැතිතුමා මාතර දී පැවසීය.


    ඊයේ (18) මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයේ පැවති යුද ජයග‍්‍රහණයේ පස්වැනි සැමරුම් උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ එදා මෙන් අදත්, අද මෙන් හෙටත්, හෙට මෙන් අනාගතයටත්, සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන බවයි.


    රටට නිදහස ගෙන ආවේ යුද විරුවන් දහස් ගනණක ජීවිත පරිත්‍යාගයෙන් බව පැවසු ජනාධිපතිතුමා එම නිදහස පාවා නොදී ආරක්ෂා කිරීම අපගේ යුතුකම බව ද අවධාරණය කළේය.

    විජයග‍්‍රහණයේ පස්වැනි සැමරුම් උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද කතාව:


    ගරුතර මහා සංඝරත්නයෙන් අවසර,
    අනෙකුත් ආගමික උතුමන්ගෙන් අවසර,
    ගරු අගමැතිතුමනි,
    ගරු කතානායකතුමනි,
    අගවිනිසුරුතුමනි
    ආණ්ඩුකාරවරුනි,
    අමාත්‍යවරුනි, මන්ත්‍රීවරුනි,
    තානාපතිවරුනි,
    ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ලේකම්වරුනි,
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමනි, ත්‍රිවිධ හමුදාපතිවරුනි,
    පොලිස්පතිතුමනි,
    සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක තුමනි,
    රණ විරුවනි,
    මිත්‍රවරුනි,


    මේ රට ස්වෛරී ඒකීය රටක් හැටියට එක්සේසත් කළේ 2009 අද වැනි දවසකයි. මේ රටේ සෑම බිම් අඟලක්ම නැවතත් අපේ ලංකා මාතාවට හිමිකර දුන්නේ මීට වසර පහකට පෙර අද වැනි දවසකයි. සාමය, ස්ථාවරත්වය නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සෑම නිදහසක්ම ශ්‍රී‍්‍ර ලංකාවාසී ජනතාවට ලබා දුන්නේ අද වැනි දවසකයි.


    මේ විජයග‍්‍රහණය ලබාගැනීමට අත් පා, ඇස් පරිත්‍යාග කළ රණවිරුවන් අද මේ පෙළපාළියේ ඔබ ඉදිරියෙන් ගමන් කරනවා ඇති. මානුෂීය මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන් සහ අනෙකුත් නිලයන්, රෙජිමේන්තු ඔවුන්ගේ වර්ණ ධජත් සමඟින් මේ පෙළපාළියේ ගමන් කරනවා. දරුණු භයානක ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමට උපයෝගී කර ගත් විවිධ වර්ගයේ අවි ආයුධ අද අපි ඔබට ප‍්‍රදර්ශනය කරනවා. මේ මානුෂික මෙහෙයුමේදී යුධ පිටියේ සතුරා පරාජය කරමින් ඉදිරියට ගිය, බලසේනාංකත් ඒ අයුරින් මේ පෙළපාළියේ ගමන් කරනවා. ඒ දකින අපි සියලුදෙනාට අභිමානයක් ඇති නොවන්නේ ද?


    ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධි අංශ වගේම මුළු මහජනතාව එකතු වී පිහිටුවා ගත්ත සිවිල් ආරක්ෂක කමිටු, කඳවුරෙන් කඳවුරට ගිහින් පිරිත් සජ්ඣායනා කරලා ආශිර්වාද කළ මහා සංඝරත්නය, පල්ලිවල යාඥා කරමින් ආශිර්වාද කළ කතෝලික පියතුමන්ලා, මුස්ලිම් පූජකතුමන්ලා, හින්දු පූජකතුමන්ලා, සිවිල් ජනතාව කියන මේ සෑම දෙනාගේම සහභාගීත්වයෙනුයි අපි මේ ජයග‍්‍රහණය ලැබුවේ.


    දශක ගණනාවක් මේ රට වෙලාගෙන තිබුණ රුදුරු ත‍්‍රස්තවාදය පරාජය කරලා, සාමය මේ රටට ලබා දීමට, 2005 නොවැම්බර් මස මේ රටේ ජනතාව මා වෙත ලබා දුන් ජනතා වරමට අනුව, මේ රටේ නායකයා වාගේම, සේනාධි නායකයා වශයෙනුත්, භාරකාරයා වශයෙනුත්, ඒකායන අරමුණකින්, අපැහැදිලි බවකින් තොරව, කිසිදු බලවේගයකට යටත් නො වී, ස්ථීර අවධානයකින් අවසානයක් දක්නා තුරුම නිසි නායකත්වය ලබා දීලා, ජනතාව බලාපොරොත්තු වු ප‍්‍රාර්ථනය ඵල ගැන්වීමට හැකි වූ බව ඔබ සියලු දෙනා දන්නා කරුණක්.


    ඒක තමයි ජනාධිපති මැතිවරණවලදී, පාර්ලිමේන්තු මැතිවරණවලදී, ප‍්‍රාදේශීය සභා මැතිවරණවලදී මටත්, මාගේ ආණ්ඩුවටත් ලබා දුන් ජයග‍්‍රහණය, ජනතාවගේ විශ්වාසය නොපිරිහෙළා ඉටු කළ නිසා නැවත නැවතත් ලබා දුන් වරමක් හැටියටයි මේ ජනවරම සෑමවිටම මා බාර ගත්තේ. ඒ විශ්වාසය තහවුරු කරමින් එදා මෙන් අදත්, අද මෙන් හෙටත්, හෙට මෙන් අනාගතයටත් අප රට වෙත තිබෙන සෑම අභියෝගයකටම, නිර්භයව නිවැරදිව මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන බවට මා නොබියව ප‍්‍රකාශ කරන්න ඕනෑ.


    එසේම මා ජනතාවගේත්, රටේ ප‍්‍රශ්නත් හඳුනා ගෙන ඒවාට නොබියව පිළිතුරු ලබාදුන් බව ඔබ දන්නා කාරණයක්. මේ තමයි රටේ ලොකුම ප‍්‍රශ්නය. අවුරුදු හතර හමාරක කෙටි කාලයක් තුළදී තමයි විසඳුවේ අවුරුදු 30ක් තිබුණ යුද්ධය.


    ඊළඟට අපි මොකක්ද කළේ? ඊළඟට අතපසු වුණු සංවර්ධනය, දීර්ඝකාලීන දැක්මකින් යුතුව අපි අද ඉදිරියට කරගෙන යනවා නොනවත්වා. අපි රට ගොඩ නගන්න ත‍්‍රස්තවාදය අතු ගා දමන තුරු බලා හිටියේ නෑ වැඩ කරන්න. උතුර මුදා ගන්න මෙහෙයුම් ආරම්භ කරන කොට අපි නැගෙනහිර සංවර්ධනය ආරම්භ කරලා. දකුණ පටන් අරන්. ඒ නිසා උතුර නිදහස් කරගෙන මේ රණ විරුවෝ ගමට ආවේ සංවර්ධනය කළ ගම්බිම් මැදින්. ඔවුන් ආවේ.


    මේ ති‍්‍රවිධ හමුදාවට බැඳුණු, පොලීසියට එකතු වුණු දකුණේ උපන් අයගෙන් මම අහන්න කැමතියි ඔබ යුද්දෙට බැඳෙන කොට තිබුණ මේ මාතරද අද තියෙන්නේ ?. රට පුරාම අධිවේගී මාර්ග හැදිලා, කාපට් මාර්ග හැදිලා.  දහස් ගණනක් පාරවල් කොන්ක‍්‍රීට් කරළා, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට මිලියන දහස් ගණන් යොදවලා, රෝහල්, පානීය ජල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරලා, සියයට අනූ හයකටත් වැඩි ජන කොටසකට විදුලියත් දීලා, අලුත්ම පාසැල් ඇති කරලා, මහින්දෝදය විද්‍යාගාර ලබාදීලා, ඉංග‍්‍රීසි, දෙමළ භාෂා උගන්නලා, පාසැලේදීම තාක්ෂණ විෂය ධාරාවත් හඳුන්වලා දීලා , පරිගණක සාක්ෂරතාවය ගොඩනගලා, විතරක් නෙවෙයි, ධීවර වරායන් ගොඩනගලා, නගර අලුතෙන් සංවර්ධන කරලා, ලක්ෂ ගණනක් රජයේ සේවයට බඳවාගෙන, ‍ඓතිහාසිකව පැවතුණ උගතුන්ගේ විරැකියාව කියන ගැටලුව නිරාකරණය කරලා, පුරන් කුඹුරු අස්වද්දලා, මල්, කුරුඳු, තේ ආදී වගාවන්වල නිෂ්පාදනය ඉහළ නංවලා, සහලින්, බඩ ඉරිඟුවලින් රට ස්වයංපෝෂණය කරලා අවසන් අද වෙනකොට.


    මේවා රට නිදහස් කර ගත්ත ඔබටත්, ඔබේ දරුවන්ටත් අයිති දේවල්. මේ අපි නිරාකරණය කළේ මේ මුළු ජාතියම මුහුණදීලා තිබුණ ඓතිහාසික ප‍්‍රශ්නයකට.


    මිත්‍රවරුනි, ඒ වාගේම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න අපි කළ මෙහෙවරත් සුළුවෙන් තකන්න බෑ. නිදහස තහවුරු කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුරු කරන්න, නිදහස දුරු කරන්න, අපි කළ මෙහෙවරත් සුළුවෙන් තකන්න බැහැ. දශක ගණනාවකට පස්සේ උතුරේ, පළාත් සභා ඡන්දය පවත්වලා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.


    අපේ යුගය මාධ්‍යයට කිසිම වාරණයක් පනවන්නේ නැතුව රට නිදහස් කර ගත්තා විතරක් නොවෙයි යුද්ධ සමයේ මාධ්‍යවේදීන්ටත් යුධ පිටියට යන්නත් අපි නිදහස දුන්නා. ඒ නිදහස අද පුළුල් කරළා තියෙනවා. රජයට එරෙහිව විරෝධතාවක් කොතනක හෝ තියෙනවා නම් ඒ සියල්ල අද සජීවීව නරඹන්නත්, අහන්නත් පුළුවන් රේඩියෝ එකෙන්. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන කොට ඒ අයට මතක් කරන්න ඕනෑ කලින් ලංකාවේ තිබුණ තත්ත්වය ගැනත් හිතා බලන්න කියලා.

     

    මිත්‍රවරුනි,

    මේ නිසා අද අපේ මාතෘභූමිය ගැන ලෝක ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා කියලා අපි දන්නවා. බලන්න එදා මුළු අවුරුද්දටම සංචාරකයෝ ආවේ ලක්ෂ 04 යි. අද ලක්ෂ 17ක් විදේශිකයෝ ලංකාවට එනවා. ලංකාවේ එහා මෙහා යනවා ලාංකික සංචාරකයෝ විසි ලක්ෂයක්.


    එදා ලංකාවේ ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලියක් පවත්වන්න උත්සාහ කළොත් ත‍්‍රස්තවාදීන් තමයි ඒක කරන්න ඉඩ දෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ. නමුත් අද රටවල් පනස් ගණනක් නියෝජනය කරන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවේ පැවැත්වූවා. පසුගිය සතිවල ලෝක තරුණ සම්මේලනය කොළඹ පැවැත්වුවා. දැන් ලංකාව ජාත්‍යන්තර සම්මේලන පවත්වන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. සාමය විතරක් නොවෙයි මේවා කරන්න අවශ්‍ය ශක්තියත් දැන් මේ රටට තියෙන බව ලෝකයම පිළිගන්නවා. අද ජාතික ධජය ඔසවනවා වගේම මේ රටත් අපි ඉහළට ඔසවලා තියෙනවා.


    මිත්‍රවරුනි,

    අපිට හංගන්න දෙයක් නෑ. ඒ නිසා අපි ලෝකයට දොරවල් විවෘත කරලා තියෙනවා. නමුත් අපේ විවෘත බවෙන් සමහරු ගන්නේ අනිසි ප‍්‍රයෝජන. සිංහල, දෙමළ, මුස්ලිම් දහස් ගණනක් මරා දාපු, දෙමළ ජනතාව ප‍්‍රාණ ඇපකාරයින් කර ගෙන හිටපු ලෝකයේ ඉන්න දරුණුම වර්ගවාදියා වුණ ප‍්‍රභාකරන්ට මල්වඩම් තබන්න ඇතැම් අය ඉදිරිපත් වෙනවා අද. මේ අයට ත‍්‍රස්තවාදී නායකයාගේ නියෝගය නිසා මරා දමපු දහස් ගණන් සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ගේ සොහොන්වලට ගෞරව කරන්න කවුරුත් කැමති නෑ. බලන්න දෙමළ ජනතාවගේ නායකයන් වුණු දොරේ අප්පාලා, අමිර්තලිංගම්ලා, නීලන් තිරුචෙල්වම්ලා, රවි රාජ්, කදිරගාමර්, සෑම් තම්බිමුත්තු ඒ වාගේ අද ටී.එන්.ඒ. මන්ත‍්‍රී සිද්ධාර්ථන්ගේ පියා පී. ධර්මලිංගම් ඇතුළු දෙමළ නායකයින්ට ගෞරව කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ අයත් මේ දරුණු ත‍්‍රස්තවාදයට බිලි වූ අය. සාමය අගයන අය සැමරිය යුත්තේ මේ දිවි පිදූ අයවයි.


    ත‍්‍රස්තවාදී පිරිසක් පසුගිය දා නයිජීරියානු දරුවන් පැහැර ගෙන යාම මේ දවස්වල ලෝක ජනමාධ්‍යවල ලොකු අවධානයක් තියෙන ප‍්‍රවෘත්තියක්. නමුත් අපේ රටේ වසර තිහක් පුරා මේ දරුවෝ දහස් ගණනක් බලෙන් අරන් ගියා. කොටින් අරන් ගියා. අවසන් සටනේදි හමුදා භාරයට පත් වුණා දරුවෝ හයසියයකට ආසන්න පිරිසක්, අපි ඔවුන් දෙමව්පියන්ට, ඥාතීන්ට බාර කරලා පාසල් යවන්න, රටේ අනෙක් දරුවන්ට වගේම ඔවුන්ටත් පහසුකම් ලබාදෙන්න අපි පියවර ගත්තා. මේවා ගැන සමහර රටවල් අන්ධයි. මේව ගැන ගොළුයි, මේව ගැන බිහිරියි. ඒ අය අපි ලබාගත්ත විජයග‍්‍රහණය සැමරීමට විරුද්ධයි. ඒ නිසා මේ යුධ ජයක් නොවෙයි, මේක සාමයේ ජයග්‍රහණයක්. අපේ රටේ සාමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න විදේශ කුලී හමුදා ආවේ නෑ. ප‍්‍රාණ ඇපකාරයෝ වෙලා හිටපු ලක්ෂ තුනක උතුරේ ජනතාව මුදා ගත්තේ අපේ මේ රණවිරුවෝ. වෙන කවුරුවත් නෙවෙයි. මේ විජයග‍්‍රහණය සැමරීම කෙළෙහිගුණ දත්, මානුෂික වටිනාකම් දන්න ජාතියක් වශයෙන් අපේ වගකීමක්. කවුරු විරුද්ධ වුණත්, කවුරු සහභාගි වුණේ නැතත්  රටටම අයිති මේ විජයග‍්‍රහණය අද අපේ රටේ සදාකල් සැමරිය යුතුයි කියලයි අපි ප්‍රකාශ කරන්නේ.

     

    අද මිත්‍රවරුනි,

    දෙමළ ජනතාව, අද උතුරින්, නැගෙනහිරින් මේ හමුදාවට බැඳිලා ඉන්නවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියා කරලා, මිනී මරලා, පිටරට ගිය අයත් එල්.ටී.ටී.ඊ.යට බයේ ලංකාවෙන් ගිය අයත්, අද ඩයස්පෝරාවට එකතුවෙලා; ත‍්‍රස්තවාදය ඔසවා තබන්න හැදීම මේ රටේ ඉන්න දෙමළ ජනතාවට කරන අසාධාරණයක් වශයෙන් තමයි අපි දකින්නේ. මේ සුළු පිරිසකට ලැබෙන ඩොලර්වලින් රටකට කරන්නේ විශාල විනාශයක්.


    මිත්‍රවරුනි,

    අද අපි පුළුල් සංවාදයක් ඇති කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා තිබෙනවා. ජාතික ප‍්‍රශ්නයක් ඇතිවන අවස්ථාවල ඒ පිළිබඳ එකඟතාවන් ඇති කරගන්න හොඳම තැන එතැන. තේරීම් කාරක සභාව තමයි...; ප්‍රජාතන්ත්‍රවාදී සියලුම පක්ෂවල යුතුකම එතැනට ඇවිත් කතා කරන එක. අපි දන්නවා. එදා යුද්දේ තියෙන කාලේ අවුරුදු පහතට ඉස්සෙල්ලා උතුරේ දෙමළ ජනතාව ආරක්ෂාව පතා ආවේ කොහාටද? දකුණට. අදත් ඒ අය අතරින් බොහෝ දෙනෙක් දකුණේ ජීවත් වෙනවා. 58%ක දෙමළ ජනතාව ජීවත් වෙන්නේ උතුරින් පිට පළාත්වල. අපි ජාතීන්ට එකතු වෙන්න ඉඩ දෙන්න ඕනෑ. වසර තිහක් තුළ ජාතීන් තුළ තිබුණ බිය සැක නැති වෙන්න ඉඩ දෙන්න ඕනෑ. උතුරේ ඉඳන් දකුණට, දකුණේ ඉඳන් උතුරට එන යන ජනගහණය වසරින් වසර, දවසෙන් දවස ඉහළ යන බව අපි දන්නවා.


    මේ ගොඩනැගෙන්නේ අලුත් රටක්. ජාතීන් අතර සමගිය, අවබෝධය ඇති වෙන තරමට තීන්දු ගන්න පහසුයි. විසඳුම පහසුයි. සමගිය නැතිව දෙන විසඳුම තාවකාලිකයි. ඒ නිසා මේ සමගිය උදුර ගන්න, අහිමි කරන්න ඇතැම් අය උත්සාහ කරන බව පෙනෙනවා. රට වෙනුවෙන් දිවිදුන් රණ විරුවන්ට, මේ ඔබට ගෞරව කරනවා නම් දහස් ගණන් දිවි පුදා රැකගත් මේ සමගිය අපි සියලු දෙනා ආරක්ෂා කරගන්න ඕනෑ. මතක තියා ගන්න ඔවුන් අපෙන් වෙන් වුණේ වෙන් නොවෙන රටක් ගොඩනගන්න. ඔවුන් දිවියෙන් සමුගත්තේ කිසිදා සමුනොගෙන එකට ඉන්න ජාතියක් ගොඩනගන්න. ඒ නිසා රට වෙනුවෙන් ජීවිත දීලා ඇස්, ඉස්, මස්, ලේ දන්දීලා ජීවිත පරිත්‍යාග කරලා ලබාගත්තු නිදහසින් බිඳක්වත් පාවා නොදී මේ මාතෘභූමිය මත ජීවත් වීමට අපි සියලු දෙනා අදිටන් කර ගනිමු. එයයි ඔබට කළ හැකි ලොකුම ගෞරවය.

     

    ඔබ සැමට සුබ අනාගතයක් !


    ඔබ සැමට තෙරුවන් සරණයි!!

     

    HC/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya