අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ කාලය පිළිබඳ ගැටලුවට මැදිහත්වීමට පාර්ලිමේන්තුවෙන් කමිටුවක්

    මැයි 11, 2014

    සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි පාඨමාලාවේ කාලය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යොමුකරන ලද ප්‍රශ්නයට ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් වැඩි අවධානයක් යොමුවුණා.

    මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා සියලු පක්ෂවලින් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ප්‍රශ්නයට මැදිහත්වීමට පියවර ගැනීම වඩා සුදුසු බව කතානායක චමල් රාජපක්ෂ මහතා අවසානයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇති වූ සංවාදය ඇසුරින් මේ ලිපිය සැකසිණ.

    අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දීමට නැඟී සිටියේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතායි.

     

    නන්දිමිත්‍ර ඒකනායක මහතා: කථානායකතුමනි, අනුර දිසානායක මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය මේ වෙනකොට අපේ රටේ ජනතාව විසින්ද නඟනු ලබන ප්‍රශ්නයක්. ඔබතුමා කියනවා වාගේම අපි දන්නවා, මේ ශිෂ්‍යයන් ස්ථාන හතරක දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් සටනක නිරත වෙන බව.

    1. වර්ෂ 2004 දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වර්ෂ 4ක කාලසීමාවකින් යුත් සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධි පාඨමාලාව පහත සඳහන් විශ්වවිද්‍යාලවල ආරම්භ කරන ලදී.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    කොළඹ විශ්වවිද්‍යාලය

    රුහුණු විශ්වවිද්‍යාලය

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    මෙම පාඨමාලාව විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි වෛද්‍ය හා දන්ත විද්‍යා ස්ථාවර කමිටුව මඟින් නිර්දේශ කොට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් අනුමත කර ඇත.

    මෙම ස්ථාවර කමිටුව එවකට පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය.

     සියලු වෛද්‍ය විද්‍යා, සම සෞඛ්‍ය හා දන්ත විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන්

     නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා සේවා) සෞඛ්‍ය අමාත්‍යංශය

     අධ්‍යක්ෂ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය

    2. සම සෞඛ්‍ය පාඨමාලාව හැදෑරූ සිසුන්ට සායනික පුහුණුව ලබා දීමේදී නොයෙකුත්  රෝහල්වලදී අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය.

     මෙම අපහසුතාවන්ට මුහුණ දුන් බහුතරය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් කියන එකත් කියන්න ඕනෑ. ඉහත වාතාවරණය යටතේ  පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ‍ පාලක සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පහත සඳහන් ආයතන වගඋත්තරකරුවන් බවට පත් කරමින් 2008 වර්ෂයේදී මූලික අයිතිවාසිකම් නඩුවක්  ගොනු කරන ලදී.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

    සෞඛ්‍ය අමාත්‍යංශය

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තිබෙනවා. 119/2008 (SC Application No. 119/2008) එම තීන්දුවට අනුව, එවකට සිටි අගවිනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත විධානය කොට ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධිය සඳහා සිසුන් බඳවා ගන්නේ නම් එය සිදු විය යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු අදාළ ඉහත පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවයි.

     තවද, එවකට සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධියේ සායනික පුහුණුව ලැබිය යුතුව තිබූ 1 -3 දක්වා කණ්ඩායම්වල සිසුන්ට කුරුණෑගල ශික්ෂණ  රෝහලේ  පුහුණුව ලබා දිය යුතු බවත්, 4වන කණ්ඩායම එම උපාධිය සඳහාබෙ  ඳවා ගැනීමට පෙර ඉහත කී පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකණ නියෝගයේ දක්වා තිබුණි. ඒක තමයි නඩු තීන්දුව.

    එමෙන්ම, වෛද්‍ය රසායනාගාර පිළිබඳ පුහුණුව පේරාදෙනිය රෝහලේදී ලබා දිය යුතු බවද, ඖෂධවේදය, විකිරණවේදය,  භෞත චිකිත්සකවේදය පිළිබඳ පුහුණුව කුරුණෑගල‍ රෝහලේදී‍ ලබා දිය යුතු බවද, විකිරණ චිකිත්සකවේදය - radiotherapy - පිළිබඳ පුහුණුව මහරගම පිළිකා ආයතනයේදී ලබා දිය යුතු බවද එම නියෝගයේ සඳහන් විය.

    ගරු කථානායකතුමනි, අධිකරණ නියෝගය මඟින් පැහැදිලිව තීන්දු කර තිබෙනවා මේ මේ තැන්වල මේ පුහුණුව  දෙන්න ඕනෑය කියලා. ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ විධානයෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය - GMOA - සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවත් පොදු එකඟතාවකට එළැඹීමට නොහැකි වූ බැවින් නීතිපතිතුමාගේ මැදිහත් වීමෙන් එම පාර්ශව පහත සඳහන් තීරණ ගන්නා ලදී. පොදු එකඟතාවකට එන්න බැරි වුණා. මොකද GMOA එක තදබල ලෙසම එක අන්තයක හිටියා.

    ගරු අනුර දිසානායක මහතා:  ගරු කථානායකතුමනි;

    කථානායකතුමා: ගරු අනුර දිසානායක මන්තීතුමා.

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: මට තව කරුණු කියන්න තිබෙනවා, ගරු කථානායකතුමනි.

    ගරු අනුර දිසානායක මහතා: ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, මේක අවුරුදු හතරක පාඨමාලාවක්. මේක ලෝකයේ තිබෙන පාඨමාලාවක්. අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් තිබෙන්නේ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන්නේ වෘත්තිමය සංගමයක්. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති, තීරණ ගැන ප්‍රශ්න කරන්න එම සංගමයට තිබෙන අයිතිය  මොකක්ද? ඒක ඒ අයගේ වෘත්තියට අදාළ දෙයකුත්  නොවෙයි. මේක විශ්වවිද්‍යාල පාඨමාලාවක්. ගරු කථානායකතුමනි, අසීමිත බලයක් සහිත මේ සංගමය විසින් තමයි මේ ප්‍රශ්නය මතු කරන්නේ. මේ සංගමයේ මේ මැදිහත්වීම අතිශය අසාධාරණයි.

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, ඔබතුමා පැහැදිලිවම දන්නවා ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ යම් යම් කණ්ඩායම් අතර මේ හා සමානව මේ වන විටත් උද්ගත වෙලා තිබෙන තත්ත්වය ගැන. රජය සමහර ප්‍රශ්නවලට විසඳුම් දෙන්න යන  කොට එක කණ්ඩායමක් ඒකට විරුද්ධ  වනවා. එක වෙලාවක වෛද්‍යවරු විරුද්ධ වෙනවා; තවත්  වෙලාවක nursesලා විරුද්ධ වෙනවා; තවත් වෙලාවකට පවුල් සෞඛ්‍ය  සේවිකාවන් විරුද්ධ වෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපට වෙනත් ඕනෑම සංවිධානයක් අභිබවා දැඩි තීන්දු ගත හැකිව තිබුණත්, GMOA එක වැනි සංවිධානයක් සම්බන්ධයෙන් එවැනි දැඩි තීන්දු ගැනීමේ අපහසුතාවක් තිබෙනවා, ඒ තුළින් මහා ව්‍යසනයක් ඇති වෙන්න ඉඩ තිබෙන නිසා. ඒක තමයි මේ අර්බුදයට  හේතුව. නැත්නම් අපි කැමැත්තෙන්  නොවෙයි, -

    ගරු අනුර දිසානායක මහතා: ගරු කථානායකතුමනි, GMOA එක අධිකාරී බලයක් පාවිච්චි කරනවා. එතකොට මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ; උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩකුත් නැහැ. වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තමයි මේ සියල්ල තීරණය කරන්නේ. රටක මෙවැනි දේවල් වන්නේ කොහොමද?

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: මෙවැනි අර්බුදකාරී තත්ත්ව මතු වෙනවා.  මොකද අමාත්‍යංශ දෙකක් අතර කටයුත්තකට තමයි මේ මැදිහත් වෙලා තිබෙන්නේ. වෛද්‍යවරු  වෙන්න ඉන්න අයට, ඒ හා සමාන උපාධි ලබන්න ඉන්න අයට පා යෝගිකව පුහුණුව  දන්නේ වෛද්‍යවරුන්.

    ගරු අනුර දිසානායක මහතා: නමුත් ඒක සංගමයක්නේ.

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: සංගමයක් තමයි. ඒත් වෛද්‍යවරුන් ඒ පුහුණුව දන්නේ. අප  නොවෙයිනේ. වරායේ යම් කිසි වැඩ වර්ජනයක් වුණොත් සමහර විට අපට යුද හමුදාව යොදවන්න පුළුවන්. නැත්නම් වෙනත් අය දමලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් මෙහිදී එහෙම කටයුතු කරන්න බැහැනේ. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, මේ තත්ත්වය ඔබතුමා තේරුම් ගන්න. ඒ නිසා තමයි මෙහෙම වන්නේ. නැත්නම් මේ ගැන අපේ කිසිම අහිතක් නැහැ. අපේ අමාත්‍යංශය උපාධියක තිබෙන වටිනාකම හොඳට දන්නවා. මාත් ඒක දන්නවා; අපේ ඇමතිතුමාත් දන්නවා; UGC එකත් දන්නවා. නමුත් අද මේ තත්ත්වයට අපි මුහුණ දීලා තිබෙනවා. රජයක් විධියට  පොදු එකඟතාවයකින් තොරව දැඩි තීන්දු ගන්න පුළුවන් අවස්ථා තිබෙනවා. ඇති වුණ සමහර ගැටුම්වලදී අපි දැඩි තීන්දු අරගෙන ක්‍රියා කළ අවස්ථා තිබෙනවා. නමුත් මෙතැනදී එහෙම කරන්න පුළුවන්කමක් නැහැ.

    ගරු අනුර දිසානායක මහතා: වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තනි බලයක් ක්‍රියාත්මක -

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: සංගමයක් කියන්නේ තනි බලයක් නොවෙයි ගරු මන්ත්‍රීතුමනි, සංගමයක් කියන්නේ සභාපති  හෝ ලේකම්  හෝ භාණ්ඩාගාරික කියන නිලධාරින් පත් කරගෙන එකඟත්වයකට පැමිණ කටයුතු කරන ආයතනයක්. ඔබතුමා නායකතුමා විධියට පත් වුණා වාගේ තමයි. වෙනසක් නැහැ. මා නැවත පිළිතුරට එන්නම්. එහි තවදුරටත් මෙහෙම සඳහන් වෙනවා.

    1. 2008/2009 වර්ෂය සඳහා සිසුන් තෝරා ගැනීම ඉක්මන් කිරීම. (ඉහත නඩුව හේතුවෙන් 2008/2009 වර්ෂ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වී තිබුණි.)

    2. අදාළ වර්ෂවලදී සම සෞඛ්‍ය සිසුන්ගේ කාර්ය සාධනය සලකා බලා සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධිය වර්ෂ 3ක සාමාන්‍ය කාලපරිච්ඡේදයකට යටත්ව හා වසර 4ක විශේෂ උපාධියක් ලෙස නැවත සැලසුම් කිරීම. එසේම වසර 3ක උපාධිය සාර්ථක මට්ටමින් සම්පූර්ණ කර  ශ්‍රේණිය ලක්ෂ්‍ය සාමාන්‍ය 2.8 හෝ ඊට වැඩියෙන් ලබා ගත් සිසුන් සඳහා වසර 4කින් යුත් විශේෂ උපාධිය පිරිනැමීම. මේ අනුව 3 +1 පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාව මඟින් හඳුන්වා  දෙන ලදී.  මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන ප්‍රවේශ විභාග අත් පොතෙහි සඳහන් වන අතර එයට එකඟව සිසුන් විසින්ම අයදුම් කිරීමෙන් පසුව ඇතුළත් කිරීම සිදු කොට ඇත.

    3. පාඨමාලාව වසරකින් අඩු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව එම පාර්ශව ගත් තීරණවලට අනුව ක්‍රියා කර ඇත.

    ගරු අනුර දිසානායක මහතා: ශ්‍රේෂ්ඨාධිකරණය කියලා නැහැ පාඨමාලාව අවුරුදු හතරේ කාලය අවුරුදු තුන දක්වා අඩු කරන්න කියලා.  ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙන්නේ-

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරලා-

    ගරු අනුර දිසානායක මහතා: -එකඟතාවකට එන්න කියලා. හැබැයි, අනෙක් පාර්ශව ඔක්කෝම කැමැතියි, එක් කෙනෙක් කැමැති නැහැ.

    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා: එක පාර්ශවයක් අකමැතියි. ඒ පාර්ශවය තමයි ප්‍රබලම පාර්ශවය. රට හොල්ලන්න පුළුවන් ප්‍රබලම පාරවය බවට පත් වෙලා තිබෙනවා. සෞඛ්‍ය  සේවා අකර්මණ්‍ය කරන්න පුළුවන් පාර්ශවය. ඒකයි අපට තිබෙන ගැටලුව. ඔබතුමාටත් මටත් ඉස්පිරිතාලේ යන්න වුණොත් ඒකට මුහුණ දෙන්න  වෙනවා.

    4. අසාධාරණයක් සිදුව ඇති බව  බොහොම පැහැදිලිව පිළිගන්නවා. සිව් වසර කප්පාදු කර  නොමැත. විශ්වවිද්‍යාල සිසුනට ශ්‍රේණිය ලක්ෂ්‍ය සාමාන්‍ය - GPA - 2.8 අගය ගැනීම පාඨමාලාව හදාරන සිසුනට අපහසුතාවක් නොමැති බව අනෙකුත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මඟින් පෙන්නුම් කරයි.

    මේක තමයි ඔබතුමාට දෙන්න තිබෙන සරලම උත්තරය. මීට ඉස්සර වෙලාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මේ ගැන වාචික ප්‍රශ්නයක් අහලා මම උත්තර දීලා තිබෙනවා. ඒ වාගේම ජනමාධ්‍ය තුළින් අහන අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. මේ කවුරුවත් හිතාධ්‍යාශයෙන් මේකට අකැමැති නැහැ.  මොකද? අප දන්නවා, උපාධියක තිබිය යුතු වටිනාකම ලැබෙන්නට නම් ඒ සඳහා අවශ්‍ය වර්ෂ ගණන සම්පූර්ණ වන්නට ඕනෑ බව. අවශ්‍ය වර්ෂ ගණන සම්පුර්ණ වුණොත් තමයි, උපාධියේ ගුණාත්මක වටිනාකම ලැබෙන්නේ.

    කථානායකතුමා: ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා.

    ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා): ගරු කථානායකතුමනි, පළමුවන ප්‍රශ්නය වන්නේ, සම සෞඛ්‍ය සිසුන් සඳහා රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරුද්ධ පාර්ශ්වයන් කවරේද, ඒ කවර  හේතු මතද යන්නයි.

    එය ට පිළිතුර  මෙසේයි. අධිකරණමය එකඟතාව අනුව ලබා දී ඇති  රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරෝධතාවක් නොමැත. අනෙකුත් සමහර රෝහල්වල ඉඩකඩ සහ පහසුකම් පිළිබඳ ගැටලු තිබෙන බැවින් පුහුණු කටයුතු කිරීමට අපහසු බව දන්වා ඇත.

    දෙවන ප්‍රශ්නය වන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සම සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා සායනික පුහුණුව ලබා  දන්නේ කවර රෝහල්වලද යන්නය.

    එයට පිළිතුර මෙසේයි. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය විසින් සිදු කරනු ලබන ඉල්ලීම්වලට අනුව ඒ ඒ අවස්ථාවල පාඨමාලාවල ස්වභාවය අනුව කළුතර, ශ්‍රී ජයවර්ධන පුර වැනි මධ්‍යම රජයේ රෝහල්වලින් සහ  හෝමාගම සහ පානදුර යන බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල්වලින් සමහර අවස්ථාවලදී සායනික පුහුණුව ලබා දී ඇත.

    තුන්වන ප්‍රශ්නය වන්නේ සම සෞඛ්‍ය පාඨමාලාවන් සිව් වසරක පාඨමාලාවක් විය යුතු බව පිළිගන්නේද යන්නයි. එයට පිළිතුර, "අත්‍යවශ්‍ය  නොවේ" යන්නයි. [බාධා කිරීමක්]

    කථානායකතුමා: ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා.

     ගරු අනුර දිසානායක මහතා: ගරු කථානායකතුමනි, මේ කාරණය විශ්වවිද්‍යාලවල විශාල ප්‍රශ්නයක් හැටියට මතු වී තිබෙනවා. දැන් මේ දරුවන් තුන්වන වසරට ඇවිත් තිබෙන්නේ. ඒ දරුවන් එළියට යනවා ද, විශ්වවිද්‍යාලයේ ඉන්නවා ද කියා මේ මාසය ඇතුළත තීරණය වෙනවා.  පේරාදෙණියේ මේ සඳහා වෙනම පීඨයක් තිබෙන නිසා එම පීඨය විසින් උපක්‍රමශීලි වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දරුවන් ඔක්කොම හතරවන වසර දක්වා ගෙන යනවා. ඒ උපක්‍රමශීලි ක්‍රමයක් හැටියටයි, ප්‍රතිපත්තියක් හැටියට නොවෙයි. අනෙක් විශ්වවිද්‍යාලවල මෙම පීඨය තිබෙන්නේ වෛද්‍ය පීඨයට අනුයුක්තවයි. සම සෞඛ්‍ය පීඨය තිබෙන්නේ වෛද්‍ය පීඨයට අනුයුක්තවයි. ඒක තීරණය කරන්නේ වෛද්‍ය පීඨයේ පාලන අධිකාරියයි. ඒවායේ තව මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා. අවුරුදු තුනෙන් පාඨමාලාව නිමා වෙලා දරුවන්ට යන්නට සිදු වෙනවා. මෙය කිසි  සේත්ම සාධාරණ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් පිළිගනු ලබනවා, මෙය සිව් අවුරුදු පාඨමාලාවක් විය යුතුය කියා. සෞඛ්‍ය ඇමතිතුමා නම් කියනවා, "අත්‍යවශ්‍ය නොවේ" කියා. එහෙම කියන්නටත් එපායැ, එතුමාගේ බෙල්ල බේරා ගන්න.

    මෙය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයින්, මේ පාර්ලිමේන්තුව මේ ඔක්කොම අභිභවා යන බලයක් තිබෙනවා. - මා හිතනවා,අප අතර කවර ලෙසකින්වත් විවාදයක් තිබෙන්නට විධියක් නැහැ.- මේ ඔක් කොම අභිභවා යන බලයක් තිබෙනවා, ගරු කථානායකතුමනි. අප එවැනි බලයක් දන්නේ කුමකටද ගරු කථානායකතුමනි. එතකොට මේ දරුවෝ දහස් ගණනක් පාරේ. මාස ගණනාවක් උපවාසවල. නොකා,  නොබී ඉන්නවා. උද්ඝෝෂණවල නිරත වෙනවා. [බාධා කිරීමක්] දින 135 ක්. එම නිසා දැනට සිද්ධවෙලා තිබෙන දෙය තමයි යම් අධිකාරියක් සහිත සංවිධානයක් හේතු කොටගෙන මේක අවුරුදු තුන දක්වා අඩු කළ එක. එහි තිබෙන හාස්‍යජනකතම කරුණ ගරු කථානායකතුමනි, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය අවුරුදු හතර කරන  කොට මේ ගොල්ලෝ මුනිවත රකිනවා. ඒකට කථා කරන්න යන්නේ නැහැ. ඇයි, ඒකට ආරක්ෂක ලේකම්වරයානේ ඉන්නේ. ඒකට ඒ ගොල්ලෝ කථා කරන්න යන්නේ නැහැ. විවෘත විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරේ පාඨමාලා කාලය ගැන කතා කරන්නේත් නැහැ. විවෘත විශ්වවිද්‍යාලයේ මුදලටනේ අධ්‍යයන කටයුතු කරන්නේ. ගම්වල ඉන්න දරුවන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් පාඨමාලාව හදාරනවාට විරුද්ධ වෙනවා. ඒ  ගොල්ලන් මොන නිලධාරින්ද? ඒ ගොල්ලන්ට ප්‍රතිපත්තියක් තිබෙනවා නම්, "පාඨමාලා කාල සීමාව අවුරුදු හතර නම් අපි සායනික පුහුණුව දන්නේ නැහැ"යි කියලා ශ්‍රීමත් ජෝන්  කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයටත් කියන්න එපා යැ. හැබැයි ඒ ගොල්ලන්ට නම් ඕනෑ තරම් සායනික පුහුණුව දෙනවා.

    දැන් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිතුමා කිව්වානේ, ඉල්ලන ඕනෑම රෝහලක පුහුණුව දෙනවාය කියලා. ජයවර්ධනපුර  රෝහලෙත් ඒ  ගොල්ලන්ට සායනික පුහුණුව දෙනවා. හැබැයි අර ගොල්ලන් යවන්නේ කුරුණෑගලට - [බාධා කිරීමක්]  මොකක්ද මේ වෙලා තිබෙන්නේ? [බාධා කිරීමක්]  පොඩ්ඩක් ඉන්න. ගරු කථානායකතුමනි,  මෙතැන ඇති වෙලා තිබෙන්නේ විශාල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය කියන ඉතා කුඩා පිරිසකට අපි යටත් විය යුතුද? ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕනෑ. ඇමතිතුමා එයට එකඟයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය එයට එකඟයි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා කිව්ව පරිදි පීඨාධිපතිවරුන් ගෙන් සැදුම්ලත් ඉතාමත් වැදගත් විද්‍යාත්මක කමිටුවකින් තමයි මේ පාඨමාලාව අවුරුදු හතරක් හැදෑරිය යුතු බවට තීරණය කර තිබෙන්නේ. නිකම් ආවට ගියාට ගහෙන් ගෙඩි එන්නා වාගේ තීරණය කළා  නොවෙයි. මේ පාඨමාලාව පිළිබඳව අවුරුදු ගණනාවක් අධ්‍යනය කරලා, විදේශ ශිෂ්‍යත්ව ලබා විදේශ අධ්‍යාපනය හැදෑරීමෙන් පසුවයි තීරණය කරලා තිබෙන්නේ. හැබැයි එක්තරා නිලධාරි මණ්ඩලයක් ඉන්න කොට එම කාල සීමාව අවුරුදු තුනකට අඩු කර තිබෙනවා.  මොකක්ද මේ? එම නිසා මා ගරු උසස් අධ්‍යාපන නි යෝජ්‍ය ඇමතිතුමාට කියන්නේ, - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමාට නම් කියලා වැඩක් නැහැ. එතුමා දඟලන දැඟලිල්ලෙන් පෙනෙනවා, මෙය අහන්නවත් සූදානම් නැතිබව.- අපි මැදිහත්වෙලා මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියලායි. ඒ දරුවන්ට මැයි මාසයේ තීරණයක් එනවා, ඒ  ගොල්ලන් අවුරුදු තුනෙන් ගෙදර යනවාද, අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ ඉන්නවාද කියලා. මේ පාර්ලිමේන්තුවේ අපි එකඟයි - [බාධා කිරීමක්]  පොඩ්ඩක් ඉන්නකෝ, සද්ද නැතුව. අඩුම තරමේ මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාමවත් මැදිහත් වෙලා මේ පිළිබඳව තීරණයක් ගන්න ඕනෑ. ගරු කථානායකතුමනි, ඔබතුමා -

    කථානායකතුමා: හොඳයි. තමුන්නාන්සේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න.  

    ගරු අනුර දිසානායක මහතා: මා අවසන් කරන්නම්.

    ගරු කථානායකතුමනි, ඔබතුමාත් මැදිහත් වෙලා, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි කමිටුවක් හදලා - මට තේරෙන්නේ නැහැ, ඔබතුමාට කරන්න පුළුවන්ද කියලා.- අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳමු.  මෙය ඒත්තු ගන්වන්න කරුණු අපි කාටත් තිබෙනවා. මෙය සාධාරණයි කියලා කාටත් දැනෙනවා. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මොකක්ද? නිලධාරි කණ්ඩායමකට යටත් වෙන්න සිද්ධවෙන එකයි. ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ බලය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

    ගරු නන්දිමිත ඒකනායක මහතා: එයට එකතු කිරීමක් කරන්න මට ඉඩ දෙන්න. උපවාසයේ යෙදී සිටින සිසුන්ට මා ගිය සතියේ යෝජනා කළා, ඒ ගොල්ලන්ගේ නායකයන් 5 දෙනෙකුට එන්න කියලා. ඔවුන් ඇවිල්ලා සාකච්ඡා කළා. අපට තිබෙන අසීරුතාව, අපට තිබෙන අමාරුකම් ඒ ගොල්ලන්ට පෙන්නුම් කරලා දුන්නා. ඒ  ගොල්ලෝ

    එය පිළිගත්තා. නමුත් ඒ  ගොල්ලන්ගේ වැඩසටහනේ ගමන් මාර්ගය ඒ ගොල්ලන්ටවත් වෙනස් කරන්න බැරි බව කිව්වා. අවසානයේ ඒ ගොල්ලන් ඉල්ලීමක් කෙළේ,  කෙසේ  හෝ එකඟතාවට එන්න නැවතත් සාකච්ඡාවක් ලබා  දෙන ලෙසයි. මා කිව්වා, ඇමතිතුමාට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්නම් කියලා.

    ගරු අජිත් පී.  පෙර්රා මහතා: ගරු කථානායකතුමනි, මීට කලින් මේ ප්‍රශ්නයම කල් තැබීමේ  යෝජනාවක් වශයෙන් මා ඉදිරිපත් කරලා ඇමතිතුමා මේ පිළිතුරම දුන්නා. මෙතැන තිබෙන ප්‍රශ්නය තමයි නියම තත්ත්වය කථා  නොකර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගැන කථා කරන එක. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කියලා නැහැ, අවුරුදු හතරේ කාලසීමාව අවුරුදු තුනකට අඩු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි කියා, කියා තිබෙනවා. නමුත් සාකච්ඡාව අසාර්ථක වුණොත් කළ යුතු දෙයක් සම්බන්ධයෙන් කියලා නැහැ.

    ඒ නිසා  බොහොම පැහැදිලිවම උසස් අධ්‍යාපන අමාත්‍යංශයට නිදහස තිබෙනවා, තමන්ට නීතියෙන් තිබෙන බලය මත කටයුතු කරලා අවුරුදු හතරේ පාඨමාලාව පවත්වා ගෙන යන්න. ඒකට නීතියෙන් කිසි බාධාවක් නැහැ. නමුත් ගරු කථානායකතුමනි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා යෝජනා කළා වාගේ මේ ප්‍රශ්නය මේ මට්ටමෙන් විසඳන්නේ නැති නිසා, රාජ්‍ය පරිපාලනය පිළිබඳව මතු වෙලා තිබෙන කාරණා ගැන පාර්ලිමේන්තුව විධියට අපට තිබෙන අධීක්ෂණ බලය අනුව, අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා, ඒ කමිටුව ඉදිරියට අදාළ පාර්ශ්ව කැඳවලා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවක් කරලා මේ කාරණය විසඳීම සුදුසුයි කියලා මා  යෝජනා කරනවා. වෙන මඟක් නැහැ. මොකද, අපට තේරෙනවා, යම් තීරණයක් මත ඇමතිතුමා අසරණ වෙලා ඉන්නවා කියලා.

    කථානායකතුමා: ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් නිසා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ යෝජනාව  බොහොම හොඳයි.  මෙවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවම රැස්වෙලා පාර්ලිමේන්තුවේ කමිටුවක් මඟින් මේ ප්‍රශ්නයට මැදිහත් වීම බොහොම  හොඳයි.

     
    - හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි
    (හැන්සාඩ් වාර්තා ඇසුරෙනි)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya